[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගරුත්වය සුරකින සමානාත්මතාව

ගරුත්වය සුරකින සමානාත්මතාව

සමානාත්මතා ධර්මය, මනුෂ්‍යත්වය ඔප් නංවන, මනුෂ්‍ය සමානත්වය තහවුරු කෙරෙන උසස් ගුණ ධර්මයකි. මිනිසුන් අතර විවිධ භේදයන්, වර්ග වාදයන් උත්සන්න ව පැවති සමාජ වටපිටාවක බුදුරදුන්ගේ උපත සිදුවිය. එම භේදකාරී තත්ත්වයන් ප්‍රතික්ෂේප කිරීමත්, මනුෂ්‍ය සමානත්වය තහවුරු කිරීමත් බුදු දහමින් සිදුවිය.

එකල සමාජයේ පැවැති වර්ණ ධර්මයන් පුද්ගල වර්ගීකරණය සඳහා යොදාගත් සමයක බුදුරදුන් විසින් “චත්තාරො වණ්ණ සම සමා” යනුවෙන් දේශනා කොට එම වර්ග වාදය ප්‍රතික්ෂේප කරන ලදී. බුදුරදුන්ට විවිධ අභියෝගයන්ට මුහුණ පෑමට සිදුවූ එක් කරුණක් ලෙස ද මෙය දැක්විය හැකි ය.

ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන සතර කුලයන් මහා බ්‍රහ්මයාගේ ශරීරයේ විවිධ ස්ථානවලින් උපන් බවත්, ඒ අනුව ඇතැම් කුලයන් උසස් බවත්, ඇතැම් කුලයන් පහත් බවත් දැක් වූ සමයක එම බ්‍රාහ්මණ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරමින් සකාරණ ව මනුෂ්‍ය සමානත්වය බුදුරදුන් ඉදිරිපත් කළ ආකාරය විශිෂ්ට ය.

එම කුලයන් සම්මත ව ප්‍රකට ව ඇත්තේ ඔවුන් කරන කාර්යයන් අනුව බවත්, ඒවායෙහි උසස් පහත් බවක් නැති බවත්, මිනිසා උපතින් වසලයකු හෝ බ්‍රාහ්මණයකු නො වන බවත්, තමා කරන ක්‍රියාව අනුව ම පුද්ගලයා වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන බවත් බුදුහු පැහැදිලි ලෙස උදාහරණ දක්වමින් විස්තර කොට ඇති අයුරු වාසෙට්ඨ සූත්‍රයෙන් ද පැහැදිලි වේ.

එබැවින් දියුණු යැයි සැලකෙන ශිෂ්ට සම්පන්න සමාජයක වර්ගවාදයට ඉඩක් නො ලැබිය යුතු වේ.

බුද්ධ දේශනාවේ හැම තන්හි ම මනුෂ්‍ය සමානත්වය අවධාරණය කොට ඇත. එහි පුද්ගල ශක්තියට, අවබෝධයට ප්‍රමුඛත්වය ලැබේ. ආශි‍්‍රත සමාජයෙහි පුද්ගලයන් තමා හා සමාන කොට සැලකිය යුතු බව බුද්ධ දේශනාව යි. කිසිවකුට හිංසාවක්, පීඩාවක් නො වන ආකාරයට පුද්ගලයා කටයුතු කළයුතු බව ද, තමා අකැමැති දෙයක අනෙකා නො යෙදවිය යුතු බවද බුද්ධ දේශනාව යි. එයින් අදහස් වන්නේ කිසිවෙක් කිසිවකුට සාවද්‍ය ලෙස බලපෑම් නො කළ යුතු බවයි. යහපත පෙන්වා දීම, යහපතෙහි යෙදවීම, යහපතෙහි උනන්දු කරවීම කල්‍යාණ මිත්‍ර, සත් පුරුෂ සාමාජිකයාගේ යුතුකම, භාවිතය විය යුතු ය. එය සමාජයක් නිවැරැදි කිරීමට අදාළ පුද්ගල ජීවිත භාවිතයට කරන යහපත් බලපෑමකි. චරිතාදර්ශයෙකි. බාලයන් ආශ්‍රය නො කිරීම, පණ්ඩිතයන් ආශ්‍රය කිරීම යනුවෙන් දක්වා ඇත්තේ එම චරිත සංවර්ධනයට අදාළ දේශනා යි.

