[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 මරණය ළඟ ඔබත් සතුටින් ද?

 මරණය ළඟ ඔබත් සතුටින් ද?

මරණය කියන වචනය අසද්දී පවා අපගේ සිත සලිත වෙනවා. තැති ගන්නවා. ලොමුඩැහැගැන්වෙනවා. බිය ඉපදෙනවා.

මරණයට අප කෙතරම් අකැමැති වුවත් එයින් පැන යන්නට, බේරෙන්නට, මරණය ඉක්මවා යන්නට අප කාටවත් ම බැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේ පවා මරණය නම් ධර්මතාවට මුහුණ දුන්නා.

මේ අති දීර්ඝ සසරේ කෙතරම් නම් අපි මරණය වැළඳගෙන ඇද්ද? ඇතැම් විට කැමැත්තෙන් ද, ඇතැම් විට විලාප දෙමින්, බියට, සංතාපයට පත්ව අකැමැත්තෙන් ද මරණයට අප මුහුණ දෙන්න ඇති. ඒත් මරණය මුණ ගැසෙන සෑම වාරයක ම මරණ බය අප හදවතේ හටගන්නවා. භාග්‍යවතුන් වහන්සේ මරණය ගැන වදාළේ මේ ආකාරයට යි.

"තමා අතේ කිසියම් දඬු මුගුරක් නැති අවස්ථාවක විෂඝෝර සර්පයෙක් හමු වෙනවා. කිසිදු පිහිටක් නැති නිසා අපි බිය වෙනවා. සලිත වෙනවා. මරණ සතිය නො වැඩූ කෙනාත් එලෙස ම යි මරණය ඉදිරියේ හැසිරෙන්නේ."

නමුත් හොඳින් මරණ සතිය වැඩූ කෙනාගේ සිත ඊට වෙනස්. විෂඝෝර සර්පයා මුගුරකින් ඈතට වීසි කරනවා වගේ කිසිදු බියක්, තැති ගැනීමක් නොමැති ව මරණයට සතුටින් මුහුණ දෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මරණ සතිය වැඩීම තුළින් මරණ බිය දුරුවෙන බවයි.

ඒ වගේම ඇසූ දහම තම නුවණින් මෙනෙහි කරනවා නම්, ඔහුගේ ප්‍රඥාව වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ සිදුවූ එක්තරා සිදුවීමක් මේ. .

දහසය හැවිරිදි තරුණියක් අලව් නුවර ජීවත් වුණා. ඇය පේෂකාර දියණියක්. මරණ සතිය නිරන්තරයෙන් පුරුදු කරමින් සිටියේ. පෙර දිනක භාග්‍යවතුන් වහන්සේ අලව් නුවරට වැඩම කර දානය වළඳා අනුමෝදනා බණ ලෙස වදාළේ මරණ සතිය ප්‍රගුණ කරන ආකාරය ගැනයි.

“පින්වතුනි, ඔබ නිරන්තරයෙන් මෙසේ සිහි කරන්න. අනිවාර්යයෙන් ම මම මැරෙන කෙනෙක්. මගේ ජීවිතය මරණයෙන් අවසන් වෙනවා. මේ ජීවිතය අනියත යි. මරණය නියත යි. ඔබ එසේ සිහි කරද්දී මරණය බිය ඔබෙන් පහව යනවා” යනුවෙන් උන්වහන්සේ වදාළා.

මේ අවුරුදු දහසයේ පේෂකාර දියණිය බණ පදය හොඳට හිතට ගෙන

“අද සිට මරණ සතිය වඩනවා” කියා අධිෂ්ඨානයක් ඇති කර ගත්තා. දිනපතා දිවා, රාත්‍රී නිරන්තරයෙන් මරණ සතිය මෙනෙහි කළා. මෙලෙස අවුරුදු තුනක් ගෙවී ගියා.

