ලොවට විමුක්තිය උදාකර දුන් බුද්ධ දිවාකරයාණෝ
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වය පිණිස සාරාසංඛ්‍ය කල්ප
ලක්ෂයක් පුරාවට උතුම් සමතිස් පාරමී ධර්මයන් පූරණය කළ සේක. ඒ මහා පුණ්‍ය මහිමය
නිසාවෙන් දෙතිස් මහා පුරිස් ලකුණින් සමලංකෘත පින් සිරුරක් දරා වැඩ සිටි සේක.
එමෙන් ම ගුරු උපදේශ රහිත ව චතුරාර්ය සත්‍යය පරිපූර්ණ ලෙස අවබෝධ කොට ගෙන අපමණ ඤාණ
බලයෙන් ද, ගුණ බලයෙන් ද, එමෙන් ම සෘද්ධිබල ඤාණයන්ගෙන් ද සමන්විත ව වැඩසිටි සේක. ඒ
අතර තථාගත ශ්‍රී ශරීරයෙන් එකවර ගිනි ජාලා සහ ජල දහරා විහිදුවන යමක මහා ප්‍රාතිහාර්ය
ඤාණය සුවිශේෂ වූවකි. ශ්‍රාවකයන් හා සාධාරණ නො වූ භාග්‍යවතුන් වහන්සේට පමණක් ආවේණික
එම යමක මහා ප්‍රාතිහාර්ය පෑ ප්‍රධාන අවස්ථා තුනක් ධර්මයේ සඳහන් වේ.
සම්බුද්ධත්වය ලබා සතියක් ගත වූ තැන දෙව් බඹුන්ගේ සැක දුරු කරනු පිණිස ජය ශ්‍රී මහා
බෝධි මූලයේ ඉහළ අහසේ දී, සම්බුද්ධත්වයෙන් දෙවන වර්ෂයේ දී ඥාතීන්ගේ මානය දුරු කිරීම
පිණිස ශාක්‍ය දේශයේ කිඹුල්වත් පුර අහස් කුසේ දී හා තීර්ථකයන් දමනය කිරීම පිණීස
සැවැත්නුවර ගණ්ඩම්බ රුක සමීපයේ ආකාශයේ දී ය. මේ අසිරිමත් යමාමහ පෙළහර පිළිබඳ ව
ඛුද්දක නිකායේ පටිසම්භිදා මග්ග පොත් වහන්සේගේ සඳහන් වන්නේ මෙලෙසිනි.
තථාගතයන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීරයෙහි උඩු කයින් ගිනි ජාලා පතුරවන සේක. යටි
කයින් ජල දහරා පතුරවන සේක. එමෙන් ම යටිකයින් ගිනි ජාලා පතුරුවන සේක. උඩු කයින් ජල
දහරා පතුරුවන සේක. ඉදිරිපස කයින් ගිනිජාලා පතුරුවන සේක. පසුපස කයින් ජලදහරා පතුරුවන
සේක. යළි ඉදිරිපස කයින් ජල දහරා පතුරුවන සේක. පසුපස කයින් ගිනි ජාලා පතුරවන සේක.
දකුණු ඇසින් ගිනි ජාලා පතුරවන සේක. වම් ඇසින් ජල දහරා පතුරවන සේක. යළි දකුණු ඇසින්
ජල දහරා පතුරවන සේක. වම් ඇසින් ගිනිජාලා පතුරවන සේක. දකුණු කන්සිළෙන් ගිනිජාලා
පතුරවන සේක. වම් කන්සිළෙන් ජල දහරා පතුරවන සේක.
යළි වම් කන්සිළෙන් ගිනි ජාලා පතුරවන සේක. දකුණු කන්සිළෙන් ජල දහරා පතුරවන සේක.
දකුණු නැහැ සිලෙන් ගිනි ජාලා පතුරවන සේක. වම් නැහැසිළෙන් ජල දහරා පතුරවන සේක. යළි
වම් නැහැසිළෙන් ගිනි ජාලා පතුරවන සේක. දකුණු නැහැසිළෙන් ජල දහරා පතුරවන සේක. දකුණු
උරහිසින් ගිනි ජාලා පතුරවන සේක. වම් උරහිසින් ජල දහරා පතුරවන සේක. යළි වම් උරහිසින්
ගිනිජාලා පතුරවන සේක. දකුණු උරහිසින් ජල දහරා පතුරවන සේක.
