සුවපත් මනසක් සුවබර දිවියක් - 23 කොටස
අපේක්ෂාවන් හා අධික වෙහෙසීම එපා
ආචාර්ය
හේනේපොල ගුණරතන මහ නාහිමි
ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත Mindfulness
in plain English
(සතිමත් බව වැඩීම) කෘතියෙනි.
අධික වෙර දැරීම
දියුණු තත්ත්වයක පසුවන භාවනානුයෝගීන් ඉතා විනෝදකාමී පුද්ගලයන් ය. මිනිසුන් අතර
පවතින ඉතාම වටිනා ගුණාංගයක් වන හාස්‍යය දැකීමේ හා දැන්වීමේ හැකියාව ඔවුන් තුළ
පිහිටා ඇත. එය සංවාද වැඩසටහනක් (Talk Show) මෙහෙයවන්නකුගේ වැනි නොගැඹුරු මුඛරි
ප්‍රති උත්තර දීමේ හැකියාව නොවේ. එය සැබෑ හාස්‍ය රසයකි. තමාගේ ම මානුෂික දුර්වලතා
පිළිබඳ ව ඔවුනට සිනහ විය හැකි ය. පෞද්ගලික ආපදාවන්හි දී ද ඔවුනට සිනහසීමට පුළුන.
සමහරවිට භාවනාවට ආධුනිකයෝ, ආරම්භයේ දී, තමන්ගේ ම සුබ සිද්ධිය සඳහා බැරෑරුම් බවක්
පවත්වා ගනිති. භාවනාවේ දී ලිහිල් බව හා සැහැල්ලුව ඉතා වැදගත් වෙයි. සිදුවන කුමක් හෝ
දෙස පිටතින් බැලීමට අපි ඉගෙන ගනිමු. ඔබ දැඩි බවකින් හෝ ආතතියකින් සිටින විට මෙසේ කළ
නොහැක.
ආරම්භක භාවනා පුහුණුවන්නෝ ප්‍රතිඵල ලබා ගැනීමට මහත් ආශාවක් දක්වති. ඔවුන් පමණට වඩා
පිම්බුණු බලාපොරොත්තුවලින් පිරී ඇත. ඔවුහු ඇදහිය නොහැකි ප්‍රතිඵල ක්ෂණික ව
බලාපොරොත්තු වෙති. ඔවුහු ඉක්මන් වෙති. ආතතිය ඇති කර ගනිති. බොහෝ වෙහෙසී එය ඉතා
දරුණු හා බරපතළ කාරණයක් කර ගනිති. මෙවැනි ආතතිය සිහියට හාත්පසින් ම ප්‍රතිවිරුද්ධ
තත්ත්වයකි. ඔවුන්ගේ දිනා ගැනීම් සැබැවින් ම ඉතා ස්වල්පයකි. එවිට භාවනාව එතරම්
ආකර්ෂණීය දෙයක් නොවන බවට ඔවුහු තීරණය කරති. එය ඔවුනට අවශ්‍ය වූ දෙය ලබා නොදුනි.
එබැවින් එය අතහැර දමති. ඔබ භාවනාව ඉගෙන ගන්නේ එහි යෙදීමට පමණක් බව සිහි තබා ගන්න.
භාවනාව යනු කුමක්ද? හා එය ඔබ ව කොතැනකට යොමු කරයි ද? කියා ඔබ ඉගෙන ගන්නේ ඍජු
අත්දැකීමෙන් පමණක් ය. මෙම පුහුණුව පිළිබඳ අවබෝධය අල්ප බැවින්, ආධුනිකයෝ තමන් යන්නේ
කොහේද කියා නොදනිති.
