[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කුසල සිත ප්‍රභාෂ්වරයි

කුසල සිත ප්‍රභාෂ්වරයි

යම් පුද්ගලයෙක් සතු ව බාහිර ගුණ තිබෙනවා. ආධ්‍යාත්මික ගුණයත් තිබෙනවා. ඉගෙනීමෙන් උගතකු වීම, යහපත් විවාහ ජීවිතයක් ගෙවීම, භවබෝග සම්පත් ලැබීම බාහිර ගුණාංගයෝ ය. සිතේ පවතින ලෝභ, ද්වේෂ, මෝහ ප්‍රධාන අකුසල ධර්ම හා කෙලෙස් හැකි තරම් දුරු කර ගෙන, ජීවත්වීම ආධ්‍යාත්මික ගුණයයි.

සසර පුරා සත්වයාට නොයෙක් ආකාර වූ කරදර ඇති වන්නේ දස සංයෝජන ධර්ම මඟිනුයි. මේ සසර බැඳ තබන්නේත් දස සංයෝජන ධර්මයෝ ය. දස සංයෝජන ධර්ම නම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාම රාග, ව්‍යාපාද, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යමකුගේ සිතේ පවතින අකුසල ධර්ම, අපවිත්‍ර චේතනා මෙම දස සංයෝජන තුළින් ප්‍රකාශ වන්නේ ය.

කුසල් මුල් සිත බොහොම ප්‍රභාස්වරයි. පිරිසුදුයි. අපවිත්‍ර සිතේ අකුසල ධර්ම වැඩෙනවා. වර්ධනය වෙනවා. එසේ අකුසල ධර්ම වර්ධනය වීම නිසා අපට සසරෙන් ගැලවෙන්නට බැහැ. මෙම සංයෝජන ධර්මයන්ගෙන් ඈත් වී අපේ ජීවිත ආලෝකවත් කර ගන්නට, විශේෂයෙන් ම ලෝභ, දෝස මෝහාදී අකුසල මුල් ඈත් කර ගැනීමට උත්සාහවත් විය යුතුයි.

ලෝභ,අකුසල් මූලය තිබෙන පුද්ගලයා සසර සැරිසරන විට වස්තුව කොපමණ ලැබුණත් ඒ සැපය විඳින්නට වාසනාව නැති විය හැකියි. ධනය කොපමණ ලැබුවත් ඉන් ප්‍රයෝජනයක් නැහැ. දන් දෙනවා. නමුත් ලෝභකම සිතේ තබා ගෙන දන් දෙන විට සිත නරක් කර ගත්තොත් කොයිතරම් දෙයක් ලැබුණත් ඒවා භුක්ති විඳින්න වාසනාව ලැබෙන්නේ නැහැ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ පින්කම් සිදුකරන විට ලෝභ චෛතසිකය දුරු කර ගෙන දන් දෙන්න කියලා.

ද්වේෂය, ක්‍රෝධය, වෛරය, බලවත් ව තිබෙන විට යමෙක් මරණයට පත් වන්නේ නම්, ඇතැම් විටෙක ඔහු නරක උප්පත්තියක් ලැබිය හැකියි. යක්ෂයෙක්, පේ‍්‍රතයෙක් විය හැකියි. යම් විටෙක මනුෂ්‍ය ආත්මභාවයක් ලබන්නේ ද අවලස්සන, දුර්වර්ණ වූ ශරීරයක් ලබන්නට හැකි ය.

මෝහය නම් නොදැනීම ය. දැනීමක් නැති තැන නුවණක් නැත. මෝහ චෛතසිකය ඉවත් කර ගත්තා නම් අංග සම්පූර්ණ මිනිසකු බවට පත්වන්නට හැකි ය. එසේ වන්නේ කුසල් සිත්වල බලපෑම නිසයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ලෝභ, ද්වේෂ, මෝහ තදංග වශයෙන් ම නැති කර ගන්නා ලෙසයි. ඒ මෙලෙසිනි. අප කිසියම් වූ පරිත්‍යාගයක් කරන්නේ නම්, එනම් දන් දෙන්නේ නම් ඒ අවස්ථාවේ දී ඒ කෙරෙහි සිතේ ඇතිවන ආශාව ලෝභය අඩු කර ගත යුතුයි. ඒ වගේම දුන් දේ ගැන ආශාව, ඇති කර ගන්නත් හොඳ නැත. එසේ වන්නේ නම් ඒ පුද්ගලයාට මරණින් පසු කුමක් ද වන්නේ? යමක් පරිත්‍යාග කළ නිසා හෝ ලැබෙනවා. එහෙත් ප්‍රයෝජනයක් නැහැ. කුසට ආහාරයක් නෑ. ගතට වස්ත්‍රයක් නෑ. ඥානවන්ත පුද්ගලයා ලෝභ චෛතසිකය මැඩගෙන අලෝභ සිතින් දන් දෙනවා. සිත සිතා ඒ ගැන සන්තෝෂ වෙනවා. මේ ධර්මතාව කාටත් පොදුයි.

