[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සද්ධර්ම කීර්ති ශ්‍රී පියරතන හිග්ගොඩ උදයධම්මාභිධාන නා හිමි සසුන් මං පෙත

සද්ධර්ම කීර්ති ශ්‍රී පියරතන හිග්ගොඩ උදයධම්මාභිධාන නා හිමි සසුන් මං පෙත

හෙළ සකු මගධ වියරණ පොත් ගෙන අතට
වියදඬු පමණ මිස සිය නෙත් යොමු නොකොට
කලිකලහයෙන් පෙළුණත් නගරය අවට
දුක සැප දෙකෙහි වෙනසක් නොමැති ද සමිඳූනි ඔබට

මේ, ධර්ම පිපාසය සංසිඳුවා ගනු පිණිස නගර මං පෙතක් ඔස්සේ ධර්මායතනයකට වඩින භික්ෂූන් වහන්සේ නමක් දැක්මෙන් කවියකු සිත පිළිසිඳී කාව්‍ය චින්තාවකි. කසාවත්ධර භික්ෂු සමාජය ජීවිතයේ දුක්ඛ පාර්ශ්වය මෙන් ම තුෂ්ටි පාර්ශ්වය ද උපේක්ෂා සහගත ව ඉවසීම පිළිබඳ ව කවියා හිමිනමක විචෑරූ විලාසය යි. මේ කවියා පැවිද්දෙහි චර්යා විචාළේ යම් සේ ද එ පරිද්දෙන් ගිහියෙහි චර්යා කෙරෙහි හිරිමල් ගෙයි යොවුන් අවධියේ ම විමංසනශීලී වූ දරුවෙක් කෑගල්ල දිස්ත්‍රික්කයේ, හතර කෝරළේ, හිග්ගොඩ නම් ගම් පියසෙහි උපත ලද්දේ ය. මේ උපත 1975 ඇසළ මස නවවැනි දින සිදු විය. දරුවාගේ මව මුතුපතිරන්නැහේලාගේ නන්දාවතී මැණිකේ වූවා ය. පියා බස්තියන් කෝරාළලාගේ ගුණසේකර ය. මව්පියෝ තම බිලින්ඳාට බස්තියන් කෝරාළලාගේ උදය කුමාර නාමය දුන්නෝ ය.

උදය කුමාර පුතණුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපනයේ මුල් වසර කිහිපය ගෙවුණේ හිග්ගොඩ, මාබෝපිටිය ප්‍රාථමික විද්‍යාලයේ ය. ඉන් අනතුරුව උදය කුමාර ගිරිඋල්ල, වික්‍රමශීලා ජාතික පාසලට ඇතුළත් කෙරුණේ ය. ඔහු මේ පාසලේ 10 ශ්‍රේණිය තෙක් අධ්‍යාපනය ලැබීය.

සසුනට හිත

උදය කුමාර දරුවා කුඩා කල පටන් ම පිරිසිදුවට, පිළිවෙළට වැඩ කිරීමට හුරු ව සිටියේ ය-

හැකි සෑම අවස්ථාවක ම මවගේ වැඩවලට සහාය වූයේ ය. දවසක් නෑර පාසල් ගියේ ය- පරිසරයට, සත්ත්වයන්ට හා මිනිසුන්ට හද පත්ලෙන් ඇලුම් කළේ ය. ළමා වියේ දඟකාරකමින් මෙන් ම එයට සුවිශේෂ නිවුණු ශාන්ත පැවැත්මෙන් යුක්ත වූයේ ය.

උදය කුමාර දරුවාගේ ගිහි දිවිය දාහතර වසරකින් නිම විය. ඔහුගේ පූර්වෝක්ත ගුණාංග නිරීක්ෂණයෙන් ද, ධර්මලෝලී ආධ්‍යාත්ම ලක්ෂණ හැඳීනීමෙන් ද මාහරගම ශ්‍රී පියරතන නාහිමියෝ ඔහු තමන් වහන්සේගේ විහාරස්ථානය වන මස්නෝරුව ශ්‍රී නන්දනාරාමයට කැටුව ගියහ.

