දානය
නිධානයක් වන හැටි
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
අතීතයේ අනුරාධපුර රාජ්‍ය කර වූ රජ කෙනකුට සහාය වෙමින් අමාත්‍ය ධුරයක් දැරූ ‘දේව“
කියන අමාත්‍යවරයෙක් සේවකයන් පිරිවරා ගෙන මහත් තේජසකින් ‘මල්වැස්සා’ කියන ගමේ ජීවත්
වුණා.
දවසක් රාජ සභාවට ගොස් එන අතරේ, අනුරාධපුර නගරයට බටහිර දිශාවේ තමා බාරයේ තියෙන ගම්වල
ඇවිදලා මිනිසුන්ගේ අඩුපාඩු හොයලා බලලා, දහවල් වන කොට ගෙදරට ගොඩවුණා. ගමන් වෙහෙසත්,
දැඩි අව් රශ්මියත් නිසා අමාත්‍යවරයාට දැන් බොහොම බඩගිනියි. නිවෙසට ආ විගස කෑම මේසයට
ගොස් කෑම බෙදාගෙන නිවෙසේ ඉදිරිපිට පුටුවක ඉදගෙන නිදහසේ කෑම කන්න පටන් ගත්තා. ආහාර
සුවඳ දසත පැතිරී ගියා. ලොකු බඩගින්නකින් පෙළුණු බල්ලෙක් වෙවුල වෙවුලා එතැනට දුවගෙන
එන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ඇමැතිවරයාගේ සේවකයෙක් ඌ එනවා දැකලා, මුගුරක් අරගෙන ඌට
පහර දෙන්න ඉදිරියට ගියා. ‘දේව“ ඇමැතියා ඒක දැකලා ‘ඒයි පුරුෂය, ඔය බල්ලට ගහන්න එපා.
පේන්නේ නැද්ද ඌ ලොකු බඩගින්නකින් ඉන්නවා කියලා. ඇවිද ගන්නවත් බැරි තරම් කුසගින්නෙන්
වෙව්ලනවා.‘යි කිව්වා. බල්ලාට පහරදීම වළැක්වුවා. තමාගේ බත්පතින් ඒ සතාට කන්න පුළුවන්
ආහාර අනලා මහත් බත් පිඬක් කන්නට දුන්නා.
බල්ලාත්, මහත් ආශාවෙන් ඉක්මනින් ම බත් ටික කාලා වලිගය ගසන්න පටන් ගත්තා. ඒ බත් පිඬ
නිසා ම ඇමැතිවරයාට පක්ෂපාතී බවක් දැක්වූවා. ඒ දිහා බලා හිටිය ‘දේව“ ඇමැතිට පුදුම
සතුටක් හිතේ උපන්නා. අමාත්‍ය ධුරයත්, මහත් ඉසුරු නිසා උපන් මාන්නයක් සහිත ව
ජීවත්වෙලා ආයුෂ කෙළවර මිය ගියා. ඇමැතිවරයාට මුළු ජීවිත කාලයට ම කර ගන්න පුළුවන්
වුණේ මේ පින්කම විතරයි. ඔහු මිය ගිහින් ඒ ගමේ ම එක් අඹුසැමි යුවළකට දාව ඉපදුණා.
ක්‍රමයෙන් වැඩිවියට පත් වෙලා ආවාහයක් ද කර ගත්තා. රැකියා කරමින් දරුවන් ද පෝෂණය
කළා. එම ආත්ම භාවයෙත් ආයුෂ ක්‍රමයෙන් ඉවර වෙමින් තිබුණා. දරුවන් ආවාහ විවාහ කර දීලා
ඒ ගමේ තිබුණු ‘මල්වැස්සා“ විහාරයට ගිහින් භික්ෂූන් වෙතින් ‘අභය තෙරුන්“ නමින්
පැවිද්ද ලබා ගෙන සැඳෑ සමය ගත කරන්න පටන් ගත්තා.