දක්ෂිණ ශ්‍රී හස්තයෙන් (දකුණු අතින්) ගිනි ජාලා පතුරවන සේක. වාම ශ්‍රී හස්තයෙන් ජල
දහරා පතුරවන සේක. යළි වම් අතින් ගිනිජාලා පතුරවන සේක. දකුණු අතින් ජල දහරා පතුරවන
සේක. තථාගත ශ්‍රී ශරීරයේ දකුණු පසින් ගිනිජාලා පතුරවන සේක. වම් පසින් ජලදහරා පතුරවන
සේක. යළි වම් පසින් ගිනි ජාලා පතුරවන සේක. දකුණු පසින් ජලදහරා පතුරවන සේක. දකුණු
පාදයෙන් ගිනිජාලා පතුරවන සේක. වම් පාදයෙන් ජල දහරා පතුරවන සේක. යළි වම් පාදයෙන්
ගිනිජාලා පතුරවන සේක. දකුණු පාදයෙන් ජල දහරා පතුරවන සේක. ඇඟිලි අතරින් ජල දහරා
පතුරවන සේක. යළි ඇඟිලි අතරින් ගිනි ජාලා පතුරවන සේක. ඇඟිලිවලින් ජලදහරා පතුරවන සේක.
ලෝමවලින් ගිනි ජාලා පතුරවන සේක. ලෝම කූපවලින් ජල දහරා පතුරවන සේක. යළි ලෝම කූපවලින්
ගිනි ජාලා පතුරවන සේක. ලෝමවලින් ජල දහරා පතුරවන සේක. එමෙන් ම නිල්, කහ, රතු, සුදු,
තැඹිලි, ප්‍රභාෂ්වර යන ෂඩ්වරණ රෂ්මිමාලා විහිදුවන සේක.
සෘද්ධියෙන් තවත් බුදුරුවක් මවා භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරන සේක. නිර්මිත බුදුරුව
සිටගෙන සිටියි, වාඩි වී වැඩ සිටියි, නො එසේ නම් සැතපෙයි. භාග්‍යවතුන් වහන්සේ වාඩි
වී සිටින සේක. නිර්මිත බුදුරුව සක්මන් කරයි, සිටගෙන සිටියි, නො එසේ නම් සැතපෙයි.
භාග්‍යවතුන් වහන්සේ සැතපී සිටින සේක. නිර්මිත බුදුරුව සක්මන් කරයි, සිටගෙන සිටියි,
නො එසේ නම් වාඩි වී සිටියි. නිර්මිත බුදුරුව සක්මන් කරයි. භාග්‍යවතුන් වහන්සේ වාඩි
වී වැඩ සිටින සේක, සිටගෙන සිටින සේක, නො එසේ නම් සැතපී සිටින සේක. නිර්මිත බුදුරුව
සිටගෙන සිටියි. භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරන සේක, වාඩි වී සිටින සේක, නො එසේ නම්
සැතපී සිටින සේක. නිර්මිත බුරුදුව වාඩි වී සිටියි. භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරන
සේක, සැතපී සිටින සේක, නො එසේ නම් සිටගෙන සිටින සේක. නිර්මිත බුදුරුව සැතපී සිටියි.
භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරන සේක. සිටගෙන සිටින සේක. වාඩි වී හෝ සිටින සේක.
මේ තථාගතයන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්ය ඤාණය යි. යමක මහා ප්‍රාතිහාර්ය පාන්නා වූ
තථාගතයන් වහන්සේගේ ප්‍රාතිහාර්ය බලයෙන් ම කෙස්, අක්ෂි ආදී නිල් ස්ථානයන්ගෙන් නීල
රශ්මීහු නික්මෙත්. අහස්තලය අඳුන් විසුරුවන ලද්දක් මෙන් ද, නිල් පැහැති උම්මාපුප්ඵ
හා නිලුපුල් පෙතිවලින් වැසුණාක් මෙන් ද සෙලවී වැටෙන මැණික් තල් නටුවක් මෙන් ද,
විසුරුවන ලද මොනර ඇස්පිලෙන් තැනූ වස්ත්‍රයක් මෙන් ද දිස් වේ. චර්මයෙන් ද, අක්ෂියෙන්
ද, කහ පැහැති ස්ථානයන්ගෙන් කහ රශ්මීහු නික්මෙත්. දිසා ප්‍රදේශ රන්රස විසුරුවන්නාක්
මෙන් ද කොකුම් චූර්ණ කිණිහිරි මලින් ගැවසී ගත්තාක් මෙන්ද බබළති. මස් ලේ හා
අක්ෂීන්හි රත්පැහැ ස්ථානයන්ගෙන් ලෝහිත (රත්) රශ්මීහු නික්මෙත්. හාත්පස රත්සිරියල්
චූර්ණයෙන් වර්ණ ගැන්වූ ආකාරයෙන් මනාව ඉදුණු දිය කළ ලාකඩ රස ඉසින්නාක් මෙන් ද, රත්
කම්බිලියකින් වට කළාක් මෙන් ද, දෑ සමන්, එරබදු, වද යන මල්වලින් ගැවසී ගත්තාක් මෙන්
ද බබළති. අස්ථින්ගෙන් ද, දන්තයන්ගෙන් ද, නේත්‍රයන්හී ශ්වේත (සුදු) ස්ථානයන්ගෙන් ද
ශ්වේත රශ්මීහු නික්මෙති. දිසා ප්‍රදේශ රිදී පර්වත මුදුන්වලින් ඉසිනු ලබන ක්ෂීරධාරා
ගැවසී ගත්තාක් මෙන් ද, දිගහරින ලද රිදී වියනක් මෙන් ද, පතිතවන රිදී තල්නැටි මෙන් ද,
කොඳ සුදුමානෙල්, නික, සමන්, දෑසමන් ආදී පුෂ්පයන්ගෙන් ගැවසී ගත්තාක් මෙන් ද බබළති.