පැවිදි දිවියට

මේ විහාරස්ථාන ඇසුරෙහි සිවු වසරකට ආසන්න කාලයක් හෙරණසික, සාමණේර බණ දහම් පොත සහ වත් පිළිවෙත් ප්‍රගුණ කරමින් සිටියදී ම ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රාරප්‍රාප්ත වීරාගල සිරිනිවාස නාහිමියන්ගෙන් වෙදකමට අත්පොත් තැබීමට ද භාග්‍යවන්ත වන උදය කුමාර දරුවා හිග්ගොඩ උදයධම්ම නමින් තම ගුරුපියාණන් වහන්සේ වූ අපවත් වී වදාළ කෑගල්ල, තුම්මුදුන ශ්‍රී වාලුකාරාමය විහාර ගණයේ විහාරාධිපති ව වැඩ විසූ මාහරගම ශ්‍රී පියරතන නාහිමිපාණන් හා තුම්මුදුනේ පඤ්ඤාණන්ද නාහිමිපාණන් යටතේ වර්ෂ 1991 මැදින් මස විසි හත දා පැවිද්ද ලැබී ය. මෙයින් සිවු වසක් ඇවෑමෙන් වර්ෂ 1995 වෙසක් මස දහඅට දා උන්වහන්සේ අපවත් වී වදාළ කෑගල්ල, තුම්මුදුන ශ්‍රී වාලුකාරාමය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති ව වැඩ විසූ මාහරගම ශ්‍රී පියරතන නාහිමි, අපවත් වී වදාළ රෑනපාන පඤ්ඤාජෝති නාහිමි, තුම්මුදුනේ රතනසිරි හිමි සහ පොල්ගහවෙල මල්අස්න පුරාණ විහාරාධිපති පොල්ගහවෙල ආනන්ද නාහිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ද ලද්දෝ ය’.

උසස් බෞද්ධ ශික්ෂණයේ ආරම්භය 1991 හෙන්ඩියගල, සඳලංකාව ශාස්ත්‍රෝදය මහ පිරිවෙනට ඇතුළත් වන උන්වහන්සේ මූලික පිරිවෙන් අවසාන විභාගය ඉහළින් ම සමත් වූහ. එහිදී ඊරියගොල්ලේ අභයතිස්ස නාහිමිපාණන් වහන්සේගෙන් ලද ගුරූපදේශ, අවවාද, අනුශාසනා හා මඟ පෙන්වීමෙන් තමන් වහන්සේගේ ශාසනික දිවියට ලැබුණු මහත් ප්‍රභාව හිග්ගොඩ උදයධම්ම හිමියෝ තම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ හමුවේ නිරන්තරයෙන් සිහිපත් කරන්නේ ඉමහත් ගෞරව භක්ති ප්‍රණාමයෙනි.

උසස් අධ්‍යාපනය

වර්ෂ 1995 දී මාලිගාකන්ද විද්‍යෝද්‍ය මහ පිරිවෙනට ඇතුළත් ව ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයත්, 1997 පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනට ඇතුළත් ව ප්‍රාචීන මධ්‍ය හා අවසාන විභාගත් ප්‍රථම පන්ති සාමාර්ථ සහිත ව සමත් වන හිග්ගොඩ උදයධම්ම හිමියෝ රාජකීය පණ්ඩිත උපාධිය හිමි කර ගත් සේක. 2011 දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද ලබා ගත්හ. සිංහල, පාලි හා සංස්කෘත භාෂාත්‍රයෙහි පටුත්වයක් ලද උන්වහන්සේ ධර්ම සන්නිවේදන ඩිප්ලෝමාවකින් ද පිදුම් ලැබුවෝ වෙති.

ඊට අමතරව උන්වහන්සේ දෛනික ශාසනික හා අවශේෂ සමාජ සේවා කටයුතු ඉමහත් රාශියක් මධ්‍යයේ ග්‍රන්ථකරණයට ද කාලය සොයා ගත්හ.‘දෙලොව දියුණුවට මඟ’ හා ‘දොළොස් මහා සිහින තුළින් හෙළිවන සමාජ යථාර්ථය’ උන්වහන්සේ විසින් ලියා පළ කරනු ලැබ ඇති ශාස්ත්‍රීය ග්‍රන්ථ ද්වය යි.

මෙලක මතු නො ව, බුදු දහම ප්‍රචලිත ලොව අන් රටවල ද ගිහි පැවිදි දෙපාර්ශ්වයේ ද අපමණ ගරු බුහුමනට පාත්‍ර වූ කීර්තිමත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමක වන අකුරැටියේ අමරවංශ නාහිමි හා අපවත් වී වදාළ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන්පති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත වැලමිටියාවේ කුසලධම්ම නාහිමි ඇසුරේ තමන් වහන්සේගේ ශාස්ත්‍රීය දිවියේ පෝෂණයට ලද උපස්තම්භය උදයධම්ම නාහිමිපාණන් සිහිපත් කරනුයේ අපමණ භක්ති පූර්වක ව ය.