වසර තුනකට පසු අපගේ බුදුරජාණන් වහන්සේ බුදු නෙතින් ලෝකය දෙස බැලුවේ "මම අද කාටද පිහිට වෙන්නේ" කියලයි. මරණ සතිය වැඩීම නිසා ප්‍රඥාව මෝරා තිබූ පේෂකාර දියණිය බුදු නෙතට දුටුවා. ඇයට පිහිටවීමේ අදහසින් භාග්‍යවතුන් වහන්සේ නැවත අලව් නුවරට වැඩියා. එදත් දානය වළඳා, ධර්මය දේශනා කිරීමට සූදානම් වුවත්, පේෂකාර දියණිය දම්සභා මණ්ඩපයේ සිටියේ නැහැ. ඇය එනතුරු භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව වැඩ සිටියා. රෙදී විවීමට නූල් රැගෙන පේෂකාර ශාලාවට යන අතරතුර දහම් ඇසීමේ ආශාවෙන් දම්සභා මණ්ඩපයට පැමිණ පිරිස කෙළවරේ වාඩි වුණා. ඒ අවස්ථාවේ සම්බුදු මුව මඬල විවර කරමින්, බ්‍රහ්ම ස්වරයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් දියණිය, ඔබ කොහේ සිටද එන්නේ?”

“ස්වාමීනි, මම ඒ ගැන දන්නේ නැහැ”

“ඔබ කොහේද යන්නේ”

“ස්වාමීනී, ඒ ගැනත් මම දන්නේ

නැහැ”

“දියණිය නුඹ දන්නේ ම නැද්ද?

“ස්වාමීනී දන්නවා”

“දන්නවා නේද?”

“ස්වාමීනී දන්නේ නැහැ”

භාග්‍යවතුන් වහන්සේ ඇසූ ප්‍රශ්නවලට ඇය දෙන පිළිතුරු කිසිදු ගෞරවයක් නැති වදන් පෙළක් කියලයි පිරිස සිතුවේ. එතැන සිටි වැඩිහිටියන් පේෂකාර දියණිය ගැන තරහ සිත උපදවා ගත්තා. ඔවුන් මරණ සතිය නො වැඩූ නිසා ප්‍රඥාව මෝරා තිබුණේ නැහැ. ඒ බව දැනගත් භාග්‍යවතුන් වහන්සේ ඇයගෙන් ම ඒ පිළිතුරුවල අර්ථය විමසුවා.

“දියණිය, ඔබ කොහේ සිට ආවා දැයි ඇසූ විට දන්නේ නැහැ කිව්වේ ඇයි?”

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම පේෂකාර නිවසේ සිට පැමිණි නිසා ඔබ වහන්සේ දන්නා සේක. නමුත් ඇසුවේ මම කිනම් ලෝකයකින් චුත වෙලා ද මේ ලෝකයේ ඉපදුණේ කියල යි. ඒ ගැන මම නො දන්නා නිසයි දන්නේ නැහැ කිව්වේ.

“ඔබ කොහෙද යන්නේ කියා ඇසූවිට දන්නේ නැහැ කිව්වේ ඇයි”

“ස්වාමීනී මම නූල් රැගෙන පේෂකාර ශාලාවට යන බව භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක. නමුත් මෙලොවින් චුත වෙලා නැවත නැවත ඉපදෙන ලෝකය කොහේද කියලයි ඔබ වහන්සේ ඇසුවේ. මම ඒ ගැන දන්නේ නැති නිසයි දන්නේ නැහැ කිව්වේ.”

“ඔබ දන්නේ නැද්ද? කියා ඇසූවිට දන්නවා කියා කිව්වේ ඇයි?”

“ස්වාමීනි, ඔබ වහන්සේ විමසුවේ මැරෙන බව දන්නේ නැද්ද කියල යි. මම අවුරුදු තුනක් පුරා මරණ සතිය වඩනවා. ඒකාන්තයෙන් මම මැරෙන බව දන්නවා. ඒ නිසයි මම දන්නවා කිව්වේ.”

“දන්නවා නේද ඇසූ විට ඔබ ඇයි දන්නේ නැහැ කිව්වේ”

“ස්වාමීනී, මම මැරෙන බව දන්නා නමුත්, කොයි වෙලාවේ, කො තැනක දී මැරෙයිද කියලා දන්නේ නැහැ. එනිසයි මම දන්නේ නැහැ කිව්වේ.”