අත්ල, පතුල ආදී මඳ රතු ස්ථානයන්ගෙන් මදටිය පැහැති රශ්මීහු නික්මෙත්. හාත්පස පබළු
දැලකින් වටකළාක් මෙන් ද රතු කටුකරඬු විසිරවූවා මෙන් ද බබළති. සියුම් රෝම නිය ආදී
ප්‍රභාස්වර ස්ථානයන්ගෙන් ප්‍රභාස්වර රශ්මීහු නික්මෙති. දිසා ප්‍රදේශ තරු රාශියකින්
විසුරුණාක් මෙන් ද, විදුලි පටලයකින් පිරුණාක් මෙන් ද බබළති.
මේ අසිරිමත් පෙළහර මුල් ම වතාවට ගයාවේ ජය ශ්‍රී මහා බෝධිය සමීපයේ ඉහළ ආකාසයේ පෑ
මොහොතේ සම්බුද්ධත්වය ලැබීදෝ නොලැබීදෝ යැයි දෙව් බඹුන් තුළ වූ සැක සංකා මුළුමනින් ම
පහව ගොස් අපමණ ශ්‍රද්ධාවටත්, පී‍්‍රති ප්‍රමෝදයටත් පත් වූහ. දෙවන වර කිඹුල්වත්පුර
ඉහළ අහසේ දී යමාමහපෙළහර පෑ මොහොතේ දී ශාක්‍යයන් මන් සිඳගෙන සිය අසහාය
ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේට වන්දනා මානා කොට තෙරුවන් සරණ ගියහ. තෙවන වර ගණ්ඩම්බ
රුක්ඛ මූලයේ දී මෙම විස්මිත පෙළහර පා සදහම් දෙසූ මොහොතේ අසූ කෙළක් ප්‍රාණීහු
ධර්මාවබෝධයෙන් නිවී සැනසුණහ.
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ පසුව ද සම්බුද්ධ අධිෂ්ඨානය පරිදි ස්වර්ණමාලී
සෑ මළුවේ ද, ථූපාරාමයට ඉහළ ආකාශයේ ද මේ අසිරිමත් විස්මිත පෙළහර සිදුවූ අසිරිය
මහාවංශයේ සඳහන් වන්නේ මෙලෙසිනි.
“ස්වර්ණමාලී සෑ මළුවේ දී ධාතුන් වහන්සේ වැඩසිටි ඒ ධාතු කරඬුව ගාමිණී අභය රජතුමාගේ
හිසෙන් අහසට පැන නැංගේ ය. තල් ගස් හතක් උසට අහසේ වැඩ සිටියේ ය. ඉබේටම කරඬුව විවෘත
වී ධාතුන් වහන්සේ අහසට වැඩ මහා පුරුෂ ලක්ෂණ, අසූවක් අනුව්‍යංජනයෙන් බබළන බුදුරජාණන්
වහන්සේගේ හැඩය ගත් සේක.
ගණ්ඩබ්බ රුක්මුල යමාමහ පෙළහර පෑ සෙයින් ම අනුරපුර අහස් තලයෙහි යමාමහ පෙළහර දක්වා
වදාළ සේක. ඒ සොඳුරු පෙළහර දැකීමෙන් බුද්ධානුස්සතිය වඩා සමාහිත සිතින් එතැන සිටි
දෙවි මිනිස්සු දොළොස් කෝටියක් අරහත් ඵලයට පත්වූහ. අනිත් මාර්ගඵලයන්ට පත්වූ දෙව්
මිනිස් පිරිස ගණන් කිරීම් ඉක්මවා ගියේ ය. ඉන්පසු ඒ ධාතූන් වහන්සේ බුද්ධ ස්වරූපය
අත්හැර නැවත කරඬුවෙහි වැඩ සිටියහ.
ථූපාරාම සෑ මළුවේ දී ද දකුණු අකු ධාතුන් වහන්සේ තල්ගස් සතක් පමණ උසට අහසට පැන නැඟී
යමක මහා ප්‍රාතිහාර්ය දක්වද්දී එයින් නික්මී ගත් ගිනි ජාලාවෙනුත්, ජල ධාරාවෙනුත්
මුළු ලංකාදීපය ම ආලෝකවත් විය, තෙමී ගියේ ය.
මෙලෙස අපමණ බුද්ධානුභාවයෙන් යුතු අපගේ ශාස්තෲන් වහන්සේට හදපිරි නමස්කාරය වේවා. |