වීර්යය වඩමු
වීර්යය පිළිබඳ ආදර්ශය වටිනා ලෙස අපට පෙන්වන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ
අපට සසර දුකෙන් නිදහස් වන මඟ පෙන්වමින් සම්මා සම්බුද්ධත්වයට පත්ව සසර දුකෙන් නිදහස්
වූයේ කල්ප ගණනාවක් පාරමීදම් පිරීමෙනි. පාරමීදම් අතර වීර්යය එක් පාරමිතාවකි.
වීර්යයෙන් කටයුතු කිරීමේ දී මිනිසුන් වන අපට පමණක් නොව අනෙක් සත්වයන්ට ද සිත, කය,
වචනය යන තිදොරින් හිංසා නොවන සේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන බ්‍රහ්ම
ගුණ වඩමින් කළ යුතු ය.
මෛත්‍රිය - සියලුම සත්ත්වයෝ සුවපත් වේවා! යන සිතිවිල්ල
කරුණාව - අන් අයගේ දුකේ දී කම්පා වී දුකට පත් අයට පිහිටවීම
මුදිතාව - අන් අයගේ දියුණුව දැක සතුටුවීම
උපේක්ෂාව - අන් අය සමඟ මැදහත් සිතින් කටයුතු කිරීම
මනුලොව උපතක් ලැබීමට පින් රැස් කළ සත්ත්වයන්ට උපකාර කරනවා යන අදහස සිතට ගෙන දරුවන්
සාදාගන්නා මවුපියන් දරුවන්ට මෙලොව පරලොව යහපත් ජීවිතයක් සාදා ගැනීමට මඟ පෙන්වීම කළ
යුතු ය. ඒ සඳහා කළ යුතු දේ දහම තුළින් ඉගෙනගෙන වීර්යයෙන් ඒ කටයුතු කළ යුතු ය.
දරුවන්ට ගුණ දහම් ඉගැන්වීම, රැකියාවකට සුදුසු අධ්‍යාපනයක් ලබාදීම. දරුවන්ගේ පුණ්‍ය
ශක්තිය තේරුම්ගෙන සසුන්ගත කිරීම, අනෙක් දරුවන්ට සුදුසු විවාහ සකස් කිරීම, පවුල්
ජීවිත සාර්ථක කර ගැනීමට අවශ්‍ය ධන සම්පත් ලබාදීම ඒ කටයුතු අතර වේ. එමෙන්ම මෙලෙස
ගොඩනැඟෙන දරුවන් මවුපියන් රැකගෙන ජීවත්වීමට වීර්යය කළ යුතු ය.
ලොකු කුඩා අය සියලු දෙනා ම වීර්යයෙන් දාන, ශීල, භාවනා ප්‍රතිපදාවල යෙදීම, රැකියා
කටයුතු, ඉගෙනීමේ කටයුතු අන් අයට ද තමන්ට ද යහපත සෑදෙන සේ කළ යුතු ය.
මෙලෙස කටයුතු කිරීමේ දී මෙලොව, පරලොව දියුණුව ළඟා වන අන්දම දැක ගැනීමට සියලු දෙනාට
හැකි වනු ඇත. ඒ සඳහා සැමට වීර්යය, ශක්තිය උදාවේවා!
විද්‍යා අධ්‍යාපනවේදී
රජයේ විශ්‍රාමික ගුරු
එස්. ජයවර්ධන |