[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බුද්ධියත් හදවතත් යා කරන පාලම ගොඩ නඟන්නට හැමදෙනාගේ ම සහයෝගය අවශ්‍ය කාලයක්

බුද්ධියත් හදවතත් යා කරන පාලම ගොඩ නඟන්නට හැමදෙනාගේ ම සහයෝගය අවශ්‍ය කාලයක්

බුද්ධියෙන් පොහොසත්, හදවතින් දුප්පත් ළමා පරපුරක වර්ධනය අනාගතයේ ඛේදනීය බවක පෙර නිමිත්තකි. එය වළක්වනු පිණිස දහම් පාසල් අධ්‍යාපනයේ වේගවත් සංවර්ධනය කාලීන අවශ්‍යතාවක් ව පවතී. මේ, ඒ පිළිබඳ නාරංගොඩපාළුව රත්න ශ්‍රී ඝනාරාම පොත්ගුල්විහාරවාසී, ජා ඇළ ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, රාජකීය පණ්ඩිත සිවුරළුමුල්ලේ විමලරතන ස්වාමීන් වහන්සේ සමඟ කළ සාකච්ඡාවකි

ජාතියක පිබිදීම, දේශයක නැඟීම තීරණය කරන්නේ ආධ්‍යාත්මික ගුණ ධර්මයන්. අපේ මුතුන් මිත්තන් ඒ අභිමානයෙන් පොහොසත් වුණා. ස්වාමීන් වහන්ස, අදත් අපිට කතා කරන්න තිබෙන්නේ ඒ අතීතයේ ගුණ සුවඳ ගැන ම නේද?

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් පසුව සම්බුදු දහම අපේ රටේ ස්ථාවරවීම තුළ රජතුමාගේ සිට සාමාන්‍ය වැසියා දක්වා ම ආගමානුකූල වත් පිළිවෙත් නිවැරැදි ව භාර ගෙන කටයුතු කළා. විධිමත් අධ්‍යාපනයක්, ආගමක්, සංස්කෘතියක්, සදාචාරයක්, සභ්‍යත්වයක් මේ සියල්ල ම ගොඩනැඟුනේ ඒ තුළයි. එහි ප්‍රධානතම කේන්ද්‍රස්ථානය බවට පත් වුණේ පන්සල. ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේ හා ගම් වැසියන් අතර තිබුණු ගෞරවනීය බැඳීම ගසට පොත්ත වගේ. රටේ රජතුමා එහි පුරෝගාමියා වුණා.

මහා විහාර සම්ප්‍රදායෙන් ලක්දිව විහාරස්ථාන ආරම්භ කළා. ප්‍රථම අධ්‍යාපන මධ්‍යස්ථානය ලෙස පන්සල මුල්තැන ගත්තා. එදා වැඩ සිටි බුද්ධඝෝෂ හාමුදුරුවෝ, ධම්මපාල හාමුදුරුවෝ ආදි භාරතීය භික්ෂූන් වහන්සේ මේ විධිමත් අධ්‍යාපන ක්‍රමවේදය දකින්න, තව තවත් ව්‍යාප්ත කරන්න අපේ රටට වැඩම කළා. විවිධ අධ්‍යාපන මධ්‍යස්ථාන ආරම්භ කළා. පන්සලට දහම් පාසල බද්ධ වෙන්නේ පන්සලෙන් ගමට විය යුතු ප්‍රධාන භූමිකාව ලෙස සලකමින්. ගමේ දරුවන්ගේ හදවත් ආධ්‍යාත්මික ගුණ ධර්මයන්ගෙන් සරු කිරීම එහි ප්‍රධාන ම අභිලාෂය වුණා.

අතීතයේ අභිමානය ලෙස අදත් අපි කතා කරන්නේ එදා දහම් පාසල තුළින් බිහිවුණු මිනිසුන්ගේ ආධ්‍යාත්මය ගැනයි. ඔවුන්ගේ චර්යා රටාවන් ගැනයි. රට, ජාතිය, ආගම වෙනුවෙන් දැක්වූ අප්‍රමාණ ආදරය, කැපවීම ගැනයි. අතීතයට සාපේක්ෂ ව අද ඒ ගුණ ධර්ම සෝදාපාළුවෙලා තිබෙන නිසයි සමාජය අද ගැන නොව, ඊයේ ගැන කතා කරමින් සතුටු වන තැනට පත්ව තිබෙන්නේ.

