[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

විසිදහසක් රහතුන් සමඟ සම්බුදු රදුන් කිඹුල්වතට වැඩි දා

විසිදහසක් රහතුන් සමඟ සම්බුදු රදුන් කිඹුල්වතට වැඩි දා

සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව පළමු කොට සුද්ධෝදන පිය මහරජුගේ ආරාධනාවෙන් විසි දහසක් ශ්‍රාවක රහතන් වහන්සේ සමඟ කිඹුල්වතට වැඩම කළ අවස්ථාවේ දී නෑයෝ පෙරගමන් කොට පිළිගෙන නිග්‍රෝධාරාමය පූජා කොට එහි වඩා හිඳුවා ලු සේක.

නමුත් වැඩිහිටි ඤාතීහු මාන්නය පෙරටු කොට වැඳීම් - පිදීම් නො කරන බව දැක, ඔවුන්ගේ මාන්නය බිඳිනු පිණිස අහසෙහි රුවන් සක්මනක් මවා එහි සක්මන් කරමින් ධර්ම දේශනා කළ සේක. ඒ බණ අසා පැහැදුණු නෑයෝ මාන්නය හැර දමා වැඳ සිටියා හ. අනතුරුව පොකුරු වැසි වස්සන්නට විය.

චතුර්ථධ්‍යානයට පත්ව අහසේ සැරිසරමින්, මහපොළොවේ ගලායන පරිදි මහවැසි වැස්සවීම මේ පොකුරු වැස්ස යි. තවද මෙවන් පොකුරු වැස්සෙහි විශේෂය වනුයේ කැමැති අය තෙමීමත්, නො කැමති අය නො තෙමීමත් ය.

රැස්ව සිටි සියල්ලෝ ම මේ ආශ්චර්යය වැස්ස ගැන තැන තැන කතා කරන්නට වූහ.

මහණෙනි, මේ පොකුරු වැසි වැසීම පුදුමයක් නොව, පෙරත් මා වෙසතුරු රජ ව උපන් අවදියේත් මෙලෙස ම පොකුරු වැසි වැටුණේ යැයි “වෙස්සන්තර ජාතකය” වදාළ සේක. මේ බණ ඇසූ හැම දෙන හා හැම නෑයෝ ම සතුටු ව විසිර ගියායින් පසුදින දානයට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ බුද්ධ පුත්‍රයන් වහන්සේට ආරාධන නො කළහ. සුද්ධෝදන මහරජු ද මා පුතු මා වෙත නො අවුත් වෙන කොහි යන්නේ දැයි සිතා ආරාධනා නො කොට ම පසුදා දනට විසිදහසක් පමණ භික්ෂූන් වහන්සේට ප්‍රමාණවත් කැඳ අවුලුපත් පිළියෙල කරවා හිඳිනට අසුන් ද පැනවීය.

පසුදා පිඬු සිඟා වැඩීමට සූදානම් වූ බුදුරජාණන් වහන්සේ පෙර බුදු සිරිත ප්‍රත්‍යවේක්ෂා කරන්නේ, පෙර බුදුවරයන් වහන්සේ ද පිය රජුගේ නුවරට වැඩිය අවස්ථාවන්හි දී පිඬු පිණිස පිය රජුගේ මාලිගාවට හෝ නෑගෙට හෝ පිඬු සිඟා නො වැඩිය බවත්, ගෙ පිළිවෙළින් වැඩිය බවත් දැන කිඹුල්වතට ඇතුළුව ඉදිරියට හමු වූ පළමු ගෙය පටන් පිඬු සිඟා වැඩි සේක. ඒ වෙලාවෙහි උඩු මහලෙහි හුන් යශෝධරා දේවිය මේ බව දැක පිය මහරජුට දන්වාලූහ. රජ තෙමේ මෙය අසා හිණ තුබූ වස්ත්‍රය මග දිගට උන උනා අඳිමින් වහා ගොස් බුදුරජාණන් වහන්සේට වැඳ,

“පුත, ඇයි මෙහෙම කරනුයේ. කුමක් නිසා මා නසහු ද? ඔබ වහන්සේ මෙසේ සිඟාකෑමෙන් සිය කුලයට අවනම්බු නො කරන්නේ ද? පෙර මෙ නුවර පුරා රන්දෝලාවලින් ගමන් කළ, කෙළිදෙළෙන් කල් යැවූ ඔබ මෙසේ කරනු වටී ද? ඔබ වහන්සේ ප්‍රධාන ශ්‍රාවක මහ පිරිසට ආහාර පිළියෙල කිරීම මට කළ නො හැක්කක්දැ යි ශෝක භරිත ව අසා සිටියේ ය.”

“මහරජ, ඔබ විලි නො ගන්න. ඔබ කුලයට අවනම්බු වන්නට මෙහි කරුණක් නැත. ඔබ මාගේ මේ පිඬු සිඟීමට සතුටු වන්න. පිඬු සිඟීම මාගේ පරපුරේ සිරිත යි. මාගේ වංශය ජිනවංශ යි. (ජින යනු “බුද්ධ” යන්නයි) ඔබගේ වංශය ගෞතම වංශය යි. ගෞතම ගෝත්‍රිකයන් පිඬු සිඟා නො යන බව මම දනිමි. මාගේ වංශයේ ඇත්තෝ කවදත් පිඬු සිඟා ගියෝ ය. “ජින වංශිකයන්ගේ ජීවිතයෙහි ඔද වැඩි බව හා ආලෝකය පිඬු සිඟා වැළඳීම නිසා ම වන්නේය යැයි” බුදුරජාණන් වහන්සේ මේ ගාථා දෙක මුල්කොට ධර්ම දේශනා කළ සේක.

“මහරජ, ජින වංශිකයෝ ගෙපිළිවෙළින් පිඬු සිඟා ලැබෙන හැන්දක් පමණ අහරෙහි (කෙනෙසි අහරෙහි) නොපමා වන්නේ ය. පිඬු සිඟා යාම සකස් කොට කරන්නේ ය. මේ භික්ෂාචාර්ය ධර්මයෙහි (පිඬු සිඟා) හැසිරෙන මහණ තෙම මෙලොවෙහි ද පර ලොවෙහි ද සුව සේ වෙසෙයි.”

තව ද “මහරජ, ජින වංශිකයෝ පිඬු සිඟීම මනා කොට කරන්නේ ය. එය නො මනා කොට නො පුරන්නේ ය. පිඬු සිඟා වැඩීම මනාව පුරණ මහණ තෙමේ මෙලොවෙහි ද, පරලොවෙහි ද, සුව සේ වෙසෙයි.”

යනුවෙන් ඉහත කී පිඬු සිඟා වැඩීම අරභයා මේ ගාථා දෙසූ සේක. ධර්ම දේශනාවේ අවසානයෙහි ශුද්ධෝදන මහරජ තෙමේ සෝවාන් වූයේ ය.

මැදින් පුර පසළොස්වක

 මාර්තු 13 බ්‍රහස්පතින්දා පූ.භා 10.39 පුර පසළොස්වක ලබා 14 සිකුරාදා අ.භා 12.28න් ගෙවේ.
13 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]