ඒ ප්‍රශ්නවලට ඇය දුන් පිළිතුර ඇසූ භාග්‍යවතුන් වහන්සේ සාධුකාර දෙමින් ඒ පිළිතුරු අනුමෝදන් වුණා. ඒ මොහොතේ උන්වහන්සේ ධර්මය දේශනා කළ අතර පේෂකාර දියණිය සෝවන් ඵලයට පත්වුණා. සදහටම සතර අපායෙන් මිදුණා. ඒ සියල්ල ඇයට ලැබුණේ අත නො හැර මරණ සතිය වැඩූ නිස යි. ඈ තුළ ඒ සුන්දර ප්‍රඥාව මෝදුවෙමින් තිබූ බව ඇයවත් දැනගෙන සිටියේ නැහැ.

මේ ලෝකයේ ඇතැම් දෙනා යුද ගැටුම්, කලකෝලාහල, මිනීමැරුම්, සොරකම්, එකට එක කිරීම් ආදී සෑම පාපී ක්‍රියාවක් ම සිදු කරන්නේ ඊළඟ මොහොතේ තමා මැරෙයි ද කියා නො සිතන නිසයි.

ඇතැම් දෙනා ජීවිත මදයෙන් මත්වෙලා සිත පටු කර ගෙන බොහෝ පාපී ක්‍රියා සිදු කරනවා. ඔවුන් පිනක් කරන්නේ නැහැ. දානයක් දෙන්නේත් නැහැ. ධර්මය අසන්නේත් නැහැ. නො මැරෙන කෙනෙක් ලෙස ජීවත් වෙලා අවසානයේ දී පසුතැවීම් මැද මරණයට මුහුණ දෙන්නේ. එහෙම කෙනකුට සතුටින් මැරෙන්න බැහැ වගේ සුගති ලෝකයක ඉපදෙන්නටත් බැහැ. බොහෝවිට ඔහු මනුස්ස ලෝකය අත හරිද්දී සතර අපායේ එක් ලෝකයක ඉපදෙන්නට පුළුවන්. ඉහළට ගත් හුස්ම රැල්ල පහළට හෙළන තරම් කාලයක්වත් අපට ජීවත්වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන් කාට ද? මේ ජීවිතය එතරම් ම අස්ථිර යි. මරණ සතිය වඩන කෙනා පින, කුසලය කල් දමන්නට සිතන්නේ නැහැ. පාපී දේ කරන්න සිතන්නේත් නැහැ. මේ ජීවිතය අත් හරින්නට පෙර මගේ ජීවිතයට පිහිටක්, පිළිසරණක් හදා ගන්නට ඕනෑ”කියා සිතමින් අප්‍රමාදී වෙනවා. ඔහුට පමණයි සතුටින් මැරෙන්න පුළුවන්.

එනිසා මේ ලෝකයේ නො මැරී සිටි කෙනෙක් නැති බව නිතර සිහි කරන්න. කෙ තරම් අකැමැති වුවත්, කෙ තරම් වගකීම්, කටයුතු තිබුණත් කවදා, කො තැනක, කිසියම් මොහොතක හෝ අපි හැමෝම මැරෙන බව සිහි කරන්න. බොහෝ දෙනා සිතනවා. “කවදාහරි දවසක අපි මැරෙන බව ඇත්ත. ඒත් දැන් ම නම් මැරෙන්නේ නැහැ” කියලා. ඒ සිතිවිල්ල පිනට, කුසලයට අප ව ප්‍රමාද කරනවා. බොහෝ දෙනා සිතින්, කයින්, වචනයෙන් පව් කරන්නේ මේ සිතිවිල්ල නිසයි. ඒ, “අපි නම් දැන්ම මැරෙන්නේ නැහැ” කියන ප්‍රමාදි සිතිවිල්ල යි.

එනිසා සතුටින් මැරෙන්නට නම් ගෞතම බුදුසසුන තුළ ප්‍රමාද නො වී කුසල් දහම් දියුණු කර ගනිමු.

මැදින් අව අටවක

 මාර්තු 22 සෙනසුරාදා පූ.භා 04.25 අව අටවක ලබා 23 ඉරිදා
පූ.භා 05.25න් ගෙවේ.
22 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]