විවිධ බාධා මධ්‍යයේ ආරම්භ කිරීමට පමා වෙමින් තිබුණු ශ්‍රී පඤ්ඤානන්ද මූලික පිරිවෙනෙහි අනුමත කිරීම් ඇතුළු විවිධ ශාසනෝන්නතික කටයුතු විෂයයෙහි කුසලධම්ම නාහිමිපාණන් තමන් වහන්සේගේ සෙවණැල්ල මෙන් පසුපස සිට නිබඳ ව දිරිමත් කළ බව සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයෙනි.

ශාසනික මෙහෙවර

හිග්ගොඩ උදයධම්ම නාහිමිපාණන් වහන්සේ වෙතින් බුදු සසුනටත්, සමාජයටත් සැපිරී ඇති සේවාවෝ ඉමහති. ළමා කල පටන් ම ප්‍රකට වන්නට ගත් මේ හිමිගේ පරහිතකාමී ත්‍යාගශීලී ගුණාංග පැවිද්දෙහි දී විස්මයාවහ ආකාරයෙන් සරුසාර ව වැඩුණේ ය.

අර්ථවත් මනුෂ්‍ය කටයුත්තකට නො යෙදී ධනයෙහි ගිජු පිරිස් අතට පත් ව අවප්‍රයෝජනයට ඇරෙන්නට තිබුණු මඩ වගුරක් ව පැවැති භූමි භාගයක් අභියෝගයෙහි අභීත උදයධම්ම හිමිපාණන් වෙතින් පුණ්‍ය භූමියක් බවට පෙරළුණි.

ගිරිඋල්ල නගර පිවිසුමේ, ඓතිහාසික දඹදෙණි රාජ්‍ය සීමාවේ වන මේ බිම අද මාහරගම බෝධීන් වහන්සේ ලෙසින් ප්‍රකට බෝධි වෘක්ෂයකින් ද, කිරිගරුඬ සමාධි බුද්ධ ප්‍රතිමාවක්, මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවක්, ධාතු මන්දිරයක්, බෞද්ධ පොත් මැඳුරක්, සම්බුද්ධ ජයන්ති බුද්ධ මන්දිරයක්, තෙමහල් සංඝාවාස ගොඩනැඟිල්ලක් හා පරිවාර විහාරාංගවලින් ද සමන්විත පුංචි කළුතර යැයි ශ්‍රද්ධා ජන වන්දනා මානයට පත් ප්‍රදේශයේ කීර්තිමත් පුදබිමක් බවට පත් ව තිබේ. අපවත් වී වදාළ මාහරගම ශ්‍රී පියරතන නාහිමියන්ගේ ගුණ සිහිකරමින් මේ පින් බිම “ශ්‍රී පියරතන බෞද්ධ මධ්‍යස්ථානය” ලෙස නම් කර ඇත.

මෙදෙස් මතු නො ව, නේපාල, බංගලිදේශ වැනි විදෙස් රටවල ද ගිහි පැවිදි සිසුනට බොදු සිප් නැණ දෙනු, ශිෂ්‍ය නේවාසිකාගාරයක්, ගුරු සංඝාවාසයක් හා දාන ශාලාවක් , විහාර මන්දිරයක් සහිත ශ්‍රී පඤ්ඤානන්ද මූලික පිරිවෙන අපේ හිග්ගොඩ උදයධම්ම නාහිමියන්ගේ ශාසනික සේවාවේ අග්‍ර ඵලය ලෙස හැඳින්වීම සාධාරණ ය. “පඤ්ඤානන්ද” යන නම මේ පිරිවෙනට තබා ඇත්තේ තුම්මුදුනේ පඤ්ඤානන්ද පණ්ඩිත හාමුදුරුවන්ට කෘත ගුණ සැලැකීමක් වශයෙනි.

එදා මෙදාතුර පරිවෙණාධිපති නාහිමිපාණන් ලෙස වැඩවසමින් මෙහි උන්නතියට උදයධම්ම තෙරණුවන් සපුරා ඇත්තේ අනුපම මෙහෙවරෙකි.

රාජගිරිය, වැලිකඩවත්ත දහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයත්, අලව්ව, මඩවල සත්බෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයත් උදයධම්ම නාහිමිපාණන්ගේ අප්‍රතිහත ධෛර්යයේ දෙ සලකුණෙකි. තව ද මාහරගම ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙනට අනුබද්ධ ශ්‍රී ධර්මාශෝක දහම් පාසල පවත්වා ගෙන යමින් ප්‍රදේශවාසී ළමයින්ගේ ගුණනැණ වැඩුමට උදයධම්ම හිමියෝ ඉමහත් උත්සාහයක් ගනිති.

