දීමෙන් තොරව ලැබීමක් නැත
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
ශ්‍රී ලංකාවෙහි ජනයා වෙසක් පොසොන් මාසවල දී දන්දීමෙහි විශේෂයෙන් නිරත වෙති. ඔවුහු
සිල්වතුන් වහන්සේට පමණක් නොව දුගී මගී යාචකාදීන්ට නොයෙක් දෑ දීමටත්, රටෙහි විවිධ
තැන්වල දන්සැල් පැවැත්වීමටත් මෙසේ සිදුකරනු ලබන මෙම ක්‍රියාවලිය අතිශයින් අගය කළ
යුත්තේ ය.
එය බුදු දහමේ උගන්වනු ලබන ප්‍රධාන පුණ්‍ය කර්මයක් වන නිසා ය. එහෙයින් දන්දීම පිළිබඳ
ව ධර්මානුකූල යමක් අවබෝධ කර ගැනීම ප්‍රයෝජනවත් කරුණකි.
ලෝකයෙහි දීම (දානය) වූ කලි මිනිසකුගේ උත්තුංගභාවය හඳුනා ගැනීමේ ප්‍රධාන ගුණාංගයකි.
ලෞකික වශයෙන් කෙනෙකුට උපභෝග පරිභෝග සම්පත් ලබා ගැනීමේ සැඟවුණු ක්‍රමවේදය දානය වන
අතර, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා අප සතු තෘෂ්ණාව නැති කර ගැනීමේ ක්‍රමවේදය
වන්නේ ද දානය යි. මේ නිසා ලැබීම හා නැති කිරීම යන උභය කාර්යයන් ම සාධනය කිරීමේ
ආගමික චර්යාව වූ කලි දානයමැයි. ලෝකයෙහි දීමකින් තොරව ලැබීමක් සිදු නොවේ. එසේම
ලෝකයෙහි දෙන්නෙකු නොමැති නම් ලබන්නෙක් ද, ලබන්නෙක් නොමැති නම් දෙන්නකු ද ඇති නොවේ.
මේ නිසා දානය අපේක්ෂා රහිත ව මෙන්ම නිරපේක්ෂකව ද කළ හැකි උතුම් ක්‍රියාවකි. වෙනත්
විධියකින් කිවහොත් දානය වූ කලී ලෞකික මෙන් ම ලෝකෝත්තර ඵලප්‍රාප්තීන් ද්වය ම
අත්විඳීය හැකි උපාය මාර්ගයකි.
අප විසින් දානය පිළිබඳ ව දතයුතු විශේෂ කරුණක් වේ. සැබැවින් ම එය නිරපේක්ෂක ව කිරීම
ම උසස් වේ. දස පින් කිරියවත්, දස රාජ ධර්ම යනාදියට මෙන්ම දස පාරමිතාවන්ට ද දානය
ඇතුළත් වීමෙන් ලෞකික හා ලෝකෝත්තර අපේක්ෂා මුල් කර ගෙන දන් දිය හැකි බව පෙනේ. තවද
සාමාන්‍ය ජනයා අතර දන්දීම යන්නෙන් යම් යම් වස්තූන් දීම ම ප්‍රකට ය. එය වස්තු දානය,
භෝග දානය හෝ අත්ථ දානය යනුවෙන් නම් කළ හැකි ය. ගින්නෙන්, ජලයෙන්, සොර සතුරන්ගෙන් හෝ
ලෙඩ දුක් ආදියේ දී යමකුට බියක් ඇති වූ කල්හි කරුණාව සහ උපාය බුද්ධිය යොදා ඔහුගේ හෝ
ඇයගේ හෝ දුක නැති කළ හැකි නම්, එය අභය දානයක් වේ. ඉහත කී අවශ්‍යතා නැති එසේත්
නැතහොත් ධනය ඇති නිදහසේ වෙසෙන ඇතැම්හු ධර්මය නො දන්නාකමින් දිළින්දෝ වෙති. එහෙයින්
ම විවිධ ව්‍යසනයන්ට මුහුණ දෙති. මුදල් හෝ වෙනත් ප්‍රතිලාභ හෝ අපේක්ෂා නො කොට ඔවුන්ට
නිශ්ශරණාධ්‍යාශයෙන් ධර්මය ඉගැන්විය හැකිනම්, ධර්මය කියාදිය හැකි නම්, එය ධර්ම
දානයක් වේ. මෙය උසස් ම දානය ලෙස දැක්වේ.
