සක්කාය දිට්ඨිය අවබෝධ කර ගනිමු
බුදුරජාණන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේ වැඩ වසන සේක. ඒ සමයේ
විශාක නම් වූ උපාසක මහත්මයෙක් ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ කරා පැමිණියේ ය. එම
අවස්ථාවේ විශාක උපාසක මහතා ධම්මදින්නා මෙහෙණින් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ කුමන
දහමක් “සක්කාය” යැයි වදාරණ ලද්දේ දැයි ප්‍රශ්න කළේ ය.
එවිට ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ මෙම පැහැදිලි කිරීම කළා ය.
“පංච ඛො ඉමෙ ආවුසො
විසාඛ, උපාදනක්ඛන්ධා සක්කායො
වුත්තෝ භගවතා, සෙය්‍යථිදං
රූප උපාදන ඛන්ධො
වේදනා උපාදාන ඛන්ධො
සඤ්ඤා උපාදාන ඛන්ධො
සංඛාරා උපාදාන ඛන්ධො
විඤ්ඤාණ උපාදන ඛන්ධො ඉමෙ ඛො
ආවුසො විසාඛ පඤ්චඋපාදනක්ඛන්ධා
සක්කායො වුත්තො භගවතා”
මෙම පාලි පාඨයේ තේරුම මෙසේ ය.
ඇවැත් විශාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයට හේතු වූ නැතහොත් ප්‍රත්‍ය
වූ ස්කන්ධ පහ සක්කාය යැයි වදාරණ ලදහ. ඒවා නම්, රූප උපාදානස්කන්ධය
වේදනා උපාදානස්කන්ධය
සංඥා උපාදානස්කන්ධය
සංඛාර උපාදානස්කන්ධය හා විඤ්ඤාණ උපාදානස්කන්ධය
යැයි ද විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ මේ පඤ්චස්කන්ධය සක්කාය යැයි වදාරණ ලදි.
රූප, වේදනා, සංඥා, සංඛාර සහ විඤ්ඤාණ යන පංචස්කන්ධය උපාදාන වශයෙන් අල්ලා ගැනීම
නැතහොත් බැඳීයාම (සංසාරික ව) සිදු වෙනවා. මෙම අල්ලා ගැනීම තමයි “සක්කාය” යනුවෙන්
අදහස් කළේ.
සත්ත්ව යන වචනයට මිනිසුන්, තිරිසන් සතුන්, මෙන් ම දෙවියෝ ද ඇතුළත් වෙනවා. ඒවගේම
මනුෂ්‍ය කියන වචනයට ස්ත්‍රී පුරුෂ යන කොටස් දෙක ම අයිති වෙනවා. මේ අය අතර බාල මහලු
යනාදී වශයෙන් විවිධ කොටස් සිටිනවා. ස්ත්‍රී,පුරුෂ හෝ බාල මහලු වශයෙන් මනුෂ්‍යයන්
වර්ගීකරණය කළත් ඔවුනොවුන් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීම ව්‍යවහාර ලෝකය තුළ සිදුවිය
යුත්තක්. එනිසා තමයි මෙම පිරිසට විමලසේන, ධර්මදාස, කමලා, විමලා යනාදී වශයෙන් විවිධ
නම්වලින් නම් කරන්නේ. ඔවුනොවුන් එකිනෙකා වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීම සඳහා මෙලෙස
නම් කිරීම අප හඳුන්වන්නේ සම්මුති සත්‍යය ලෙසයි.
නමුත් දහම අවබෝධ කර ගැනීමේ දී අප බැලිය යුත්තේ සම්මුති සත්‍යයෙන් නොවේ. දහම අවබෝධ
කර ගැනීමට නම්, අප බැලිය යුත්තේ පරමාර්ථ සත්‍යයෙන්.
ව්‍යවහාර ලෝකයේ දී මනුස්සයන් විවිධ නම්වලින් හැඳින්වූවත් දහම අනුව බැලීමේ දී
මිනිසුන්, සතුන්, දෙවියන් ඇතුළු සියලු දෙනා අයිති වෙන්නේ සත්ත්ව යන කොටසටයි. මෙම
සියලු සත්ත්වයන්ගේ සසරෙහි බැඳීයාම සිදු වන්නේ මෙම පඤ්චස්කන්ධය නිසයි. එය තේරුම්
ගැනීම පරමාර්ථ දේශනා ලෙසයි සැලකෙන්නේ. පඤ්චස්කන්ධය පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡා
කර තේරුම් ගත යුතු තත්ත්වයක් වුව ද, මෙහිදී එය කෙටියෙන් හෝ පැහැදිලි කර ගැනීම
වැදගත් වෙයි. අප දකින සියලු දේවල් රූප. එය ස්කන්ධයක් (කොටසක්) ලෙසයි දකින්නේ.
