[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කල්‍යාණ මිත්‍රත්වය සැබෑ බෞද්ධයකුට පමණක් ලැබෙන වරප්‍රසාදයක්

කල්‍යාණ මිත්‍රත්වය සැබෑ බෞද්ධයකුට පමණක් ලැබෙන වරප්‍රසාදයක්

සුගත තථාගතයන් වහන්සේගේ ධර්මයට පිවිසෙන අපට මේ සසර දුකෙන් එතෙරවීමට තිබෙන පළමු පියවර වන්නේ සෝතාපත්තියට පත්වීමයි. සෝතාපන්න වීමට කරුණු හතරක් සම්පූර්ණ කළයුතු වෙනවා. ඒ කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය හා ධම්මානුධම්ම පටිපදාව යි. මේ අතරින් නිවන් මඟට පාර කියන කලණ මිතුරා කෙබඳු පුද්ගලයෙක් විය යුතු දැයි ශාස්ත්‍රපති කොස්ගම විනීතජීව හිමියන් සමඟ කළ සාකච්ඡාවකි

ස්වාමින් වහන්ස, වත්මන් සමාජයේ අපට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ඉතා ම දුර්ලභ යි. පවට බර සිත් ඇති පිරිස මැද ජීවත්වන අපට කල්‍යාණ මිත්‍ර සේවනයේ අගය සම්බුදු දහම තුළ පහදා දී ඇත්තේ කවරාකාරයට ද?

සෝතාපත්ති අංගයන්ගෙන් පළමු අංගය කල්‍යාණ මිත්‍ර සේවනය යි. මිනිසා කියන්නේ නිරන්තරව ම සමාජය පි‍්‍රය කරන්නා වූ, සමාජශීලි සත්ත්වයෙක්. හුදෙකලාව විසීමට නොව ඔහු වඩාත් රුචියක් දක්වන්නේ තමන් පි‍්‍රය කරන්නා වූ සමාජීය පිරිසක් හා සබැඳි ව කටයුතු කිරීමට යි. නමුත් අපි ඇසුරු කළයුතු වන්නේ අපේ පරිහානියට වග කියන, පාපතර, දුර්ජනයින් නම් නොවෙයි.

“අසේවනාච බාලානං” බාලයන් ව ගුණ නුවණින් හීනයන් ඇසුරු නො කිරීම උතුම් මංගල කරුණක්. ගුණ නුවණින් පරිණත වූ, සද් පැවැත්මෙන් යුතු අය ම ඇසුරු කළ යුතුයි. එසේම සිඟාලෝවාද සූත්‍රයෙන් විග්‍රහ කර ඇති පරිදි අප කරන කියන හොඳ නරක සියල්ල ම “එහෙයි” වදනින් පිළිගන්නා, උදව් ඇවැසි තැන්හි දී මඟහැර, යන වචනයෙන් පමණක් සංග්‍රහ කරන අනුප්පියභානි, වචීපරම, අපායසහාය, අඤ්ඤදත්ථුහර වැනි පාපී මිතුරන්ගේ ඇසුරින් දුරස්ථ වී සිටීම ද නිවන් මඟට උපකාරි වෙනවා.

බුද්ධ භාෂිතයට අනුව ඇසුරට නුසුදුස්සන් සිව් දෙනෙක් සිටිනවා. කාමභෝගී ගිහියා, අසංවර පැවිද්දා, විමසා නොබලා ක්‍රියා කරන පාලකයා සහ වහා කිපෙන සුළු පණ්ඩිතයා යි.

ඉහත කී අය ඇසුරු කරන්නේ නම්, අපට ද සිදුවන්නේ දුරාචාරයට නැඹුරු වූ, සමාජය විසින් පිළිකුළට ලක්කළ අය බවට පත්වීමටයි.

අප ඇසුරු කළයුත්තේ මිනිස් අර්ථසිද්ධිය උදෙසා කටයුතු කරන අපගේ යහපතට ම, අභිවෘද්ධිය ම, අපේක්ෂා කරන අත්ථක්කායි, සමාන සුඛ දුක්ඛ, අනුකම්පක, උපකාරක ආදී කල්‍යාණ මිත්‍රයන් පමණයි.