අතීතයේ පාඩම් ඉගෙන වර්තමානයත්, අනාගතයත් සමත් කරවීමෙහි ලා, ගුණධර්ම ගිලිහී යෑමේ හිස්තැන පිරවීමෙහි ලා වගකීමත්, වගවීමත් පැවරෙන්නේ කාටද?

අතීතය සුන්දර වුණා නම්, වැඩදායි මිනිසුන්, තෙත් හදවත් ඇති සංවේදී මිනිසුන් බිහිවුණා නම් ඒ දහම් පාසල නිසයි. අද අපේ සමාජය උගතුන්ගෙන් පොහොසත්. ඒත් සැබෑ මිනිසුන්ගෙන් දුප්පත්. සැබෑ මිනිසා කියන්නේ තමන් ගැන පමණක් නොවෙයි අනුන් ගැනත් හිතන, මානව ධර්ම පුරුදු පුහුණු කළ කෙනාට. අද අම්මා, තාත්තාගේ දුකක දී පවා සංවේදී වන හිත් අඩුයි. හදවත් වියළී ගිහින්. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන පිරිසුදු සතර බ්‍රහ්ම විහරණ ගුණ මිනිසුන්ගෙන් ගිලිහී යමින් තිබෙනවා. මේ ගුණ හදන ප්‍රධානම මධ්‍යස්ථානය පන්සලයි. ජීවිතය කියන්නේ බුද්ධිමත් බව පමණක් නොවෙයි. හදවතත් ඕනෑ. ඒ නිසා හදවතත් බුද්ධියත් යා කරන පාලම නැවත ශක්තිමත් කරන්නට ඕනෑ. ඒ තමයි දහම් පාසල. ගමෙන් පන්සලට, පන්සලෙන් ගමට යන උදාරතර වැඩපිළිවෙළේ බොදු දරුවන් හදන තැන, ඒකීය මධ්‍යස්ථානය අපේ දහම් පාසලයි. අද දහම් පාසල ඒ නිවැරැදි සන්නිවේදන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ ක්‍රියාත්මක වීම හරියට තෝරා බේරා නොගැනීම නිසා වර්තමානය මහා ඛේදනීය තත්ත්වයට පත්වෙලා. දරුවන් නිර්මාණශීලී නෑ. අනුන් ගැන හිතන්නේ නෑ. ආදරය, කරුණාව නෑ. අම්මා, තාත්තා, වැඩිහිටියන්, ගුරුවරු හඳුනන්නේ නෑ.

අපි තරයේ මතක තබා ගන්න ඕනෑ, දහම් පාසල් නොඑන දරුවා මතු දවසක තමන්ගේ අම්මට, තාත්තට දඬු මුගුරුවලින් පහර දෙන්නට තරම් වුණත් නොපැකිළෙන්න පුළුවන්.

මේ නිසා අපේ ගමේ, රටේ ජීවත්වන අහිංසක මවුපියන්ගේ, අහිංසක දරුවන්ට නිවැරැදි දහම පුරුදු පුහුණු කරන්න ඕනෑ.

දහම් පාසල් අධ්‍යාපනය සාමාන්‍ය පාසල් අධ්‍යාපනයෙත් බැහැර වූවක්. ගුණාත්මක ක්‍රමවේදයක් බලාපොරොත්තු වන්නේ. වර්තමානය වන විට දැනුම, කුසලතා ආදිය සංවර්ධනය වූ අධ්‍යාපන පසුබිමට ප්‍රමුඛත්වය ලැබෙනවා. මේ තරගකාරීත්වයට එහා ගිය ආකල්ප තැනීමේ වැඩපිළිවෙළ, අනුවේදනීය හදවතක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ දහම් පාසල තුළ ක්‍රියාත්මක වන්නට ඕනෑ.

