දළදා වහන්සේ වැඩ සිටි
ඓතිහාසික ගෙඩිගේ විහාරය
ගම්පොළ යුගයේ රාජ්‍ය මෙහෙය වූ තෙවන වික්‍රමබාහු රජු ( ක්‍රි.ව. 1347 - 1375) සිය
පාලන සමයේ දී අස්ගිරිය ගෙඩිගේ විහාරය ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් ය.
තම මෑණියන් වූ චන්ද්‍රවති බිසව සිහිවීම පිණිස මෙම රාජමහා විහාරය ක්‍රි.ව. 1364 දී
ඉදිකළ බව ඉතිහාස තොරතුරුවලින් අනාවරණය වෙයි. චන්ද්‍රවති බිසවගේ ආදාහන කටයුතු මෙහිදී
සිදු කර තිබෙන අතර, ඇය සිහිවීම පිණිස චන්ද්‍රවතී නමින් බෝධීන් වහන්සේ නමක් ද මෙම
බිමෙහි රෝපණය කර ඇත.
චන්ද්‍රවතී බිසවගේ භෂ්මාවශේෂ මෙහි තැන්පත් කළ නිසා ගෙඩිගේ විහාර පුදබිම අස්ගිරිය
ආදාහනමලුව ලෙසින් ද හැඳින්වෙයි. වික්‍රමබාහු රජතුමා විසින් ගෙඩිගේ විහාර සම්ප්‍රදාය
අනුව මෙහි විහාර මන්දිරයක් හා ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද ඉදිකර සංඝාවාසයක්
ද සමඟින් මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කළ බව ඉතිහාසයේ සඳහන් ය. සියම් දේශයේ උපාලි
නාහිමියන් අස්ගිරිය ගෙඩිගේ විහාරයේ වැඩවාසය කරමින් ශාසනික මෙහෙවරක යෙදී සිටියදී
අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ආදාහනය ද මෙහිදී සිදු කර ඇත.

වේඬරුවේ ශ්‍රී උපාලි අනුනාහිමි |
සෙංකඩගල රාජධානිය ආරම්භ වීමට පෙර ගම්පොළ රජ කළ තුන්වැනි වික්‍රමබාහු රජු මහනුවර නාථ
දේවාල භූමියේ ඉදිකළ ගෙඩිගේ මහනුවර පෞරාණික ගොඩනැඟිලි අතරින් මුල්ම ගොඩනැඟිල්ල ලෙස
සැලකේ. සිංහලයේ අවසන් රජු ලෙස සැලකෙන වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ( 1707 -1739)
හා කීර්ති ශ්‍රී රාජසිංහ රජු ( 1747 - 1782) කුමාර අවධියේ අකුරු කරවා ඇත්තේ මෙම
විහාරස්ථනයෙන් බව පැවසේ. මහනුවර යුගයේ සිටි සියලු රජවරු මෙම විහාරස්ථානයට විශේෂ
අනුග්‍රහයක් දක්වා තිබේ. උඩමළුව, මැදමළුව, පාතමළුව ලෙස කොටස් තුනකින් විහාරබිම
සමන්විත ය. බෝධින් වහන්සේ සහ විහාර මන්දිරය පවතින්නේ උඩ මළුවේ ය. මැද මළුවේ ආදාහන
පූජෝත්සවය පාතමළුවේ මහජනයා රැස් වූ බවත් පැරැණි පොතපතේ සඳහන් ය.
විහාරය, කළුගල් කුට්ටි යොදාගෙන ඉදිකර තිබේ. එහි පියස්ස ද කළුගලින් ම තනා තිබේ.
විහාරය පැත්තක දිග අඩි 21ක් වන ආකාරයේ සම චතුරස්‍රාකාර ගොඩනැඟිල්ලක් මහනුවර නාථ
දේවාලය, ගඩලාදෙණිය රාජමහා විහාර ගොඩනැඟිල්ල, නාලන්දා ගෙඩිගේ විහාරය ආදී ගොඩනැඟිලි
ගෙඩිගේ සම්ප්‍රදායට උදාහරණ සපයයි. උතුරු දෙස බලා සිටින මහනුවර සම්ප්‍රදායේ හිටි
බුදු පිළිම වහන්සේ නමක් ද දෙපැත්තේ හිඳි පිළිම වහන්සේ දෙනමක් ද මෙහි දැකගත හැකියි.
ගොඩනැඟිල්ලේ උඩ කොටසේ ඇත්තේ දාගබැ යි. මහනුවර යුගයේ ඉදිකළ විවෘත හේවිසි මණ්ඩපයක් ද
විහාරයට යාබදව දැක ගත හැකියි.
මෙම ඓතිහාසික පුදබිම තවත් පැත්තකින් සුවිශේෂි වන්නේ ය. ඒ දෙල්ගමුවේ සිට සෙංකඩගල
පුරවරයට වැඩම කළ දළදා වහන්සේ ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කිරීමට ප්‍රථම අස්ගිරි
ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේ තැන්පත් කර පුද පූජා පවත්වා තිබීම හේතුවෙනි. මහනුවර ඇසළ
පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර වීදි සංචාරය කර ගෙවදීමෙන් පසු දළදා
මාලිගාවේ පෙරහර රාත්‍රියේ යළි අස්ගිරිය ගෙඩිගේ විහාරස්ථානය වෙත පිවිස පෙරහර කරඬුව
එහි තැන්පත් කරයි. ඒ දළදා වහන්සේ සෙංකඩගල පුරවරයට වැඩම කර දළදා මැඳුරේ තැන්පත්
කිරීමට ප්‍රථම අස්ගිරිය ගෙඩිගේ විහාරස්ථානයට වැඩමවා එදා සිදු කළ පුද පූජා සිහිපත්
කරමිනි. පසුදින දවල් පෙරහර ගෙඩිගේ විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කරන තෙක් පෙරහර කරඬුව
එහි තැන්පත් කර තිබෙන අතර, රජ දවස පටන් පැවත එන එම චාරිත්‍රය අද ද ඒ ආකාරයෙන් ම දැක
ගැනීමට පුළුවන. ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේ පෙරහර කරඬුව තැන්පත් කර තිබෙන කාලසීමාවේ
දී පුද පූජා පැවැත්වීමේ වගකීම අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
ප්‍රමුඛ එම පාර්ශ්වයේ මහා සංඝරත්නය වෙත පැවරෙයි. ශ්‍රී දළදා මාලිගාවේ දී දළදා
වහන්සේ වෙනුවෙන් ඉටු කෙරෙන චාරිත්‍ර මෙහිදී ද ඒ ආකාරයෙන් ම ඉෂ්ඨ සිද්ධ කෙරෙන අතර
පල්ලේමාලේ රාලත්, තේවා ශබ්ද පූජාවන් අඛණ්ඩ ව පැවැත්වීමට හේවිසි වාදකයින් සමඟ කවිකාර
මඩුවත් පත්කරන්නේ දියවඩන නිලමේතුමන් ය. මුළුතැන් බුද්ධ පූජාව ශ්‍රී දළදා මාලිගාවේ
සිට ගෙඩිගේ විහාරස්ථානයට පංචතූර්යය නාද හේවිසියෙන් ගෙන එනු ලබන්නේ ය. ශ්‍රී දළදා
සමිඳුන් උදෙසා පවත්වනු ලබන සියලු පුද චාරිත්‍ර ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත දී දක්නට
ලැබෙන එකම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
සටහන
නයනාතාරා ලියනාරච්චි |