මෙහි දී වෙසෙසින් සිහිපත් කළ යුතු කරුණක් වන්නේ උදයධම්ම හිමියන්ට උන්වහන්සේ වැඩ වසන විහාරස්ථානයේ පරිපාලන වගකීම් උන්වහන්සේගේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින් පැවැරෙන්නේ සසුන් ක්‍ෂේත්‍රයේ බොහෝ විට සිදුවන පරිදි කාය හා මනෝ දෙ ශක්තීන් පිරිහීම ඇරැඹෙන සමයේ නො ව, ඒ දෙ ශක්තීන් ම ප්‍රබල ජවසම්පන්න වියේ දී වීම ය. මෙසේ පැවැරෙන වගකීම්, දේපළ අත්පත් කර ගැනීමේ දුෂ්මානසිකත්වයෙන් සපුරා බැහැර ව, භාරකාරත්ව හැඟීමෙහි ම අචල ව පිහිටමින් ද තම නායක ස්වාමීන්ද්‍රයන් අභිබවා යාමට අල්ප මාත්‍රයකුදු සිතක් නො ගැනීමෙන් ද මැනැවින් සපුරා ප්‍රධාන හා පරිවාර සියලු පිරිවෙන් හා විහාරාරාම මහත් සේ දියුණු කොට වදාළ සේක.

මේ ආදර්ශයෙන් ම තමන් වහන්සේගේ ඇවෑමෙන් නො ව, තමන් වහන්සේ ධරමානයේ ම තම නායක වගකීම් මුන්වහන්සේ තම අනු සඟ හිමිවරුන් සතු කොට පැවැරීමට තරම් නිරහංකාර වූහ. එහෙත්, මේ පැවැරීමෙන් පසුපස සිට කෙරෙන නිරන්තර දිරිමත් කිරීම්, සොයා බැලීම්, මඟ පෙන්වීම්, වරද නිවරද කිරීම්වලින් බැහැර වීමක් අදහස් නො කෙරන බවක් ද උන්වහන්සේ ඉතා නිහතමානී ව පැවසූ සේක.

උත්සාහය, වීර්යය, නිහතමානි බව, දුර දැක්ම, අභියෝග හා ගැටලු හමුවේ නො සැලීම යන නායකත්ව ගුණාංග අවිදු අඳුර පහ කරමින් බැබළෙති.

සමාජ මෙහෙවර

හුදු ශාසනික කටයුතුවලින් තමන් වහන්සේගේ මෙහෙවර සම්පූර්ණ වෙති'යි විශ්වාස නො කළ උදයධම්ම හාමුදුරුවෝ ශ්‍රී පියරතන ප්‍රජා සංවර්ධන සහ සමාජීය පදනම අරඹා වාර්ෂික ව ආර්ථික අගහිඟකම්වලින් පෙළෙන පවුල්වලට ආධාර කිරීම, මෙබඳු පවුල්වල පාසල් දරුවන්ට දැරියන්ට පොත් ඇතුළු ඉගෙනුම් ද්‍රව්‍ය බෙදා දීම, රෝහල්වලට වෛද්‍ය උපකරණ ලබා දීම ආදි සමාජ සේවා ද කර ගෙන යන සේක.

මාහරගම ශ්‍රී පියරතන පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානය උන්වහන්සේගේ තවද අගනා සමාජ සේවාවෙකි. වයඹ නැණසල පිහිටුවීමට මූලිකත්වය ගෙන ඇත්තේත් මුන්වහන්සේ ය.

විදේශ බෞද්ධ ගමන් සංවිධායකයන්ගේ නියෝජ්‍ය ලේකම් හා බෝසත් දම්පල් හරසර පදනමේ සභාපති යන ධූර දරමින් සපුරන සමාජ මෙහෙවර ද සුළුපටු නො වේ.

පැවිදි සිසු පිරිස

උන්වහන්සේගේ පැවිදි ශිෂ්‍යධරයන් කිහිප නමකි.

ඒ අතරින් ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙන ඇතුළු විහාර ගණයේ විහාරාධිකාරී හා එහි ම ආචාර්ය ශාස්ත්‍රපති මාහරගම ජිනරතන හිමි, නාල්ල ශ්‍රී ධම්මගවේසී විහාරස්ථානයේ විහාරාධිකාරී හා පොල්ගහවෙල, උඩපොළ, මහාදේව පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රවේදී රඹුකේවෙල සුමනරතන හිමි, කෑගල්ල, තුම්මුදුන ශ්‍රී වාලුකාරාම විහාරාධිකාරී, ලෙනගම්පල රාජමහා විහාරයේ භාරකාර විහාරාධිපති හා එලගල්ල ප්‍රඥෝදය පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රවේදී මුදුන්ගම උදිතධම්ම හිමි විහාරාධිපති වගකීම් දරන්නෝ වෙති.

