[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ලෙන් විහාර සම්ප්‍රදායේ අසිරිමත් නාමය පිලිකුත්තුව රාජ මහා වෙහෙර බිම

ලෙන් විහාර සම්ප්‍රදායේ අසිරිමත් නාමය පිලිකුත්තුව රාජ මහා වෙහෙර බිම

ලෙන් විහාර සම්ප්‍රදායේ ආගමික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් පොහොසත් ඓතිහාසික පුණ්‍ය භූමියකි පිලිකුත්තුව රාජමහා විහාරය. අඩි 400 - 450 ක් පමණ උස කඳුගැටයක් පුරා අක්කර 250ක් තරම් භූමි භාගයක පැතිරී තිබෙන මෙම විහාරයට අයත් භූමියෙන් අක්කර 52ක පමණ ප්‍රමාණයක් රාජමහා විහාරය සතුව පවතියි. ඉතිරි භූමි ප්‍රමාණයේ ඇති ස්මාරක පමණක් විහාරයට අයත් ව පවතියි. මෙරට වැඩිම ලෙන් සංඛ්‍යාවක් සහිත විහාරස්ථානයක් ලෙස ද මෙම පුද බිම සුප්‍රසිද්ධ ය.

මෙම පුදබිම ආදී මානව ජනාවාසයක් ව පැවති බවට කරන ලද කැණීම් සාධක සපයයි. මහින්දාගමනයෙන් පසුව සිදු වූ දියුණුවත් සමඟ ම එතෙක් පැවැති ගල් ගුහා වැස්සෙන් ආරක්ෂාවීමට හැකි පරිදි කටාරම් කොටවා සඟරුවනට පිදූ බවට සෙල් ලිපි සාක්ෂි දරයි. එම කාලය දේවානම් පියතිස්ස රජ දවස බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වේ.

ක්‍රි.පූ. 1 සියවසේ දී මේ භූමිය හා අවට වන පියස තුළ වලගම්බා රජු සැඟවී සිට සේනාව ඒකරාශී කොට නැවතත් අනුරාධපුර රාජධානියේ රජ වූ බව ජනප්‍රවාදයන් හි සඳහන් වේ. සැඟවී සිටි රාජකීයයන්ගේ රාජාභරණ සැඟ වූ නිසා පිලිකුත්තුව නාමය ව්‍යවහාර වූ බවට එක් මතයක් ද, සැඟවී සිටි රාජකීයයන්ට ඇඳුම් සැපයූ ගම පිලිකුත්තුව වූවා යැයි ද තවත් මතයක් ද වේ.

පිලිකුත්තුව රාජමහා විහාරය සහිත භූමියෙහි ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවස පමණ ඈත අතීතයට දිව යයි. මෙම සියවසේ දී පමණ මෙහි වන අරණ බෞද්ධ භික්ෂූන් වහන්සේට භාවනානුයෝගී ව වැඩ සිටීමට සුදුසු වන පරිදි වැඩිදියුණු කොට තිබූ බව පැරැණි පුරාවිද්‍යා ලේඛනවල සඳහන් ය.

මෙහි ලෙන් ලිපි අතරින් එක් ලෙන් ලිපියක කියැවෙන්නේ අශ්වාරෝහක ප්‍රධානියාගේ සොහොයුරු අගිබුති විසින් මෙම පුදබිම සඟ සතු කරවා පූජා කළ බවයි. මෙහි කටාරම් රහිත ලෙන මෙන් ම කටාරම් කෙටූ ලෙන් වශයෙන් ලෙන් 99ක් පමණ තිබෙන බව ද කියැවේ. කටාරම් රහිත ලෙන් තුළ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා වාසය කරන්නට ඇති බව ඉතිහාසඥයෝ ප්‍රකාශ කර ඇත.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන් එක් අවස්ථාවක ධර්ම දේශනයක් සඳහා දෝලාවකින් මෙහි වැඩම කර ඇති අතර සවස් කාලයේ දී මහා වැස්සක් නිසා දෝලාවේ ගමන අපහසු විය. එම නිසා පිලිකුත්තුව පුදබිමේ තිබූ තිරික්කලයෙන් ආපසු වැඩි බව ද සඳහන් ය. අදටත් ප්‍රතිසංස්කරණය කරන ලද එම දෝලාව විහාරස්ථානයේ දක්නට ඇත. ඒ වගේ ම ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ලීයෙන් කරවා ඇති දෙවන දැවමුවා පාලම ද දක්නට ලැබේ. එය මහනුවර යුගයේ දී කරවූවක් බව පුරාවිද්‍යා මතයයි.

ඒ වගේ ම ආසියාවේ පැරණිතම, “පුස්” නමින් හඳුන්වන වැල ඇත්තේ ද මෙම විහාර භූමියේ ය.

පිලිකුත්තුව මහා විහාරයේ ප්‍රධානතම ගොඩනැඟිල්ල ලෙස ලෙන් විහාරය හඳුනා ගන්නා අතර, මෙහි සැතපෙන පිළිම වහන්සේ නමක්, හිටි පිළිම වහන්සේ නමක් සහ සමාධි පිළිමයක් ද, නුවර යුගයට අයත් සිතුවම් රැසක් ද දක්නට ඇත. “කුමර බෝධිය” හා “කුමරි බෝධිය” නමින් බෝධීන් වහන්සේ දෙනමක් වැඩ සිටිති. පිලිකුත්තුව රාජමහා විහාර කන්දෙහි ආවේණික වූ නාමයන්ගෙන් සුසැදි ගල්තලා ද රාශියකි. එයින් බැළුම්ගල අතීතයේ ඔත්තු බැලූ ස්ථානයක් ලෙසට පුරාවිද්‍යාඥයන් හඳුනාගෙන ඇත.

වර්තමානයේ පවතින තත්ත්වයට විහාරය සංවර්ධනය වී ඇත්තේ මහනුවර යුගයේ දී හා ඊට පසු කාලයේ දී බව ද සඳහන් ය.

මැදින් අව අටවක

 මාර්තු 22 සෙනසුරාදා පූ.භා 04.25 අව අටවක ලබා 23 ඉරිදා
පූ.භා 05.25න් ගෙවේ.
22 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]