කල්‍යාණ මිත්‍රයා කියන්නේ ඕනෑම දුකක දී සැපතක දී ළඟ සිටින, ඕනෑම හොඳ හෝ නරක දෙයකට උදව් කරන පුද්ගලයා නොවේ. අප අසා තිබෙනවා ඇතැමෙක් තමන්ගේ යහලුවා අන්‍යාගමිකයෙක් වුවත් කල්‍යාණ මිත්‍රයෙක් කියා කියනවා. ඒ අදහස වැරැදියි. අන්‍යාගමිකයෙක්ට බුදුදහමේ පෙන්වා දෙන කල්‍යාණ මිත්‍රයෙක් වීම අපහසුයි.

ස්වාමින් වහන්ස, අප කල්‍යාණ මිත්‍රයා පමණක් ඇසරු කළ යුතු නම්, ඔහු හඳුනාගත යුතු ලක්ෂණ මොනවා ද?

කල්‍යාණ මිත්‍රයා පිළිබඳ ව සිඟාලෝවාද සූත්‍රයේ දී මෙසේ පෙන්වා වදාළා. තම මිතුරාට අවශ්‍ය දෑ දන් දීමෙන්, පි‍්‍රය වචනයෙන් කතා කිරීමෙන්, යහපතක් ම සිදුකිරීමෙන්, සමානාත්මතාවයෙන්, සැලකීමෙන් හා නො රැවටීමෙන් ඔහු ප්‍රමාදයට පත්වූ මිතුරා රැක ගන්නවා. ප්‍රමාදයට පත් වූ මිතුරාගේ වස්තුව රැක ගන්නවා. බයක් දැනුනු විට පිහිට වෙයි. ආපදාවන්හි අතහැර යන්නේ නෑ. දරු මුණුබුරන්ට ද සළකයි.

ඒ වගේම තථාගතයන් වහන්සේ කල්‍යාණ මිත්‍රයාගේ ලක්ෂණ කරුණු හතරකින් වදාළා. ඔහු ශ්‍රද්ධාවන්ත යි. තමන් ශ්‍රද්ධාවේ පිහිටා අන් අය ද ශ්‍රද්ධාවේ පිහිටුවීමට කටයුතු කරනවා. ශ්‍රද්ධාව කියන්නේ තෙරුවන් කෙරෙහි අවබෝධයෙන් ඇති කර ගන්නා පැහැදීම යි. විශ්වාසය යි. ඒ වගේම කල්‍යාණ මිත්‍රයා සීල ගුණයෙන් යුක්ත යි. කය, වචනය හික්මවා වැඩ කරනවා වගේම අන් අය ද සිලයෙහි හික්මවනවා. ඊළඟට කල්‍යාණ මිත්‍රයා ත්‍යාගවන්ත යි. අන් අයටත් දීම හුරු කරනවා. ඔහු සම්මා දිට්ඨියෙන් යුක්ත යි. අන් අයත් සම්මා දිට්ඨියෙහි සමාදන් කරවනවා. මේ ලෝකය දුක් සහිත යි. ඒ දුකට හේතුව තණ්හාව යි. තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා. තණ්හාව ප්‍රහාණය වන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම තුළින් බව ඔහු දැනුවත්. මේ කළණ මිතුරා ගේ ලක්ෂණයි.

හොඳ මිනිසුන් බෞද්ධ සමාජය තුළ වගේම අන්‍ය ආගම්වලත් සිටිනවා. නමුත් සැබෑ කල්‍යාණ මිතුරා අපට හමුවන්නේ බෞද්ධයන් අතර පමණ යි නේද?

කල්‍යාණ මිත්‍ර සේවනය කියන්නේ බුද්ධ, ධම්ම, සංඝ කියන තෙරුවන ඇසුරු කිරීම යි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ නො වුණා නම්, මේ ලෝකයට ශ්‍රද්ධාවන්තයා පහළ වන්නේ නැහැ. මේ ලෝකයට එදා මෙදා තුර පහළ වූ අසහාය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ අපගේ ශාස්තෘන් වහන්සේ යි.

බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වී මේ ලෝකයට ඒ සුන්දර දහම දේශනා කළා. ඒ ධර්ම මාර්ගයේ ගමන් කළ උතුමන් වහන්සේ, මේ සසර දුකෙන් එතෙර වුණා කියලා විශ්වාස කරන පුද්ගලයා යි ශ්‍රද්ධන්තයා. ඒ ශ්‍රද්ධාවන්තයා බෞද්ධයෙක්. කලණ මිතුරා ළඟ තිබෙන පළමු අංගය ශ්‍රද්ධාව නම් සැබෑ ශ්‍රද්ධාව තිබෙන්නේ බෞද්ධයා තුළ පමණ යි. එහෙම නම් සැබෑ කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන් බෞද්ධයකුට පමණයි. බෞද්ධයා කියන්නේ අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනාට යි. අන්‍ය ආගම්වලත් හොඳ යහලුවෝ, සත්පුරුෂයෝ, මවුපිය, ගුරුවර, වැඩිහිටියන්ට සලකන, කර්ම, කර්මඵල විශ්වාසයෙන් වැඩකරන හොඳ පිරිස් සිටින්නට පුළුවන්. හැබැයි කල්‍යාණ මිත්‍රයා හමුවන්නේ බුද්ධ ශාසනයක පමණයි. සසරේ තිබෙන බිය, දුක, සංතාපය ඔහුයි කියා දෙන්නේ.

බෞද්ධයාගේ ඒකායන පැතුම නිවන්මඟට ප්‍රවිශ්ඨ වීමයි. ඒ සඳහා අපට කල්‍යාණ මිත්‍රයාගෙන් ලැබෙන උපකාර කෙබඳුදැයි පහදා දෙන්න

මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ නො වූයේ නම් ධර්මයක් ලොව පහළ වන්නේ නැහැ. මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට අනිවාර්යයෙන් ම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය වුවමනාම යි. නිවන සාක්ෂාත් කරන්නට කල්‍යාණ මිතුරාගෙන් අපට බොහෝ උපකාර ලැබෙනවා. මේ නිවන් මඟ තනියම ගමන් කරන්න බැහැ. කලණ මිතුරා නිතර ම මෙලොව පරලොව යහපත කියා දෙනවා. පරාර්ථය ගැන කියා දෙනවා.

කරුණාව, දයාව, මෛත්‍රිය වැනි උදාර ගුණයන් පුරුදු කරවනවා. පරහිතකාමී සත්පුරුෂයකු ලෙස ජීවත්වීමට කියා දෙනවා.

මේ කාලයේ අපට කල්‍යාණ මිත්‍රත්වය කියන සම්පත ලැබී තිබෙනවා. බුද්ධෝත්පාද කාලයක ඉපදිලා, සද්ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව උදාවී තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ ශ්‍රී සද්ධර්මය ශාස්තෘන් වහන්සේ ලෙස පිළිගන්න කියලයි.

දිනක් අපගේ ආනන්ද තෙරුන් වහන්සේ කියා සිටියා, “ස්වාමීනි මේ බුද්ධ ශාසනයේ පැවැත්මට හරි අඩක් ම උපකාරි කරන්නේ කල්‍යාණ මිත්‍රයා” කියලා. එවිට භාග්‍යවතුන් වහන්සේ

“ආනන්ද එහෙම කියන්න එපා. මේ මුළු බුද්ධ ශාසනය ම පවතින්නේ කල්‍යාණ මිත්‍රයා මත යි. යනුවෙන් වදාළා.

මැදින් පුර පසළොස්වක

 මාර්තු 13 බ්‍රහස්පතින්දා පූ.භා 10.39 පුර පසළොස්වක ලබා 14 සිකුරාදා අ.භා 12.28න් ගෙවේ.
13 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]