විල්ගම් වෙහෙර පුදබිම වරුණ
නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල මංගල මහා සෑ පුණ්‍ය භූමියේ සිට
කිලෝමීටර් 5ක පමණ වපසරියක තෝප්පූර් මුස්ලිම් ගම්මානයට මායිම් ව සේරු නම් විලෙහි
උතුරු කෙළවරට වන්නට ඓතිහාසික භූ විද්‍යාත්මක කරුණු සියල්ල සපුරමින් නටබුන් වූ එක්
විශාල ස්තූපයක් විය.
විල්ගම් වෙහෙර ලෙස වර්තමානයේ බොදු දනන් හඳුන්වන්නේ එම පින්බිමයි.
රුදුරු ආක්‍රමණයන්ගෙන් මෙන් ම කාලයාගේ ඇවෑමෙන් නටබුන් ව වන ගත වී තිබූ සේරුවිල
විල්ගම් වෙහෙර වසර 2200කට පමණ පෙර ඉදිකළ, මහරහතන් වහන්සේගේ නිර්මල පා පහසින්
පාරිශුද්ධ වූ පුද බිමකි.
සේරුවිල විල්ගම් වෙහෙර රාජ මහා විහාරය අනුරාධපුර යුගයේ දී ඉදිකළ ඉපැරැණි බෞද්ධ
විහාරයකි. බුදුරජාණන් වහන්සේගේ විශේෂ ධාතූන් වහන්සේ නමක් තැන්පත් කර ඇති ධාතු
ස්තූපයකි.
වල් බිහිව, උස් ගොඩැල්ලක් ලෙස පැවතුණු විල්ගම් වෙහෙර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
මඟින් 2015 වසරේ දී සංරක්ෂණය කිරීම පිණිස කැණීම් කටයුතු ආරම්භ කළ අතර, මහමෙව්නා
භාවනා අසපුවේ මූලිකත්වයෙන් එම ස්තූපය 2016 වර්ෂයේ දී සැදැහැවතුන්ගේ වන්දනාමාන
කටයුතු සඳහා ප්‍රතිසංස්කරණය කිරීමට මුල්ගල තැබීය.
ස්තූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන අතරතුර ස්තූප මළුවේ කැණීම් මධ්‍යම සංස්කෘතික
අරමුදල විසින් 2018 වර්ෂයේ ආරම්භ කෙරිණි. මෙම කැණීමෙන් අවධි කිහිපයකට අයත්
පුරාවිද්‍යා සාධක රැසක් සොයා ගැනීමට හැකි වූ බව සඳහන් ය. ඒ අතරින් ස්තූප මළුව ගඩොල්
භාවිත කොට ඉදිකර තිබීම සුවිශේෂී ය. එසේ ගඩොල් භාවිත කොට තනා ඇති ස්තූප මළු මෙරටින්
හමු වන්නේ ඉතා ස්වල්ප වශයෙන් යැයි ද සඳහන් වේ. කැණීම්වලින් හමු වූ සාධක අතර ලංකාවේ
පැරැණි ම ඇත් පවුරක් යැයි විශ්වාස කෙරෙන නටබුන් හමු වී ඇත. එමෙන් ම ඉපැරැණි ශෛලමය
ජත්‍ර හතරක් ඇතුළු පුරා වස්තු රැසක් මතුකර ගැනීමට හැකි වූ බව ද සඳහන් ය. ක්‍රි.පු.
2 වැනි සියවස දක්වා මෙහි ඓතිහාසික බව විහිද යයි. ස්තූපය විටින් විට විශාල කොට සාදා
ඇතැයි යන්න ස්තූපයේ පේසා වළලු, පැරැණි බදාම කොටස්, පාදමේ ඇති ගඩොල්වල අවශේෂ කොටස්
තුළින් සනාථ වේ.
ඒ වගේම කැණීමේ දී සහස්සමල්ල රජු සමයේ යැයි අනුමාන කරන කාසි, මැටි බඳුන් කැබලි,
වර්ණාලේපිත රතු මැටි බඳුන් කැබලි, මයිකා මිශ්‍ර මැටියෙන් යුතු වළං කැබලි, වළළු,
අඟුරු මිශ්‍ර පස් නියැදි හා මැටි, වීදුරු, අර්ධ මාණික්‍ය පාෂාණ විවිධ පුරාවස්තු
රැසක් හමු වූ බව ද සඳහන් ය.
මෙහි මළුවට පිවිසීම සඳහා සතර දිශානුගත ව දොරටු සතරක් හා මල් ආසන හතරක සාධක ද හමුව
ඇත. ස්තූප විකාශනයේ මුල්ම කාලීන ව දක්නට ලැබෙන ජත්‍ර හා යූප ගලක්, පුන්කලසක් සහිත
සිරිපතුල් ගලක්, මළුව කැණීම් කිරීමේ දී හමු වී ඇති බව ද සඳහන් ය.
මෙම විල්ගම් වෙහෙර රාජමහා විහාරය කාවන්තිස්ස රාජ සමයේ ගිරිඅභය නම් ප්‍රාදේශීය රජු
විසින් ඉදිකරවනු ලද බව ද සඳහන් ය. ඒ වගේම මෙම පුදබිම මහ රහතන් වහන්සේගේ වැඳුම්
පිදුම්වලට බඳුන් වූ විහාරයක් වූ බව ද කියැවේ.
-
දීපා පෙරේරා |