තමන් සැපතක් අපේක්ෂා කරන්නේ නම් අනෙකාගේ සැපතට බාධා නො කළ යුතු බවත්, අනෙකාගේ සැපත කැමැති විය යුතු බවත් බුද්ධ දේශනාව යි. මිනිසුන්ගේ සැපතට උපකාරවිය යුතු ය. සැපතට ඇති බාධා දුරු කළ යුතු ය. මනුෂ්‍යත්වය අර්ථවත් වන්නේ එවිට ය. අන් සැපත නො ඉවසීම ඊර්ෂ්‍යාව යනුවෙන් ද, තම සැපත සැඟවීම මසුරුකම (මච්ඡරිය) යනුවෙන් ද දහමෙහි දැක්වේ. මම දුර්ගුණ දෙකම මනුෂ්‍යත්වය කිළිටි කරන ධර්ම වේ. එම දුර්ගුණ තම සන්තානයෙන් ඉවත් කිරීමට පුද්ගලයා සමත් විය යුතු ය. උත්සාහ කළ යුතු ය. මේ මිනිස් සමාජය මෙ තරම් දුර්වල ව ඇත්තේ අනෙකා ගැන සැලකිල්ල නො දක්වන්නේ මේ දුර්ගුණයන් බහුල තත්ත්වයට පත්ව ඇති හෙයිනි.

පුද්ගලයකුගේ උසස් චර්යාවට අදාළ ව පැවතිය යුතු කරුණු අතර (බ්‍රහ්ම විහරණ) මුදිතා ගුණය අතිශය වැදගත්කමකින් යුක්ත ය. මුදිතා යනු අනුන්ගේ සැපතේ දී සතුටුවීම ය. එය බොහෝ දෙනාට නො හැකි ය. තම අසල්වැසියාගේ, සමීප සාමාජිකයාගේ සාර්ථකත්වය, දියුණුව, බොහෝ විට බොහෝ දෙනාට ඉවසිය නො හැකි ය. තමා මෙන් ම ඔවුන් ද සැප විඳීමට කැමති බව මුදිතා ගුණයෙන් තොර අය නො සිතති. ආත්මාර්ථය ම වැළඳගත් ඔවුහු අන්‍යයන්ගේ සැපතට, සාර්ථකත්වයට ඊර්ෂ්‍යා කරති. වෛර බඳිති. එය මනුෂ්‍යත්වයට කැළලකි.

මනුෂ්‍ය සමානත්වය පිළිබඳ පුද්ගල අවබෝධය සඳහා අප විසින් සමානාත්මතා සිද්ධාන්තය සමාජ ගත කළ යුතු වන්නේ එහෙයිනි. මනුෂ්‍ය අවශ්‍යතා සියලු දෙනාට පොදු බව පිළිබඳ හැඟීමක් සාමාන්‍ය මිනිසාට නැත. අනෙකාගේ සැපය පිළිබඳ ඔහු ඊර්ෂ්‍යා කරන්නේ එම සැපත නො ඉවසන්නේ එහෙයිනි.

යථා ඒතාසු ජාතීසු - ලිංගං ජාතිමයං පුථු
ඒවං නත්ථි මනුස්සේසු - ලිංගං ජාතිමයං පුථු

ලෝක ඉතිහාසයෙහි මනුෂ්‍ය සමානත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම වාසෙට්ඨ සූත්‍රයෙහි සඳහන් මෙම දේශනාව යි.

