[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ශාසනාම්බරයෙහි සුදිලෙන සුපුන් සඳ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියෝ උත්තරීතර මහා නායක පදවියෙන් පිදුම් ලබති

ශාසනාම්බරයෙහි සුදිලෙන සුපුන් සඳ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියෝ උත්තරීතර මහා නායක පදවියෙන් පිදුම් ලබති

බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහ නාහිමිපාණන් වහන්සේ සමස්ත ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක නාහිමිපාණන් වහන්සේ ලෙස පත්වී වදාළහ

****

සුනිශි‍්‍රත ධර්ම විනය ඤාණයකින් හෙබි පඬිරුවනක්

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිම

ශ්‍රී ලාංකේය සම්බුද්ධ ශාසනයේ ජගත් සම්භාවිත සංඝ නේතෘවරයාණන් වහන්සේ නමක් වන කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුනිශිත ධර්ම විනය ඤාණයකින් හෙබි පඬිරුවනක් ලෙස තෛ‍්‍රනිකායික ගරුතර මහා සංඝ රත්නයේ මෙන්ම ගිහි සම්භාවනීයයන්ගේ සම්මානයට පාත්‍ර ව සිටින දැන උගත් මහතෙර නමකි.

ස්වකීය ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරෙහි නිම්වළලු පුළුල් කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කොට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ප්‍රතිබල සම්පන්න භික්ෂූන් දායාද කිරීමේ ආධ්‍යාශය පෙරදැරි ව පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිස, පරිවේණාධිපතීන් වහන්සේ නමක් මෙන් ම සබරගමු පළාත් භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරය ද දරමින් අභිනව මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදුකර ඇති ධර්ම ශාස්ත්‍රීය සේවය අතිවිශිෂ්ට ය.

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් මෙන්ම ග්‍රන්ථ කර්තෘවරයාණන් වහන්සේ නමක් ලෙස කාරණා අකාරණා විනිශ්චයෙහි ලා යුතු වූ නුවණින් ශාසනික මෙන් ම සාමාජීය ප්‍රබෝධයෙහි ලා අභිනව මහානායක ස්ථවිරපාදයන් වහන්සේ විසින් සිදුකර ඇති සේවය වත්මන් තරුණ භික්ෂු පරපුරට සුසමාදර්ශයකි. ස්වකීය උදාර ලෝක ශාසනික සේවයේ ප්‍රවර්තනය උදෙසා ප්‍රතිබල සම්පන්න ශිෂ්‍ය පිරිසක් සසුනට දායාද කිරීමට උන්වහන්සේ කටයුතු කිරීම ද ප්‍රශංසාර්භ ය.

තෛ‍්‍ර නිකායික මහා සංඝරත්නයේ සිත් දිනා ගනිමින් මෙරට රාජ්‍ය නායකයන්ගේ සම්භාවනාවට පාත්‍ර ව පරෝපවාද විරහිත ව ස්වකීය ශාසන බ්‍රහ්මචර්යාවෙහි පරමාර්ථ සාධනයෙහි ලා නියුක්ත ශී‍්‍ර ලංකා අමරපුර මහානිකායේ අභිනව මහානායක ධුර ප්‍රාප්ත අධ්‍යාපනපති කරගොඩ, උයන්ගොඩ මෛත්‍රීමූර්ති අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ඉදිරියටත් උදාර ලෝක ශාසනික චර්යාවෙහි ව්‍යාවෘත වන්නට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය උදාවේවා! යි ආශිංසනය කරම්හ.

****

සම්බුදු සසුනේ අභිවර්ධනය උදෙසා කැප වූ තෙර නමකි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහා නාහිම

අමරපුර සංඝ සභාවේ රාස්සගල පාර්ශ්වයේ මහානායක තානාන්තරයට පත්වී ජාතික, ආගමික, ශාසනික වශයෙන් මෙන්ම වෙසෙසින් ම අධ්‍යාපනික වශයෙන් ද සේවාවක් සිදු කළ අප නායක ස්ථවිරයන් වහන්සේ අමරපුර මහාසංඝ සභාවේ උත්තරීතර මහානායක පදවියට පත් වූ බව අපට ද, අස්ගිරි විහාරීය ඓතිහාසික මූලස්ථානයට ද දැන ගන්නට ලැබුණූ අතර එය ගිහි පැවිදි උභය පක්ෂයේ ම සන්තුෂ්ඨියට හේතු වන බව ද සඳහන් කළ හැකි ය.

