මැදින් පුර පසළොස්වක පෝ දා
2025-03-13
ආරක්ෂා වීමේ වගකීම
උණ රිටි මත නැඟී, පිනුම් දක්වා මිනිසුන් සතුටු කොට මුදල් ඉපයීම අතීතයේ ජීවන
වෘත්තියකි. එක් අවස්ථාවක එවන් පිනුම් කරුවන් දෙදෙනකුගේ කතාවක් බුදුරජාණන් වහන්සේ
භික්ෂූන් වහන්සේ අරභයා දේශනා කළහ. ඒ කතා පුවතට අනුව, දිනක් උපදේශක පිනුම්කරු සිය
ආධුනිකයා අමතා තමන්ගේ උරහිසට පා තබා උණ රිට මුදුනට නඟින ලෙස කීවේ ය. ආධුනිකයා ද එහි
නැඟ ගත්තේ ය. එවිට ප්‍රවීණයා කියන්නේ ‘මම ඔබ හොඳින් ආරක්ෂා කරමි. ඔබ මා හොඳින්
ආරක්ෂා කර ගන්න.’ යනුවෙනි. එවිට තමන්ගේ දස්කම් මැනවින් දක්වා වැඩියෙන් මුදල් උපයාගත
හැකි බව ය. එහත් ආධුනිකයාගේ අදහස් වෙනස් ය. ඔහු පවසන්නේ තම තමන්ගේ ආරක්ෂාව තම තමන්
ම සලසා ගත යුතු බව ය.
භාග්‍යවතුන් වහන්සේ ආධුනිකයාගේ ප්‍රකාශය නිවැරැදි බව පෙන්වා දුන්හ. තමන් කරන කියන
දැයෙහි හොඳ හෝ නරක හෝ විපාක දැකිය යුතු තමන් ම ය. අනුන් කරන පව්වලට තමන්ට දුක්
විපාක නොලැබෙනවා සේ ම අනුන් කරන පින්කම්වල සැප විපාක ද තමන්ට ලැබෙන්නේ නැත. තමන්
පිරිවරා ගෙන කවුරු සිටිය ද අවසානයේ තමන්ට තමන්ගේ පිහිට පමණ ය. එහෙයින් තමන්
රැකෙන්නට ගන්නා උත්සාහය ම වටින්නේ ය.
අද බොහෝ අය අනුන්ගේ දොස් දකිති. අනුන් කරන වැරැදි නිසා සමාජය පිරිහී ඇතැයි සමාජයට
චෝදනා කරති. එහෙත් සමාජය තැනෙන්නේ පුද්ගල රාශියක එකතුවෙනි. එසේ නම් තම තමන් තුළ ගුණ
ධර්ම වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍යය. තමන් රැකෙනවා යනු තම සිත රැක ගැනීම ය.
සිත ආරක්ෂා කර ගැනීමේ මාර්ගය භාවනාව ය. භාවනාව නිරන්තරයෙන් ප්‍රගුණ කළ යුතු වුව ද
අද බෞද්ධයන්ගෙන් බොහෝ දෙනෙක් එහි නිමග්න නොවෙති. මනස නොවැඩීම නිසා බොහෝ දෙනකුගේ
සතිමත් බව හීන ය. ඒ නිසා ම පවුල් ජීවිතය, අධ්‍යාපනය, රැකියාව ඇතුළු සියලු අංශයන්හි
කඩා වැටීම වැළැක්විය නොහැකි ය. සතිමත් බව නැති තැන වැරැදීම් වැඩි ය. හොඳ නරක, සරු
නිසරු දෙය වටහා ගන්නට අසීරු ය. පව්කම්හි පැටලෙන්නේ එවිට ය. නොහික්මුණු මනසැති,
අසතිමත් පුද්ගලයා තුළ පවට ලජ්ජාවක් නැත. බියක් නැත. අප අත් විඳින සමාජ විෂමාචාර,
අශීලාචාරකම්, අපරාධ, දූෂණ මේ සියල්ල ඒ නොහික්මුණු බවේ ප්‍රතිඵල ය.
තමන් රැක ගැනීමේ අගය පිළිබඳ ආකල්පමය වෙනස සිතෙහි රෝපණය කළ යුතු කුඩා කල දී ම ය. ජය
පරාජය දරා ගන්නට, ඉවසීමට, ලද දෙයින් සතුටු වන්නට, අනෙකාගේ දුකට පිහිට වෙන්නට, බෙදා
හදා ගන්නට, ගරු කටයුතු අයට ගරු කරන්නට නොහැකි ළමා පරපුරක දුක්ඛ සහගත බව අපි අද බොහෝ
තන්හි දී අත්දකිමු. ලෝභය, ද්වේෂය, මෝහාදී අකුසල ධර්මයන් නිසා විනාශ වන අයුරු දකිමු.
එවැනි තත්ත්වයක දී කෙනෙක් කෙසේ නම් රැකවරණය ලබන්න ද?. තමන්ට තමන්වත් රැක ගන්නට
නොහැකි නම් අන්‍යයන්ට වන අර්ථය ගැන සිතීම පවා අසීරු ය.
තමන් රැකෙන මඟ සිතට ධාරණය කරන්නට දහමට අවතීර්ණවීමේ දැඩි අවශ්‍යතාව අප ඉදිරියේ තිබේ.
ඒ සඳහා අප්‍රමා දී විය යුතු ය. |