කබගමුවේ සිරිරතන හිමි, දෙහෙරගොඩ සුමංගල හිමි, මාහරගම හේමරතන හිමි, අඹන්විට පඤ්ඤාරතන හිමි, හඟුරන්කෙත චන්දරතන හිමි, තුම්මුදුනේ ධම්මානන්ද හිමි, බලවත්තල උදුලධම්ම හිමි, වනමන්දාවේ මිහිදුධම්ම හිමි, හිග්ගොඩ මිතුනධම්ම හිමි, පිහිටිවැවේ සෝමධම්ම හිමි, මොනරාගල සුමංගල හිමි, බල්ලපාන සද්ධාරතන හිමි, පොළොන්නරුවේ කාශ්‍යප හිමි, ඉහළගම ධම්මරතන හිමි හා කබගමුවේ සිරිධම්ම හිමි අප උදයධම්ම නාහිමිපාණන් සසුනට දායාද කළ මහඟු සම්පත් වන අනෙක් සාමණේර ශිෂ්‍යධරයෝ ය.

ගෞරව නාම හා පදවි

‘සද්ධර්ම කීර්ති ශ්‍රී පියරතන’ යන ගෞරව නාම සම්මුතිය සහිත ව වයඹ පළාතේ ‘පහළ දොළොස්පත්තුවේ අධිකරණ සංඝනායක’ පදවිය මහනුවර ශ්‍රී උපෝසථ - පුෂ්පාරාම විහාරද්වයාධිපති ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව විසින් ගිරිඋල්ල, මාහරගම ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙන් පරිවේණාධිපති, කෑගල්ල, තුම්මුදුන ශ්‍රී වාලුකාරාම මහා විහාරය, මාහරගම ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙන් විහාරය, මාහරගම ශ්‍රී පියරතන බෞද්ධ මධ්‍යස්ථානය, රාජගිරිය වැලිකඩවත්ත දහම් සෙවණ මධ්‍යස්ථානය, අලව්ව, මඩවල සත්බෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය යන විහාරයන්හි විහාරාධිපති පූජ්‍යපාද හිග්ගොඩ උදයධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ‘සද්ධර්ම කීර්ති ශ්‍රී පියරතන’ යන ගෞරව නාම සම්මුතිය සහිත ව වයඹ පළාතේ ‘පහළ දොළොස්පත්තුවේ අධිකරණ සංඝනායක’ පදවිය ප්‍රදානය කොට වදාළහ.

හිග්ගොඩ උදයධම්ම නා හිමියන්ට සියම් දේශයෙන් ‘සරභඤ්ඤ මහා පණ්ඩිත’ ගෞරව නාමය පිරිනැමුණේ ථේරවාද බුදුදහම දියුණු කිරීම හා ප්‍රචාරය කිරීම අරබයා සපුරන ලද සුවිශේෂ මෙහෙවර ඇගැයීමක් වශයෙනි.

ශ්‍රී ලංකාවේ යුරේසියානු විශ්ව විද්‍යාලයේ සංවිධානයෙන් තායිලන්තයේ වට් නොං පො විහාරස්ථානයේ ර්‍ථඩපච ර්චඩච ඉධථඬඪබ ඒබබඩචඵඪබබඩධ සංඝනායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් රාජ්පූර්හි දී මේ පිරිනැමීම සිද්ධ කෙරිණ.

සමස්ත ලෝකවාසී බොදු ජනතාවට නිදුක් නීරෝගි සුව වඩනු පිණිස ධර්ම දානයෙහි වඩාත් තිරසර ලෙස සුකැප වන්නට හිග්ගොඩ උදයධම්ම නාහිමිපාණන්ට අභිනවයෙන් ලද මේ පදවි මාර්ගාලෝකයක් ම වේවායි අපමණ සැදැහැ සිතින් පතනෙමු. උන්වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී සුව හා දීර්ඝායු සම්පත් ලැබේවා'යි ප්‍රාර්ථනා කරමු.

මැදින් අව අටවක

 මාර්තු 22 සෙනසුරාදා පූ.භා 04.25 අව අටවක ලබා 23 ඉරිදා
පූ.භා 05.25න් ගෙවේ.
22 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]