දිනෙන් දින, මාසයෙන් මාසය, අවුරුද්දෙන් අවුරුද්ද කල් යත්ම අභය තෙරුන්ගේ වත්පිළිවෙත්
නිසා ප්‍රසිද්ධියක් ද, අභය මහතෙරුන් නමින් ප්‍රසිද්ධියක් ද ලැබුවා. මේ කාලයේ රටට
බලපෑවා මහත් වූ නියඟයක්. එක දිගට ම පායන කොට මිනිසුන් ජලය තියෙන පළාත්වලට යන්න පටන්
ගත්තා. මල්වැස්සා විහාරයේ අනෙක් භික්ෂූන් වහන්සේත් ගැමියන් සමඟ ජීවිත රැක ගන්නට
වෙනත් ගම්වලට පලා ගියා. ඒ යන හැම කෙනා ම අභය තෙරුන් වහන්සේට ආරාධනා කරනවා
‘ස්වාමිනි, මහත් වූ නියඟයක් උදාවෙලා තියෙන්නේ. තවදුරටත් ජීවිතය ආරක්ෂා කර ගෙන කුසල්
දහම් වඩන්න නම් මෙතැනින් නික්මිලා යන්න ම වෙනවා. ඒ නිසා එන්න අපිත් සමඟ යමු‘යි
ආරාධනා කළා. ඒත් ඒ හැම අවස්ථාවක ම අභය තෙරුන් කල්පනා කරලා මෙහෙම කිව්වා
‘පින්වත් ස්වාමිනි, උපාසකවරුනි, මම මහා දාගැබටත්, මහා බෝධියටත් උපස්ථාන කරමින්
මෙතැන ම වැඩ ඉන්නවා. මට වෙනත් තැනකට යන්න බෑ. මේ දාගැබටත්, බෝධියටත් ජීවමාන
සර්වඥයන් වහන්සේ යැයි සිතා වත්පිළිවෙත් කරන්න ඕනෑ. ඒ නිසා මේ දාගැබත්, බෝධින්
වහන්සේත් අත්හැර දමා මම යන්නේ නෑ. මට යන්න බෑ. ඔබ වහන්සේ, ඔබතුමන්ලා කැමැති
තැනකට යන්න‘යි පිළිතුරු දුන්නා.
මේ විදිහට මුළු පළාතෙ ම අය වෙනත් තැන්වලට යන්න ගියා. පළමු දවස කිසිදු ගැටලුවක් නැති
ව මහා දාගැබටත්, මහා බෝධියටත් නිරාහාරව ම වත්පිළිවෙත් සිද්ධ කළා. දෙවැනි දවසත් එහෙම
කළා. තුන්වැනි දවස අභය තෙරුන් වහන්සේට බොහොම කුසගිනියි. ආහාරයට ගන්න දෙයක් ඇත්තේ ම
නෑ. අතීතයේ සිදු කළ පුණ්‍ය ක්‍රියාවේ විපාකයෙන් මහාදාගැබ අසල කරඳ ගහේ හිටිය දේවතාවා
තමන්ගේ දෙව් දුව අමතලා ‘දෙවඟන, අපි අර තෙරුන්ට ආහාර දීලා උන්වහන්සේගේ ජීවිතය ආරක්ෂා
කරමු. අපි වැනි අය ඉදිරියේ එවැනි උතුමන් මියයාමට හැරීම අපට යෝග්‍ය වෙන්නේ නෑ‘යි
කියා සිටියා. ඒ අවස්ථාවේ දෙව්දුව ප්‍රශ්න කරනවා
‘ස්වාමිනි, ඔබ වහන්සේට මෙවැනි සිතිවිල්ලක් පහළ වුණේ මොන හේතුවක් නිසා ද? මට ඒ ගැන
දැන ගන්න පුළුවන් ද? කියලා. ඉතින් ඒ වෙලාවේ දිවැසින් බලලා වෘක්ෂ දෙවියන් කියනවා
‘දෙවඟන, මේ අභය තෙරුන් අතීතයේ දිනක අධික කුසගින්නෙන් පෙළුණු බල්ලකුට බත් පිඬක් දීලා
මහත් සේ සතුටට පත් වෙලා තියෙනවා. ඒ විපාකය තමයි මේ විඳින්න හදන්නේ‘යි උත්තර දුන්නා.
වෘක්ෂ දෙවියන් මිනිස් වෙසක් මවා ගෙන දාගැබ් මළුවට ගිහින් අභය තෙරුන් වැඳලා දිව්‍ය
භෝජන පූජා කරලා කිව්වා.