පාලි ත්‍රිපිටකාගත ධර්මවිනය පොදුවේ පිළිගත් ථේරවාදී භික්ෂු පරම්පරාවක් මෙරටෙහි පැවතගෙන එන අතර, පාදනුබද්ධ යම් යම් සම්ප්‍රදායයන් ලෙස ගිණිය හැකි ශාසනික මූලස්ථාන ද නිකාය සහ පාර්ශ්වයන් ද ඒවාට අනුගත වූ සංඝ සභා රැසක් ද මෙරටෙහි පවතින බව ද ප්‍රකට කරුණකි. ඒ අතරින් අමරපුර නිකායෙහි සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ වී සමස්ත ලංකා අමරපුර සංඝ සභාව සේ එක් නිකායක් ලෙසින් “සුබා සංඝස්ස සාමග්ගි” බුද්ධ වචනයට අනුගත ව කටයුතු කිරීම ද අගය කළ හැකි ය. සම්බුදු සසුන චිරස්ථායි වීමට ශාසනික මූලස්ථානවල සහ එකී සම්ප්‍රදායයන්වල වර්ධනය ද භික්ෂු සංඝයාගේ ප්‍රාමාණික සහ ගුණාත්මක වර්ධනය ද ගිහි - පැවිදි උභය අංශයේ මෙන්ම බෞද්ධ සංස්කෘතිකාංගවල වර්ධනය ද ආදි හේතු සාධක ඉවහල් වන බව ද නොකිව මනා ය. එමෙන් ම ශාසන භාරධාරි මහතෙරුන් වහන්සේ තුළ විද්‍යමාන වන විශිෂ්ට නායකත්ව ලක්ෂණ ද ශාසනයේ අභිවෘද්ධියට හේතුවන බව ද නොරහසකි. පැවිදි බව සෝබමාන කරන ආකල්ප සම්පත්තියෙන් ද උපලක්ෂිත ව ඇති බැවින් මෙම මහානායක ස්ථවිරයන්ගේ පදවි ලාභය පොදුවේ ශාසනයේ අභිවර්ධනයට ද හේතු වන්නකි.

ස්ව නිකායේ මෙන්ම සම්බුදු සසුනේ ද අභිවර්ධනය උදෙසා කැපවීමෙන් කළ සේවාව ද ගත් කතුවර හිමිනමක් ලෙසින් සහ දෙස් විදෙස් වශයෙන් ආගමික සහ සමාජසේවා කාර්යයන් සිදුකරමින් එමෙන් ම එඩිතරව තීරණ ගනිමින් සිදුකර ඇති සේවාව ද ඇගයීමට ලක් කළ අමරපුර මහා සංඝ සභාව, උන්වහන්සේගේ පි‍්‍රයශීලි භාවය ද, සැමගේ චිත්තාරාධනයට ලක්වන අයුරින් කාර්යාකරණයෙහි නිරත වන අයුරු ද අවධානයට ලක්කර උත්තරීතර මහානායක ස්ථවිරයන් වහන්සේ ලෙස පත්කර ගෙන ඇති බව ප්‍රකට වේ.

මෙම සුවිශේෂී තානාන්තරයේ කාර්යයන් චිරාත් කාලයක් සිදු කර ගෙන යාමට මහානායක ස්ථවිරයන් වහන්සේට ශ්‍රීමත් දළදා වහන්සේගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරන අතර, අස්ගිරි මහා විහාරීය මූලස්ථානයේ රාජුපස්ථානිය පරමධම්ම සභා නම් වූ විංශද් වර්ගික කාරක සංඝ සභාවේ සුභාශීර්වාදය ද පළකරනු කැමැත්තෙම්හ.

****

ථේරවාදී භික්ෂු පරපුරේ පරමාදර්ශි චරිතයක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර විමල මහා නාහිමි

අපේ අභිනව උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැරැණි සඟ පරපුර මූර්තිමත් කරන වර්තමානයේ වැඩ සිටින ධර්ම විනයධර, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදී සිටින ව්‍යක්ත මහ තෙරුන් වහන්සේ නමක් වශයෙන් ගරුතර මහා සංඝරත්නයේත්, ගිහි සැදැහැවතුන්ගේත් සම්භාවනාවට පාත්‍ර ව වැඩ සිටිති.

ස්ව නිකායේ රාස්සගල පාර්ශ්වයේ කාරක සංඝ සභික ධුරය, නියෝජ්‍ය ලේඛකාධිකාරි ධුරය, ප්‍රධාන ලේඛකාධිකාරි ධුරය දරා රාස්සගල පාර්ශ්වයේ මහානායක ධුරයට පත් වූ අපේ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ තුළ පැවති සහජ දක්ෂතා නිසා සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරි ධුරයටත් එහි උපසභාපති ධුරයටත් පත්ව පසුව එම සංඝ සභාවේ සභාපති ධුරය හෙබවීමට ද භාග්‍ය සම්පන්න වූහ.