තවද දානය පාරමිතාවකි. පාරමිතා යනු බුද්ධත්වය ප්‍රාර්ථනා කරන උතුමන් වහන්සේ තුළ
පවතින ප්‍රධාන ගුණාංගයකි. බෝසත්වරයකු තමන් වෙත අපේක්ෂාවෙන් පැමිණියකු සඳහා ජීවිතය
වුවත් දීමෙහි ලා පසුබට නොවේ. එය දීම, පරිත්‍යාගය, පූජා කිරීම හා සබැඳී ගුණාංගය යි.
වෙනත් ආකාරයකින් කිවහොත් දාන පාරමිතාව යනු ඉක්මවා යා නොහැකි දානය යි. උසස් ම දානය
යි. අපරාජිත දානය යි. බෞද්ධ මූලාශ්‍රයවල විස්තර කොට ඇත්තේ අනුන් කෙරෙහි වන කරුණාව
සහ උපාය කුසලතාව සහිත ව තමා සතු දේ පරිත්‍යාග කිරීම දාන පාරමිතාව නම් වේ යනුවෙනි.
මේ නිසා කරුණාව සහ උපාය බුද්ධිය නැමති අංග දෙක යමක් තව කෙනකුට දීමේ දී උසස්
මිනිසුන් තුළ ක්‍රියාත්මක වේ. මෙය වෙනත් විධියකින් කිවහොත් කරුණාව සහ ප්‍රඥාවයි.
හදවත සහ බුද්ධිය යි. මෙහි භාවිත උපාය බුද්ධිය යනු පුරුෂාර්ථ සාධනය කිරීම සඳහා යම්
යම් අය විසින් යොදා ගනු ලබන ප්‍රඥාව යි. සැබැවින් ම මෙම ප්‍රඥාව අත්‍යවශ්‍ය වන්නකි.
බුද්ධත්වය සිදු වන්නේ ප්‍රඥාවෙනි. බුදුකිස සිදුවන්නේ කරුණාවෙනි. චක්ෂුරාදී
ඉන්ද්‍රිය විඥානයෙන් තොරව සක්‍රීය නො වන්නාක් හෙවත් පෙනීමේ කාර්යය සිද්ධ නො
කරන්නාක් මෙන් ප්‍රඥාවෙන් තොරව සද්ධාදී ඉන්ද්‍රිය ඵලදායක ලෙස මැනවින් යෙදවිය නො
හැකි ය.
බෝසත්වරු ශරීරාංග පවා දීමේ රුචිය උපදවා ගන්නේත්, දීමෙන් පසු අත්තුක්කංසන පරවම්භන
දෙකෙන් වැළකී, පසුතැවිලි ආදියට පත් නොවී තමා තුළ සොම්නස රඳවාගෙන සිටිනුයේත්, ඔවුන්
තුළ පවතින මෙම ප්‍රඥා මහිමය නිසා ය. අනෙක් අතින් දාන පාරමිතාව යනු තමන් සතු සියලු
ධනය අනුන්ට දී දිළින්දකු බවට පත්වීම නොවේ. ප්‍රඥාව අවශ්‍ය වන්නේ ඒ නිසා ය. කරුණාව
නිසා දීම උපරිමයෙන් ප්‍රගුණ කළ යුතු වුවත් බුද්ධිමත් ආර්ථික කලමනාකරණයක් සහිත ව මෙය
කළ යුතු වේ. තමන් හා තමාගෙන් යැපෙන්නන්ට අවහිරයක් නො වන පරිදි උපාය බුද්ධිය මෙහෙයවා
බෝසත්වරු එය ඉටු කරති. සමහරු තමන්ට හිරිහැරයන් වන එසේම අනවශ්‍ය වස්ත්‍ර ආහාර ආදී දේ
පමණක් දීමට පෙළඹෙති. මෙය උසස් දීමක් නොවේ. දුගියෙක් යමක් ඉල්වයි නම් එසේත් නැත්නම්
ඔහුගේ අවශ්‍යතා පිළිබඳ ව කරුණාවෙන් කුළුගැන්වුණු ඔබගේ හදවත ප්‍රඥාවෙන් ඔබව දැනුවත්
කරයි නම්, එබඳු දේ දීම යහපත් ය. දාන පාරමිතාවෙහි දී කරුණාව හා ප්‍රඥාව මූලික වන්නේ
එහෙයිනි.