බුදුහාමුදුරුවෝ ගැන ඉගෙන ගන්න, බුද්ධ චරිතය ඇසුරු කරන, ජාතක කතා ඇසුරු කරන, හදවත නිවැරැදි තැනට යොමු කර ගන්න පුළුවන් හොඳම කෙම්බිම දහම් පාසල නම් අප එය රැක ගන්නට ඕනෑ.

ඒ සඳහා ක්‍රමික වැඩපිළිවෙළක් රජය මඟින් ඇති කරනවා නම් තමයි දරුවා වුණත් ඊට අනුගත වන්නේ. කනගාටුවෙන් වුණත් කියන්න ඕනෑ දහම් පාසල් අධ්‍යාපනයට තිබෙන තැන ශෝචනීය යි.

ඉස්සර දරුවෝ දහම් පාසලට එන්න පුදුම කැමැත්තක් තිබුණේ. ගමේ හැම නිවෙසක ම දරුවන් දහම් පාසලට ආවා. අද වැඩිහිටි පරපුර ළඟ යම්තාක් දුරකට හෝ ගුණධර්ම රැකී තිබෙන්නේ ඒ නිසයි. ඒ පන්නරය කිසිදු තැනකින් ගත නොහැකියි. දහම් පාසලෙන් දරුවා ඈත්වීම අද ප්‍රධාන ම ගැටලුවක් වෙලා. මේ තත්ත්වයට මවුපියන් ද වග කියන්නට ඕනෑ. සතියේ දවස් හයක් වෙහෙසිලා දරුවාට අදහසක් දෙනවා අද දහම් පාසල් යන්න ඕනෑ නෑ කියලා. මවුපියන් අලස වුණා කියන්නේ ම දරුවා අලස ම යි. ඒ නිසා අපට මොන බාධක ආවත් ළමයාගේ හිත හදන, හදවත ලස්සන කරන දහම් පාසලට දරුවා එවීමේ වගකීමත්, වගවීමත් අම්මා තාත්තා බාර ගන්නට ම ඕනෑ.

ස්වාමීන් වහන්ස, ගුණබර දරුවෙක් නිර්මාණය කිරීමේ වෙසෙස් කාර්යයෙහි ලා දහම් පාසලේත්, වැඩිහිටියන්ගේත් දායකත්වය කෙබඳු විය යුතු ද?

විශේෂයෙන් ම ලංකාවේ ශාසනාරක්ෂක බලමණ්ඩලයන්හි අපේ ලේඛකාධිකාරී හාමුදුරුවන්ගේ ඒකායන අරමුණ තමයි ඉරිදා දවස දරුවන් වෙනුවෙන් වෙන්කර ගැනීම. අපි රජයෙන් වුණත් ඉල්ලීම් කර තිබෙනවා මේ සම්බන්ධයෙන්. එයට හේතුවක් තිබෙනවා. මේ රටේ බෞද්ධයන් ධර්ම ඥානයෙන් සුපෝෂණය වෙන්න ඕනෑ. දහම නොදන්නා කෙනාගේ හදවත තෙත නෑ. අනුන්ගේ දුක දැනෙන්නේ නැති නම්, ආත්මාර්ථකාමී නම්, ඒ බෞද්ධකම කුමට ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ‘පරත්තං පට්පජ්ජත’ අනුන් වෙනුවෙන් තමන්ගේ හදවත යොමු කරන ලෙසයි? භික්ෂූන් වහන්සේ විදිහට අපේ ජීවිත කාලය ම කැප වෙන්නේ අනුන් වෙනුවෙන්. ඉතින් ඒ තුළ අපිට බැරි ඇයි යහපත් දරුවන් මේ රටට දායාද කරන්න.

දහම් පාසල් ගුරුභවතුන්ගේ කාර්යයන් අද්විතීයයි. දරුවන්ට නිරන්තරයෙන් ම හොඳ ගුණ දහම් ටික දෙන්න ඔවුන් හදවතින් ම බැඳී ඉන්නවා. සතයක්වත් බලාපොරොත්තු නොවී. ඔවුන් දරුවාගේ චරිත සංවර්ධනයට දෙන කරුණාව මහා අද්විතීයයි.

