[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගුණ නැණ බෙලෙන් පිරිපුන් පනම්වෙල වජිරබුද්ධි නා හිමි

ගුණ නැණ බෙලෙන් පිරිපුන් පනම්වෙල වජිරබුද්ධි නා හිමි

පනම්වෙල වජිරබුද්ධි නා හිමියන් වෙත උතුරු අමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය මාර්තු 30 මහනුවර මල්වතු මහා විහාරීය රාජකීය මංගල උපෝසථාගාරයේ දී පැවැත් වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි

අමෙරිකාවේ ජෝර්ජියා බෞද්ධ විහාරාධිපති, පන්නල සව්වණක් අරණ නිර්මාතෘ, දෙමටගොඩ පධානඝර මහා විහාරවාසී, ත්‍රිපිටකවේදී පනම්වෙල වජිරබුද්ධි ස්වාමීන් වහන්සේ ලක්දිව අතිසම්භාවනීය ථෙරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන් මේ යැයි, මැනවින් ප්‍රකට කරමින් වැඩවෙසෙන ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමකි.

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කන්දඋඩපත්තුවේ හක්මන නගරාසන්නයේ පිහිටි “පනම්වෙල” නැමති පෞරාණික සුන්දර ගම් පියසේ විසූ ප්‍රභූ පරපුරකින් පැවතෙන පරවාහැර කංකානම්ගේ ඇඩ්ඩින් මහෝපාසක මහතාගේ සහ බේබිහාමි ලියනගේ මහෝපාසිකාවගේ පුත්‍ර රත්නයක් ලෙස වර්ෂ 1966 සැප්තැම්බර් මස 27 වැනි දින පනම්වෙල වජිරබුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ජන්මලාභය ලැබූ හ. ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ පනම්වෙල රතනපාල විද්‍යාලයෙනි.

වර්ෂ 1980 ඔක්තෝබර් මස 16 වැනි දින කොළඹ 09, දෙමටගොඩ පධානඝර මහා විහාරයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් පනම්වෙල වජිරබුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අස්මදාචාර්යපාදෝත්තමයාණන් වහන්සේ වූයේ දෙමටගොඩ පධානඝර මහා විහාරාධිපති, රුහුණු විශ්වවිද්‍යාලයේ සමාරම්භක කුලපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, භාෂාන්තර විශාරද, ආචාර්ය පරවාහැර ශ්‍රී පඤ්ඤානන්ද නා හිමිපාණන් වහන්සේ ය. එකී කීර්තිධර මහා යතිවරයාණන් වහන්සේ ඇසුරෙහි වෙසෙමින් සාමණේර නමක විසින් උගත යුතු මූලික ධර්ම විනය, භාෂා ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කළ උන්වහන්සේ පාරිවේණික අධ්‍යාපනය ලැබුවේ තත් විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන පැවති දෙමටගොඩ පධානඝර මහා විහාරස්ථ ධර්ම දූත විද්‍යාල පරිවේණස්ථානයෙනි.

වර්ෂ 1987 මැයි මස 21 වැනි දින මහනුවර මල්වතු මහා විහාරීය රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලැබීය.

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ වජිරබුද්ධ හිමිපාණෝ තවදුරටත් ස්වකීය ධර්ම ශාස්ත්‍ර හා ප්‍රාචීන භාෂා ඤාණය මනාව ප්‍රගුණකර ගත්හ. තත් විශ්වවිද්‍යාලය වෙතින් ත්‍රිපිටකවේදී උපාධිය ලබා ගත් උන්වහන්සේ පසුව ස්වකීය විද්‍යාස්ථානය ම වූ දෙමටගොඩ පධානඝර මහා විහාරස්ථ ධර්මදූත විද්‍යාල පිරිවෙණේ ආචාර්යවරයකු ලෙස ස්වකීය ධර්ම ශාස්ත්‍රීය සේවාවෙහි සමාරම්භක පියවර සනිටුහන් කළහ.