උදෑසනක අපි ළිඳකින් වතුර ගන්නා විට වතුර මතුපිට දැලක් මෙන් යමක් බැඳී තිබෙනවා දක්නට ලැබෙනවා. වතුර රැගෙන ඒමට ගෙන යන කළය දිය මතුපිටින් එහාට මෙහාට කළ විට ඒ දැල පසෙකට යවා පිරිසුදු ජලය පුරවා ගත හැකියි.

මෙය අතීතයේ ගම්වල තිබූ අතින් ජලය ගන්නා ළිඳක ස්වභාවය යි. යමෙකුගේ සිත පවිත්‍ර වන්නේත් ඒ වාගෙයි. ඥානවන්ත පුද්ගලයාට ඒ ආකාරයෙන් තම සිත වර්ධනය කර ගත හැකියි. යමෙක් දන් දෙන විට හට ගන්නේ අලෝභ චෛතසිකය යි.

ද්වේෂය සිතක හටගත් විට මෛත්‍රිය වැඩිය යුතුයි. වෛරය, කේන්තිය, කෝපය, ගිහි ජීවිතයක නම් නිතර ඇතිවන දෙයක්. එය යටපත් කර ගන්නට, ලෝකය කෙරෙහි තමන්ගේ මිතුරුකම පතුරුවන්නට ඕනෑ. මුළු ලෝකය ම තමන්ගේ මිතුරන් බවට පත් කර ගන්න ඕනෑ.

මෛත්‍රීය වැඩීමේ දී පළමුවෙන් ම ආරම්භ කළ යුත්තේ තමන්ගේ නිවෙසින්. තමාට මෛතී‍්‍ර කර ඊළඟට තමාගේ අම්මා, තාත්තා වශයෙන් ඥාතීන්ට මෛත්‍රිය වැඩිය යුතුයි. පළමුව තමන් ගැනයි සිතන්නේ, මට ඉන්නෙන් මා පමණයි. මගේ සිත පවිත්‍ර විය යුතුයි. මට මා පහනක් විය යුතුයි. හදවත තුළ ආලෝකය ඇති වන විට මුහුණ පවා ලස්සන වෙනවා. යමෙකුට කේන්තියක් හටගත් විට මුහුණේ ස්වරූපය ඔබ දැක ඇත. එය කොයිතරම් අවලස්සන ද? මෛත්‍රිය වඩන්නාගේ මුහුණ හරිම පියකරුයි. ඒ මෛත්‍රියේ බලයයි.

යමක් කමක් ඇති නිවෙසක, යහපත් මව්පියන් ඇති ව, ලස්සන රූපයක් ඇති ව යමෙක් උප්පත්තියක් ලබනවා. මේ හැම දෙයක් ලැබුවත් නුවණ නැති, මන්ද බුද්ධික දරුවන් උප්පත්තිය ලබනවා. කුමක් ද හේතුව සංසාරය පුරා රැගෙන විත් ඇත්තේ මෝහ චෛතසිකය යි. නුවණ ලබන්න මහන්සි ගෙන නැහැ. කෑවා, බීවා, සෙල්ලම් කළා. ජීවිතයක යථා ස්වභාවය එනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තේරුම් ගෙන නැහැ. ලෝකයේ වෙනස් නොවන එකම ශක්තිය ත්‍රිලක්ෂණයයි.

මැදින් පුර පසළොස්වක

 මාර්තු 13 බ්‍රහස්පතින්දා පූ.භා 10.39 පුර පසළොස්වක ලබා 14 සිකුරාදා අ.භා 12.28න් ගෙවේ.
13 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]