අතීතය යම්කිසි විදියකට ද මනරම් වුණේ, එය වර්තමානයට ගෙන ආ යුතුමයි. අනාගතය ලස්සන කරගන්න වර්තමානය ලස්සන විය යුතු ම යි. ඒ තැනට දරුවා යොමු කරන්න, මවුපිය වැඩිහිටියන්, සමාජ ක්‍රියාකාරීන් වගවිය යුතුයි. අබෞද්ධයන්ට පවා ඔවුන්ට අදාළ දහම් පාසල් තිබෙනවා. මේ සියල්ලෙන් ගොඩනැඟෙන්නේ සුපේශල, ශික්ෂාකාමී හදවත්. ඒ තැන ගොඩනඟන්න පැල්පතේ සිට මහා මන්දිරය දක්වා ම ඇපකැප විය යුතු යි.

දහම් පාසලට දරුවන් යොමු නොකිරීමේ ප්‍රධාන හේතුව දහම් අධ්‍යාපනය ලබා නොදීමේ අනතුර අපේ මවුපියන්ට, වැඩිහිටියන්ට තවමත් නොදැනීම ද අපේ ස්වාමීන් වහන්ස?

ප්‍රධානම කාරණය එයයි. තරගකාරී අධ්‍යාපන රටාව තුළ අද මවුපියන් දරුවන් ඇදගෙන යනවා. මුඛ්‍ය අරමුණ ඉහළ වැටුප් ලබන රැකියාවක් ලබා ගැනීම. එතැන දී දහම් පාසල අමතක කරනවා.

ඒත් ඒ ගමන තුළ අපේ දරුවන්ට දරා ගැනීමේ ශක්තිය, ඉවසීම නෑ. පුංචි දෙයටත් කල කෝලාහලවලට පැටලෙනවා. සමහර දරුවො සිය දිවි නසා ගන්නවා. වැරැදි ඇසුරට, වැරැදි චර්යාවලට ගොදුරු වෙනවා. අද බොහෝ තරුණ හදවත් ඉතා ම අනුවේදනීයයි. හිතන්නේ පටුවිදිහට. ඒ අයගේ සංකල්පනා ගොඩනැඟෙන්නේ දුරකතනය සමඟ බැඳුණු ක්ෂණික අදහස් ටික සමඟ.

මේ අයහපත් චර්යා ඉවත් කර ගන්න තියෙන හොඳම තෝතැන්න දහම් පාසල. එතැන සම්පත් උදා කරන තැනක්, දරුවන්ගේ හදවත් හදන තැනක්. එතැනට අපිට දරුවා යවන්න බෑ. රැගෙන යන්න ඕනෑ. බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයන් ධර්ම මාර්ගයේ රැගෙන ගියා, මේ මාවතේ එන්න කියලා.

පාසලට ගියත්, බාහිර පන්තියකට ගියත් දහම් පාසලින් ගන්නා පන්නරය ලබා ගන්න බෑ. ඉරිදා උදේට ඇවිත්, පන්සල් බිමේ වැලිකැටයක් පාගන වාරයක් පාසා ඒ දරුවාගේ හදවත කියනවා මා ඉන්නේ පන්සලේ. දහම් පාසලේ. මේ පූජනීය තැන ඉඳගෙන මම හදවත පවිත්‍ර කරගන්න ඕනෑ කියලා දරුවාට නිරායාසයෙන් ම දැනෙනවා. ඒ හැඟීම ජීවිතය ලස්සන කරනවා. ලෝකය ලස්සන කරනවා.

අපි එකතු විය යුතු ඒ තැනට මේ රට ගෙන එන්නටයි.

මැදින් පුර පසළොස්වක

 මාර්තු 13 බ්‍රහස්පතින්දා පූ.භා 10.39 පුර පසළොස්වක ලබා 14 සිකුරාදා අ.භා 12.28න් ගෙවේ.
13 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]