‘ස්වාමිනි, අද පටන් මා විසින් ඔබ වහන්සේට දානය පූජා කරනවා. පිණ්ඩපාත වේලාවට අර
පෙනෙන කරඳ ගහ මුලට වැඩම කරන්න‘යි ආරාධනා කළා. තෙරුන් වහන්සේත් එදා පටන් එතැනට
ගිහින් පිණ්ඩපාතය පිළිගෙන වළඳලා ජීවත් වුණා. දිව්‍ය භෝජන නිසා ශරීරය හොඳින් පිරී
වැඩී ගියා. දවසක් සොරු කණ්ඩායමක් ආහාර සොයා ගෙන දාගැබ හා මහ බෝමළුව දිහාවට එන විට
දැක්කා පිරිපුන් ශරීරයක් තියෙන භික්ෂුවක් ඉන්නවා. එහෙම දැකලා ඔවුන් කතිකා කර ගන්නවා
‘දුර්භික්ෂය දොළොස් අවුරුද්දක් ගිහින් වුණත් මෙවැනි පිරිපුන් ශරීර තියෙන කෙනෙක් මේ
පළාතෙ ම දැක ගන්න ලැබෙන්නේ නෑ. මේ භික්ෂුව මරලා හොඳ මස් ටිකක් කන්න පුළුවනි. දැන්ම
එළවාගෙන ගිහින් අල්ලා ගනිමු‘යි දාගැබ් මළුවේ භික්ෂුව ලුහුබඳින්නට පටන් ගත්තා.
ඒ අවස්ථාවේ පෙර පුණ්‍ය මහිමය නිසා මළුම මැදින් මහා ගල් පර්වතයක් ද්වාරයක් සහිත ව
පහළ වුණා. අභය තෙරුන් වහා ම ඒක ඇතුළට පිවිසුණා. සොරු ටික භික්ෂුව හැම තැන ම හෙව්වා
ඒත් හොයා ගන්නට බැරි වුණා. ඊට පස්සේ කට්ටියම කල්පනා කරලා
‘ඒ නම් රහත් භික්ෂුවක් වෙන්න ඇති. ඒකයි අපට අල්ලා ගන්න බැරි වුණේ‘යි කියන්න පටන්
ගත්තා. ගිය ආත්මයේ ‘දේව“ අමාත්‍යවරයා ව සිටිය දී බඩසයින් පෙළී ආ බල්ලාට පහර දීමට
සේවකයකු ගිය අවස්ථාවේ එය වැළැක්වීමේ විපාකයෙන් මේ ආත්මයේ සොරුන්ගෙන් බේරීමට අවස්ථාව
උදා වුණා. බල්ලාට එක බත් පිඬක් දීමෙන් දිව්‍ය භෝජන ලැබීමට තරම් පුණ්‍ය මහිමයක් උදා
කර ගත්තා. මේ අභය තෙරුන් සොරුන්ගෙන් බේරිලා දිව්‍ය භෝජන අනුභව කරමින් අවුරුදු
දොළහක් ජීවත් වුණා. පසුව විදර්ශනා වඩා අර්හත් භවයට පත් වෙලා තවත් අවුරුදු දොළහකින්
පසුව පිරිනිවන් පෑවා‘යි කථා පුවතක් පාලි රසවාහිනියේ සඳහන් වෙනවා.
බලන්න පින්වත්නි, එක් මනුෂ්‍ය ආත්මයක දී එකම එක වරක් තිරිසන් සත්වයකුට රසවත් බත්
පිඩක් අනලා කන්නට දීලා, එයින් සතුටට පත් වුණු නිසා ලැබුණු පුණ්‍ය මහිමය. ඒ නිසා
කුරාකුහුඹුවන්ගෙන් පටන් මනුෂ්‍යයන් දක්වා යම් කෙනකුට සතුටු සිතින් ආහාරපාන දන්
දෙන්න. ඒ දානයේ විපාකය උපනූපන් ජාතිවල දෙව්මිනිස් සැපත්, අවසානයේ නිර්වාණ
සම්පත්තියත් ලැබීමට භාග්‍ය උදා වෙනවා. ඒ නිසා ලද මොහොතෙහි දන් දෙන්න. දන් දී සතුටු
සිත ඇති කර ගන්න. එයයි දානයේ විපාක ලැබීමට බලපාන ප්‍රබල ම හේතුව |