බුද්ධවංස පාලියෙහි සඳහන් වන පරිදි බුද්ධත්වය සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාව කුමක්
දැයි නුවණින් විමසූ මහ බෝසතාණන් වහන්සේට සමත්‍රිංශත් පාරමිතා පූරණය කිරීම එකම
ක්‍රමවේදය බව පසක් විය. එහිදී උන්වහන්සේට පෙනී ගියේ පෙර බුදුවරුන් විසිනුදු අනුගමනය
කළ පරිදි දාන පාරමිතාව පළමුවෙන් ම සම්පූර්ණ කළ යුතු බවයි. දානය පළමු පාරමිතාව වන්නේ
එය සීල පාරමිතාව පිරීමට බෙහෙවින් බලපාන, එය පහසු කරවන අධාරකයක් වන හෙයින් බව සඳහන්
වේ.
එබැවින් මෙහි අනුක්‍රමික සම්බන්ධතාවක් ඇත. එනම් දානය-සීලයටත්, සීලය,
නෛෂ්ක්‍රම්‍යයටත්, නෛෂ්ක්‍රම්‍යය ප්‍රඥාවටත් ආදී වශයෙන් ප්‍රගුණ කිරීමේ ආධාරක බවක්
එහි පවතී. මෙම පදනම මත දානය මුල්ම පාරමිතාව වේ. මේ සම්බන්ධයෙන් තවත් මතයක් වේ. එනම්
දානය මුල්ම පාරමිතාව වන්නේ එය සියලු ජනයා අතර පවතින ක්‍රියාවක් වන නිසා ය. සියලු
සත්වයන්ට ම පොදු හා අදාළ වන නිසා ය. පිරීමට පහසු ම පාරමිතාව වන නිසා යනුවෙනි.
මෙයින් මුල් මතය වඩාත් යෝග්‍ය වන්නේ ලෝකෝත්තර අධිගමය සඳහා අනුක්‍රමික පදනමක් එහි
විද්‍යමාන වන නිසා ය. අනෙක් අතින් ජීවිත දානය දක්වා බැරෑරුම් වන දානය සම්බන්ධයෙන්
පෙළෙහි දක්වා ඇති කරුණු විමසන විට දාන පාරමිතාව පහසු බෝධිසම්භාරක ධර්මයක් ලෙස
සැලකීමේ යුක්තියක් නො පෙනේ.
බෞද්ධ අර්ථකථන සම්ප්‍රදාය අනුව කරුණාව සහ උපාය කෞශල්‍ය ඥානය පෙරදැරි කොට ගෙන තමා
සතු දේ පරිත්‍යාග කිරීම දාන පාරමිතා නම් වේ. දාන පාරමිතාවේ ලක්‍ෂණය පරිත්‍යාග
කිරීමයි. මෙයින් කෙරෙන ප්‍රමුඛ කාර්යය නම් ලෝභය සහමුලින් ම නැති කිරීම යි. අනාශක්ත
බව හෙවත් කිසිදු වස්තුවක් කෙරෙහි නො ඇලීමේ බුද්ධියක් උපදවා ගැනීම මෙහි ඇති
ප්‍රතිඵලයකි.