මහා නායක ස්වාමීන් වහන්සේ ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ සාමාජිකත්වය, ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ යාවජීව සාමාජිකත්වය, සබරගමු විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකත්වයට පත්වීම, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ උත්තරීතර සභාවේ සාමාජිකත්වය ආදි තනතුරුවලට පත් කරගත්තා සේ ම ගෞරව නාම රැසක් ද පිරිනමා උපහාර දක්වා ඇත.

රාස්සගල පාර්ශ්වයෙන් “ආනන්ද මෛත්‍රෙය වංශාවතංස මහා මහෝපාධ්‍යාය” යන ගෞරව නාමය ද, එක්නැලිගොඩ විහාර පාර්ශ්වයෙන් “ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්මාචාර්ය” ගෞරව නාමය ද අමරපුර සිරි සද්ධම්මවංශ පාර්ශ්වයේ බස්නාහිර පළාත් සංඝ සභාව මඟින් “සම්බුද්ධ ශාසන කීර්ති ශ්‍රී “ ගෞරව නාමය ද, සපරගමු පළාත් සියම් මහානිකායේ සුමංගල මහා සංඝ සභාවෙන් “කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද” ගෞරව නාමය ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායෙන් “විශ්ව කීර්ති ශ්‍රී ආනන්ද මෛත්‍රී වංශාවතංස ශාසන ජෝතික” යන ගෞරව නාමය ද තවත් විවිධ ආයතනයන්ගෙන් ගෞරව නාම පිරිනමමින් උපහාර දක්වා ඇත.

අප සමඟ ද ජාතික, ආගමික කටයුතුවල දී සමීප ව කටයුතු කරනු ලබන ථේරවාදී භික්ෂු පරපුරේ පරමාදර්ශී චරිතයකින් යුතු ව්‍යක්ත, විනීත, විශාරද ධර්ම ශාස්ත්‍රීය පාණ්ඩිත්‍යයකින් හෙබි කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක ස්වාමීන් වහන්සේට අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවියේ කටයුතු මැනවින් ඉටු කිරීම සඳහා නිදුක් නීරෝගි සුවයෙන් යුත් චිර ජීවනය උතුම් රත්නත්‍රයේ ආශීර්වාදයෙන් සැලසේවා'යි ප්‍රාර්ථනා කරම්හ.

****

ලෝක ශාසනික අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කිරීමට තෙරුවනේ ආශීර්වාදය ලැබේවා

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති අරියවංශාලංකාර චන්ද්‍රකීර්ති ශ්‍රී මහෝපාධ්‍යාය මාගාල්ලේ නාගිත මහ නාහිම

අප නාහිමියෝ ගිහි ජීවිතය හා පැවිදි ජීවිතය පිළිබඳ ව දැනගත් කරුණුූ අනුව මහත් භාග්‍යසම්පන්න උතුම් පින්බර චරිතයක් ලෙස සැලකිය හැකියි.

මුන් වහන්සේගේ ජීවිතය ලෝක ශාසනික වශයෙන් උදාරත්වයට පත්වීමෙහි ලා විශේෂයෙන් පිහිටවන ශ්‍රේෂ්ඨ යතිවරයාණන් කෙනකු ලෙස තම ආචාර්ය පාදෝත්තම පරම පූජනීය අග්ගමහා පණ්ඩිත බෝධිසත්ව ගුණෝපේත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා උපාධ්‍යායත්වයෙන් උන්වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස 1962 ජුනි මස 18 වෙනි දිනයේ පැවිදි දිවියට පත්වීමත්, ඒ වගේ ම 1971 ජූලි මස 17 වැනි දින බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විහාරස්ථ සීමා මාලකයේ දී අති උතුම් අධි සීල සංඛ්‍යාත උපසම්පදා පදවියට පත්වීමත් සිදුවී ඇත.

උන්වහන්සේගේ සඟ පරපුර වන්නේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ රාස්සගල විහාර පාර්ශ්වය යි. එම සංඝ පරපුරට පත් ව සිදුකරන ශාසනික මෙහෙවරට ද දායක වෙමින් විවිධ තනතුරු, කාරක සංඝ සභික ධුරය, නියෝජ්‍ය ලේඛකාධිකාරි ධුරයට හා එම පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි ධුරයටත් පත්ව එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත ලංකා අමරපුර සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරි ධුරයටත්, ඉන් අනතුරුව එම නිකායේ උපසභාපති ධුරයටත් පත්වීමට හැකියාව ලැබී ඇත.