ආධුනිකයාගේ අපේක්ෂාවන් යථාර්ථවාදී නොවූ හා අනවබෝධයෙන් යුක්ත වූවකි. භාවනාවට ආධුනික
වන ඇය හෝ ඔහු හෝ වැරදි දේ පිළිබඳ අපේක්ෂාවන් ඇති කර ගන්නා අතර එයින් සිදුවන යහපතක්
නැත. ඒවා බාධා ඇති කරයි. මහත් වෙහෙසක් දැරීම, දැඩි ගතිය, දොම්නස, වරදකාරී හැඟීම හා
ස්වයං හෙළාදැකීමට මඟ පාදයි. අධික වෙහෙසක් දරන විට යාන්ත්‍රික බවට පත්වන ඔබගේ
උත්සාහය, අවදිමත් බව ඇතිවීමට පෙර ම එය පරාජය කරයි. මේ සියල්ල අත්හරින ලෙස ඔබට අපි
අවවාද කරමු. ඔබගේ අපේක්ෂාවන් සහ අධික ලෙස වෙහෙසීම නවත්වන්න. අචල හා සමතුලිත
උත්සාහයකින් භාවනාවේ නිරත වන්න. මහත් පරිශ්‍රමයකින් තොරව ඔබගේ භාවනාව රස විඳීන්න.
හුදෙක් ම සිහියෙන් සිටින්න. අනාගතය ගැන භාවනාව විසින් ම බලා ගනු ඇත.
අධෛර්යවත් බව
අධික වෙහෙසක් දැරීමේ අවසාන ප්‍රතිඵලය ඉච්ඡාභංගත්වය යි. ඔබ ආතතියෙන් පෙළෙයි. අපේක්ෂා
කළ දියුණුව ලබා නැති බව වටහා ගැනීමෙන් ඔබ අධෛර්යයට පත්වෙයි. පැරදුණු පුද්ගලයකු ලෙස
ඔබට දැනෙයි. මෙය ස්වාභාවික වුවත් මුළුමනින් ම මඟහැරිය හැකි තත්වයකි. මෙහි මූලාශ්‍රය
යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් පසුපස යෑමයි. කෙසේ වෙතත් මෙය ඉතාමත් සුලභ තත්ත්වයක් වන
අතර, කොතරම් අවවාද ලැබූව ද ඔබට ද මෙවැනි තත්ත්වයක් උදාවීමට ඉඩ තිබේ. එයට විසඳුමක්
ඇත. ඔබ අධෛර්යයට පත් වූ විට එම මානසික තත්ත්වය පැහැදිලිව ම නිරීක්ෂණය කරන්න. එයට
කිසිවක් එකතු නොකරන්න. හුදෙක් ම බලා සිටින්න. අසමර්ථ වූවා යැයි යන හැඟීම තවත් එක
ක්ෂණික චිත්තාවේග ප්‍රතිචාරයක් පමණි.
ඔබ එය හා පැටලුණු විට ඔබගේ ශක්තිය උපයෝගී කර ගෙන එය වර්ධනය වෙයි. ඔබ හුදෙක් ම පසෙකට
වී බලා සිටින විට එය නැති වී යයි.
භාවනාව අසමර්ථ වීම හේතුවෙන් ඔබ අධෛර්යයට පත්වීම හසුරුවා ගැනීම විශේෂයෙන් පහසු
කාර්යකි. පුහුණුවේ දී ඔබ අසමත් වූ බවක් ඔබට දැනෙයි. සිහියෙන් සිටීමට ඔබ අසමත් වී
ඇත. එම නොහැකියාව ගැන සිහියෙන් සිටින්න. එයින් ම ඔබ ඔබගේ සිහිය නැවත පිහිටුවා ගෙන
තිබේ. ඔබගේ පරාජයට හේතුව මතකයක් පමණක් ම ය. භාවනා පුහුණුවේ දී නොහැකියාව කියා දෙයක්
නැත. පසුබැසීම් හා අසීරුතා ඇත. මුළුමනින් ම භාවනාව අතහැරීම හැරුණු කොට වෙන
අසමර්ථවීමක් නැත.
මීළඟ කොටස
බක් පුර පසළොස්වක පෝදා කලාපයේ |