මෙහි ආසන්න ම කාරණය නම් ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබීම යි. දානයට සීමා මායිම් නොමැත.
පිරිසිදු විවෘත හදවතින් සහ මනසින් යුතු ව කරනු ලබන්නකි. අන්‍යයන් කෙරෙහි කරුණාව
මූලික කොට ගත්තකි. එසේම එම පරිත්‍යාගයෙහි කිසිදු ආත්මාර්ථකාමී හැඟීමක් සැඟවී නැත.
එය සපුරා ම බැඳීම් සහ අපේක්ෂාවන්ගෙන් බැහැර වූවකි. අප අපගේ හදවතේ ගැඹුරින් ම අන්
අයගේ උසස් යහපත විෂයයෙහි අපගේ ආදරය, දයාව, කරුණාව, කාලය, සම්පත්, ශක්තිය ආදිය කැප
කිරම පුරුදු පුහුණු කළ යුතු ය.
මේ හැරුණුවිට මිනිසත් බව ලැබූවන් විසින් දීම නැමති ගුණාංග තම ජීවිතය තුළ ප්‍රගුණ කළ
යුතු මූලික ගුණාංගයකි. කෙනකු තමා සිටින තත්වයෙන් තවත් පියවරක් උසස් වීමට නම් දානය ම
ප්‍රමුඛ කාරණය වේ. මෙය ප්‍රගුණ කිරීම තුළ තවත් උසස් ගුණාංග රාශියක් ගැබ්වන හෙයින්
ප්‍රමුඛ කාරණය යැයි දක්වන ලදී.
ලෝකයෙහි දානය සහ දාන පාරමිතාව යැයි දීම ප්‍රගුණ කිරීමේ ක්‍රම දෙකක් පවතී. ඕනෑම යමක්
අලෝභ චේතනාවෙන් දීම දානය යි. එයින් ස්වර්ග සම්පත් ආදී ප්‍රතිඵල ලැබේ. එහෙත් ථේරවාද
මහායාන සම්ප්‍රදාය දෙකෙහි ම උසස් දානය නිරපේක්ෂක වූවකි. පුහුදුන් මිනිසුන් වන අප
විසින් උසස් දානය නම් කිමැයි තේරුම් ගැනීම වැදගත් වන්නේ එයින් උසස් ප්‍රතිඵල ලැබෙන
හෙයිනි. නිත්‍ය වශයෙන් ම උසස් දානයට ආත්මාර්ථකාමී නිර්ණායක නැත. එයට කොන්දේසි නැත.
දැන හැදුනුම්කම්, උසස් පහත්කම්, වැදගත් නො වැදගත්කම් ආදී කිසිවක් පාරමිතා පාදක
දානයෙහි දී සැලකිල්ලට භාජනය නොවේ. එහිදී සැලකිල්ලට ගැනෙනුයේ හුදෙක් අන්‍යයන්ගේ යහපත
ය. ලබන්නාගේ සුඛවිහරණය අරමුණු වන අතර, දෙන්නාගේ හදවත හා බුද්ධිය අවදි වීම සිදු වේ.
මෙබඳු උත්තම කාර්යයක් වන දන් දීම වෙසක් පොසොන් වැනි කාලවල දී පුද්ගලික ව හා සාමූහික
ව ඉටුකරන කල්හි එහි මහඟු පල දැන හඳුනා ගනිමින් සවිඤ්ඤාණික ව හා සියතින් හා පිරිසිදු
ලෙස සිදු කිරීමට දායකවීම බුද්ධිමත් ක්‍රියාවකි. එක් අතෙකින් එය පුණ්‍ය ක්‍රියාවකි.
අනෙක් අතින් සෞන්දර්යාත්මක ආස්වාදයක් ලබා දෙන, අපට ම අනන්‍ය වන සංස්කෘතික
ක්‍රියාවක් සුරක්ෂිත කිරීමකි. එබැවින් මෙම කාර්යයෙහි බුද්ධිමත් ව නිරත වන්න. |