සම්බුදු සසුනේ උතුම් ශාසනික සේවාවන් රැසක් ඉටුකිරීමෙහි ලා ශාසනාම්බරයෙහි දිලෙන රන්තරුවක් ලෙස විද්‍යමාන, විය හැකි උතුම් පදවියක් වේවායි අපගේ හෘදයාංගම ආශිංසනය යි. තවද එම උතුම් පදවියෙන් ලෝක ශාසනික අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කිරීමට තෙරුවන් සරණින් ශක්තිය, ධෛර්යය හා වාසනාව උදාවේවා! යි ප්‍රාර්ථනය කරම්හ.

****

ශතවර්ෂාධික කාලයක් සසුන් වැඩවඩන්නට සෙත් වේවා

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත දර්ශනපති බලපිටියේ සිරිසීවලී හිමි

වසර දෙසිය විසිතුනක ඉතිහාසයක් ඇති අමරපුර භික්ෂු වංශය මේ වන විට මෙරට පමණක් නොව විදේශ රටවල ද පැතිර ගිය නිකායකි. පාර්ශ්ව විසි දෙකකින් සමන්විත අමරපුර මහ සංඝ සභාවට දහහතර දහසක් පමණ භික්ෂූන් වහන්සේ ද, හාරදහසකට ආසන්න වෙහෙර විහාර ද අයත් වෙති. අමරපුර නිකායික භික්ෂූන් වහන්සේ ලාංකේය සම්බුද්ධ ශාසනාභිවෘද්ධියෙහි තත්පරව නිරත වනවා සේ ම අධ්‍යාපනික, ධර්ම ශාස්ත්‍රීය සාමාජීය ආදී සෑම ක්ෂේත්‍රයක ම අභිවෘද්ධිය උදෙසා තම දායකත්වය නිරන්තරයෙන් ම සපයති.

සම්භාවනීය සඟ පරපුරක නව නියමුවාණන් ලෙස ශ්‍රී සන්නස් පත්‍ර ලබන කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනාහිමිපාණන් වහන්සේ ශාසනික වශයෙන් මෙන් ම අධ්‍යාපනික වශයෙන් සුවිශාල කාර්යභාරයක් සිදු කර ඇත. අමරපුර භික්ෂු වංශය වඩාත් නිවැරැදි මඟෙහි ගමන් කරවීම් වස් මඟ පෙන්විය හැකි ප්‍රතිබල සම්පන්න නායකත්වයක් සැපයීමට සමත් උන්වහන්සේ උත්තරීතර මහානායක පදවියට පත්වීම ගිහි පැවිදි අප සැමගේ භාග්‍යයකි. අභිනව උත්තරීතර මහානායක මාහිමිපාණන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් සසුන් වැඩ වඩන්නට නිදුක් නීරෝගි සුවය හා දිගාසිරි සම්පත් ලැබේවා'යි නමස්කාර පූර්වක ව ප්‍රාර්ථනා කරමි.

 

 

****

ව්‍යක්ත විශාරද ධර්මධර සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක

ලාංකික සමාජයට නිවැරැදි නායකත්වයක් සෑම අයුරකින් ම අවශ්‍ය කාලයක ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල පාර්ශ්වයේ මහානායක ධුරය හොබවන කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති ස්වාමින් වහන්සේ සමස්ත අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරයට පත්වීම අතිශයින් ම බෞද්ධ සමාජයේ අමන්දානන්දයට හේතු වේ.

අපවත් වී වදාළ අතිගෞරවනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවරයකු ලෙස ශාසනයට ඇතුළත් වී එකී මහානායක ස්වාමීන් වහන්සේ ඇසුරින් ශාසනික වශයෙන් හා සාමාජීය වශයෙන් කළමනාකාර්යයන්හි පරිචයක් උපදවා ගෙන ඇති කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක ස්වාමීන් වහන්සේ වචනයේ පරිසමාප්ති අර්ථයෙන් ම නායක ස්වාමීන් වහන්සේ කෙනෙකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස ද පසුව පරිවෙණාධිපති ස්වාමීන් වහන්සේ නමක් ලෙස ද ශාස්ත්‍රීය සේවාවන්හි නිරත වූ උන්වහන්සේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රාමාණික අත්දැකීම් ලබා ඇත. ව්‍යක්ත, විශාරද, ධර්මධර යතිවරයාණන් කෙනකු වන මහෝපාධ්‍යාය පූජනීය කරගොඩ උයන්ගොඩ මහා නාහිමියන්ට සමස්ත අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරය පිරිනමන මේ අවස්ථාවේ අපගේ ගෞරවය පුදකිරීමට හා ශුභාශිංසන පිරිනැමීමට මෙය අවස්ථාව කර ගනිමි.

මැදින් පුර පසළොස්වක

 මාර්තු 13 බ්‍රහස්පතින්දා පූ.භා 10.39 පුර පසළොස්වක ලබා 14 සිකුරාදා අ.භා 12.28න් ගෙවේ.
13 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]