විවිධත්වය ඇතිවන්නේ අදහස් වලිනි. කරන්නවූ ක්‍රියාවන් වලිනි. එහෙයින් පුද්ගල චරිත ක්‍රියාකාරීත්වය පිළිබඳ ව උපේක්ෂා සහගත විය යුතු ය. පුද්ගලයා ක්‍රියා කරන්නේ ඔහුගේ අවබෝධය හා අත්දැකීම් අනුව ය. එහෙයින් පුද්ගල දුර්වලතා කෙරෙහි උපේක්ෂා සහගත විය යුතු ය. හැම දෙනා ම සමාන අවබෝධයක් ඇති අය නො වන හෙයිනි. පුද්ගලයා විසින් ස්වකීය දුර්වලතා හඳුනාගත යුතු ය. එම දුර්වලතා අනෙකා කෙරෙහි ද විය හැකි යයි හඳුනාගත යුතු ය. අවබෝධ කර ගත යුතු ය. එසේ වූ විට බොහෝ සෙයින් පුද්ගලාන්තර ගැටුම් ද අවම කරගත හැකි ය.

කෙනකු තම අවශ්‍යතා සන්තර්පණය කර ගැනීම සඳහා නිත්‍යානුකූල වූ ද, නිත්‍යානුකූල නො වූ ද ක්‍රියා මාර්ග අනුගමනය කරයි. ඒ ඔහුගේ වැටහීම පරිදි හා ශික්ෂණයේ ප්‍රමාණය අනුව ය.

රටක නීති රීති සම්පාදනය හා දඬුවම් නියම විය යුත්තේ ද පුද්ගල චේතනාව ශික්ෂණයට පත් කිරීම, හැඟීම් පාලනයට අනුබල දැක්වීම ආදිය ද පදනම් කර ගෙන ය. ඒ සඳහා බුදු දහමින් ලැබෙන අනුබලය සුළු පටු නොවේ.

ජාති, කුල, ගෝත්‍ර වැනි පටු සංකල්ප මත බුදු දහම පුද්ගලයා වර්ගීකරණය නො කරන අතර, එම වර්ගීකරණය සිදු කරන්නේ ඔහුගේ ආධ්‍යාත්ම සංවර්ධනයෙහි ප්‍රමාණය පදනම් කරගෙන ය. ඒ පිළිබඳ විස්තර වසල සූත්‍රයේ ද දැක්වෙයි. මෙසේ ඉතා පැහැදිලි ලෙස මනුෂ්‍ය සමානත්වය පිළිබඳ ව කරුණු දක්වා ඇතත් අත්තුක්කංසන (තමා උසස් කොට සැලකීම) පරවම්භන (අනෙකා පහත් කොට සැලකීම) න්‍යාය, මනුෂ්‍ය දුර්වලතාවක් ලෙස බහුල වශයෙන් සමාජය තුළ ව්‍යාප්ත ව පවතී.

පුද්ගලයා සමාජය කෙරෙහි දැක්විය යුතු ආකල්පය, සමාජයට සැලකිය යුතු ආකාරය බුදු දහමෙහි දක්වා ඇත්තේ සතර සංග්‍රහ වස්තු වශයෙනි. එහි සමානාත්මතාව ද අවධාරණය වේ. සමානාත්මතාවෙන් අනෙකා කෙරෙහි කටයුතු කළ යුතු බව දැක්වේ. එහෙයින් අත්තුක්කංසන පරවම්භන දුරු කොට මානව ගරුත්වයෙන්, අන්‍යොන්‍ය අවබෝධයෙන් සමානාත්මතාව ඇති කර ගත යුතු ය. කරණීය මෙත්ත සූත්‍රයෙහි දැක්වෙන පරිදි මවක් තම එකම දරුවා යම් සේ ආරක්ෂා කරන්නේ ද, ඒ ආකාරයෙන් ම සියලු සත්ත්වයක් කෙරෙහි සීමා රහිත ව මෙත් සිත පැතිරවිය යුත්තේ ය.

මැදින් පුර පසළොස්වක

 මාර්තු 13 බ්‍රහස්පතින්දා පූ.භා 10.39 පුර පසළොස්වක ලබා 14 සිකුරාදා අ.භා 12.28න් ගෙවේ.
13 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]