ධර්ම දූතයන් වහන්සේ නමක් ලෙස තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, මියන්මාර් යන රටවල සංචාරය කළ උන්වහන්සේ වර්ෂ 1994 දී අමෙරිකා එක්සත් ජනපදයට සැපත් වූ හ. එහි කැලිෆෝනියා ප්‍රාන්තයේ කාම්බෝජ විහාරස්ථානයක වැඩවෙසෙමින් ධර්ම දූත සේවාවන්හි නිරත වෙමින් සිටින අතර වර්ෂ 1999 දී ජෝර්ජියා ප්‍රාන්තයට වැඩම කළහ. 2000 වසරේ දී අට්ලන්ටා නගරයේ බෞද්ධ විහාරස්ථානයක් ආරම්භ කළහ. මේ වනවිට පුරා වසර 29ක් තිස්සේ අමෙරිකාවේ වැඩ වෙසෙමින් ස්වකීය පුරෝගාමිත්වයෙන් ඇරඹි ජෝර්ජියා බෞද්ධ විහාරස්ථානයේ ආධිපත්‍යය දරමින් සිදු කරන ධර්මදූත, සංස්කෘතික, සාමාජික සහ අධ්‍යාපනික සේවාව ඉතා විශිෂ්ට ය.

අමෙරිකාවේ වැඩසිටි දීර්ඝ කාලය තුළ Interactine College of Technology, University of Warwick  යන උසස් අධ්‍යාපන ආයතන වෙතින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවන් ලබා ගැනීමට ද වජිරබුද්ධි හිමියන් සමත් වූ හ. එම පාඨමාලාවන් තුළින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පමණක් නොව අමෙරිකානු සාහිත්‍යය හා සංස්කෘතිය පිළිබඳව ද ප්‍රාමාණික දැනුම් සම්භාරයක් ලබා ගත්හ.

එලෙස ස්වකීය කටයුතු මැනවින් පවත්වා ගෙන ගිය අතර ම ශ්‍රී ලාංකේය සම්ප්‍රදායානුකූල අභිනව චෛත්‍ය රාජයන් වහන්සේ නමක් අමෙරිකා එක්සත් ජනපදය තුළ ඉදිකරවීම ද ඉතා උත්කෘෂ්ට ශාසනික කාර්යභාරයකි. උතුරු අමෙරිකාවේ මෙතෙක් ඉදිවුණු විශාලතම කොන්ක්‍රීට් ස්තූපය වන මෙය අඩි 36ක උසින් යුක්ත ය. එසේම අමෙරිකාවේ ප්‍රාන්ත රාශියක ම අභිනව විහාරස්ථාන ආරම්භ කිරීමෙහි ලා මූලික කටයුතු සම්පාදනය කළේ වජිරබුද්ධි හිමි ය. පසුව ඒවා යෝග්‍ය ඒ ඒ හිමිවරුන් වෙත පවරා දීම උන්වහන්සේ එදා මෙදාතුර අනුගමනය කරන ප්‍රතිපත්තිය යි. තව ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රදේශයේ අක්කර 03 ක පමණ මනරම් භූමි භාගයක්

තුළ ආරම්භ කරන ලද සිව්වණක් අරණ බෞද්ධ සුභසාධන මධ්‍යස්ථානය තුළින් ද සැලසෙනුයේ අපමණ ලෝක ශාසනික සේවාවකි. වෙසෙසින් ම විදේශීය බෞද්ධයනට ලංකාවට පැමිණ ථෙරවාදී බුදුදහම සහ පාලි භාෂාව හදාරමින් සමථ හා විදර්ශනා භාවනා ක්‍රම මැනවින් ප්‍රගුණ කරලීමට එම ආයතනය තුළ සියලුම පහසුකම් සලස්වා තිබේ. එම ආයතනය හරහා අප රටේ සිංහල - බෞද්ධ ජනතාව වෙනුවෙන් සිදු කරන සමාජ සුභසාධන ක්‍රියාකාරකම් රැසක් ද පවතියි.

මෙලෙස අපමණ ලෝක ශාසනික කාර්යභාරයක නියුතු පනම්වෙල වජිරබුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලොව ධර්ම දූත සේවාවෙහි නියුතු සෑම භික්ෂූන් වහන්සේ නමකට ම වටිනා පූර්වාදර්ශයක් සපයති. අභිනව උතුරු අමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය මාර්තු 30 ප.ව. 2.00 ට මල්වතු මහා පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහනුවර මල්වතු මහා විහාරයීය ඓතිහාසික රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී පැවැත්වේ.

මැදින් අව අටවක

 මාර්තු 22 සෙනසුරාදා පූ.භා 04.25 අව අටවක ලබා 23 ඉරිදා
පූ.භා 05.25න් ගෙවේ.
22 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]