අභිධර්මයේ දී රූප 28ක් ඇති බව පෙන්වා දෙනවා.
වේදනාව ගත්විට සැප වේදනා තියෙනවා. දුක් වේදනා තියෙනවා. දුකත් සැපත් නැති වේදනා
තියෙනවා. මෙම සත්ත්වයන් ධර්මානුකූල ව බලන විට එයත් පඤ්චස්කන්ධයට අයිති තවත්
ස්කන්ධයක් ලෙසයි සැලකෙන්නේ.
මෙය තව ටිකක් සරල ව තේරුම් ගැනීමට උත්සාහ කළ හොත් සත්ත්වයා පරමාර්ථ වශයෙන් පහකට
බෙදන බවයි මින් අදහස් කරන්නේ. ඉන් එකක් වන්නේ රූපස්කන්ධය යි. වේදනාව කියන්නේ තවත්
එකක්. සංඥා යනුවෙන් හැඳින්වූයේ හැඳිනීමයි. සංඛාර කියන්නේ එකතු වීමයි. කුසල් අකුසල්
මෙන්ම කුසලුත් නොවන, අකුසලුත් නොවන දේ සංඛාර ස්කන්ධයන් ලෙස සැලකෙනවා. විඤ්ඤාණ යනු
දළ වැටහීමකි. අවට සියලු වැටහීම් ඇති වන්නේ විඤ්ඤාණය නිසයි. එය සය වැදෑරුම් බවයි
දහමේ සඳහන් වන්නේ.
“සක්කාය පිළිබඳ ධම්මදින්නා මෙහෙණින් වහන්සේ විශාඛ උපාසක මහතාට තේරුම් කර දීමෙන්
අනතුරුව ඔහු තවත් ප්‍රශ්න කිහිපයක් අසයි. මෙහෙණින් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ
විසින් සක්කාය සමුදය යනුවෙන් කුමක් වදාරණ ලද්දේ ද?
ධම්මදින්න භික්ෂුණිය,
සක්කාය සමුදය ලෙස වදාළේ තෘෂ්ණාවයි. ඒ කියන්නේ පඤ්චස්කන්ධය දුක්ඛයට හේතුව තෘෂ්ණාව
බවයි මින් අදහස් කරන්නේ. මෙහිදී “සමුදය” යන්නෙහි අර්ථය හට ගැනීමයි. ඒ අනුව සක්කාය
සමුදය යනුවෙන් අදහස් කරනුයේ සක්කාය හට ගැනීමට හේතුව කුමක්ද යන්නයි. හේතුව
තෘෂ්ණාවයි. අප කලින් සඳහන් කළ අයුරින් සක්කාය යනුවෙන් අදහස් කළේ පඤ්චස්කන්ධය යි. ඒ
අනුව බලන කළ පඤ්චස්කන්ධය නිසා සසරෙහි ඇතිවන බැඳීයාම ඇතිවන හේතුව (සමුදය) තෘෂ්ණාව බව
අපට තේරුම් ගැනීමට පුළුවන්.
භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කාය නිරෝධයැයි කුමක් වදාරණ ලද්දේ ද? අනතුරුව විශාඛ
උපාසක මහතා විමසන්නේ ය.
ධම්මදින්න භික්ෂුණිය,
භාග්‍යවතුන් වහන්සේ තෘෂ්ණාව නිරෝධය සක්කාය නිරෝධය ලෙස වදාරා ඇත. සසර ගමන සිරගෙයක
බැඳීම සේ වන නිසා “රෝධ” නම් වෙනවා. ඒ සසර සැරිසැරීම නමැති දුක් ඇති දුක් සහිත
සිරගෙයින් මිදීමයි මෙයින් අදහස් කෙරෙන්නේ.
විශාක උපාසකතුමා භාග්‍යවතුන් වහන්සේ විසින් සක්කාය නිරෝධගාමිණි පටිපදාව යනුවෙන්
කුමක් වදාරණ ලද්දේ ද?
ධම්මදින්න භික්ෂුණිය,
භාග්‍යවතුන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා
වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සක්කාය
නිරෝධ ගාමිණී පටිපදාවය වදාළ සේක. නිබ්බාන හෙවත් නිර්වාණයට දුක්ඛ නිරොධයයි කියනවා. ඒ
නිබ්බාන නම් වූ දුක්ඛ නිරෝධය අවබෝධ කිරීමේ මාර්ගය දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව යැයි
වදාළ සේක. එම පටිපදාව අරි අටමඟයි. මෙහි සක්කාය නිරෝධ ගාමිණී පටිපදාව කියන්නේ සක්කාය
දිට්ඨි නැති කිරීමට අනුගමනය කළ යුතු මාර්ගයයි.
මෙම ලිපියෙහි ඉතිරි කොටස 29 මැදින් අමාවක පෝදා අන්තර්ජාල කලාපයේ පළවේ.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
හේමමාලා රන්දුනු |