පුර පෑළවිය
සඳ
17 කොටස
සාමණේරයන් වහන්සේ නමකගේ
ජීවිතය අලලා ලියැවුණු නවකතාව
බඩල්ගම විපුලසිරි හිමි
මෙතෙක් කතාව
දමිත සාමණේරයන් පැවිදි බව ලබා ටික කාලයකි. පැවිදි වුව ද පුංචි දඟකාරකම් මඟහැර ගන්නට
සාමණේරයන්ට තවම අපහසු ය. කුඩා සාමණේරයන්ගේ පුංචි වරදක දී වුව එය විශාල කොට
පෙන්වමින් ලොකු හාමුදුරුවන් වෙතට රැගෙන යන්නේ පන්සලේ ඇබිත්ත මාමා ය. ඔහු සිරිමල් ය.
පන්සලේ ප්‍රධාන දායකයකු වන මුදලාලිට ද දමිත සාමණේරයන් ගැන පැහැදීමක් නැත. ඒ
සාමණේරයෝ ගිහි කල ඉතා දිළිඳු පවුලක වීම නිසා ය. මුදලාලිගේ බසට අවනත ව සාමණේරයන්ට
වැරැදි පිට වැරැදි පැටවීමට සිරිමල් මාමා නිතර උත්සාහ කරයි. ලොකු හාමුදුරුවන්ට පොඩි
හාමුදුරුවන් ගැන නැති වැරැදි කියයි. එහෙත් සිරිමල් මාමා පොඩි හාමුදුරුවන්ට කරන
අකටයුතුකම් නන්ද හිමියන්ට දැක ගන්නට ලැබුණි. නන්ද හිමි සිත දමිත පොඩිහාමුදුරුවන්
ගැන ඇති වූයේ මහා දුකකි. මේ අතර සිරිල් මාමා රෝගී වේ.
කට මුඛරී ගැටයෙක් පැමිණ,
“මැණික් රාළ මාමේ, මේ දැන් ලන්තෑරුම හොයාගන්නෙ කොහොම ද?
“ ආ .. ඕකත් වැඩක් ද බං ? මොළේ තියෙන්නේ ඔව්වට තමයි. ඔහොම හිටපංකෝ, මං වැඩක්
කරන්නම්.... විජ්ජාවක්...”
ගම්මු මැණික් රාළගේ විජ්ජාව බලා සිටින්නේ අතින් කට වසාගෙන ය. ඒ සිනා යාවි යැයි
බියෙනි.
බුලත් වට්ටියේ තිබූ ගිරය රැගෙන ආ මැණික් රාළ ළඟ සිටි කොල්ලාට කියා පොල්ලත්ත පාත්
කරවා ගත්තේ ය.
“ හ්ම්.... බලහංකෝ ගිරේ ගිහිල්ලා වැටෙන්නේ, හරියට ම ලන්තෑරුම වැටිච්ච තැනට. ගිරේ
ගිහිල්ලා වැටෙන තැන බලාගනින්. එතන ලන්තෑරුම ඇති.”
එසේ කී ඔහු පොල් අත්තේ කෙළවර ගිරය ගැට ගැසුවේ ය. පොල් අත්ත පෙර සේ ම ගැස්සී එසවුණේ
ගිරය ද ලන්තෑරුම සේ ම ගුවන්ගත කරමිනි.
මැණික් රාළට කළ මෝඩකමේ තරම කෙතරම් දැයි වැටහුණේ එවිට ය.
ලන්තෑරුම තබා ගිරය වැටුණු තැන සොයන්නටවත් ආලෝකයක් නැති රාත්‍රියේ මේ කොහේ කියා
ගිරයක් සොයන්න ද ?
එය ලන්තෑරුමටත් වඩා කුඩා දෙයකි. විශාල වූ ලන්තෑරුමත් රෑ අඳුරේ නොපෙනෙන්නේ නම් කුඩා
ගිරයක් පෙනෙන්නේ කෙසේ ද?
මහ එව්වන් ඔහුට නොපෙනෙන්නට කට වසාගෙන බිමබලා සිනාසුණත් , ගැටව් ගැටිස්සියෝ නම් හක
හක ගා සිනාවන්නට වූහ. එදා මහ උපාසකට දැනුනේ නම් අසීමිත ලජ්ජාවකි.
මෝඩකම හැර ඔහු තුළ ඇති තවත් වරදක් වන්නේ අධික වූ කුල මානයයි. දරුවන් තිදෙනාගේ ම
ජීවිත අවුල් වූයේ ඔහුගේ කුල මානය නිසාවෙනි. විවාහ වන වයසේ වැඩිමල් දියණිය ද තවමත්
සිටින්නේ ගෙදරට නාකි වෙමිනි.
කෙතරම් අඩුපාඩු තිබුණත් මැණික් රාළ උපාසක බුදු දහමට නම් ලැදි ය. පිනට ද ලැදි ය.
අද මේ කැඳ සාදාගෙන පැමිණ ඇත්තේත් ඒ නිසා ය. එබැවින් මොනවා සිහිපත් වුවත් නන්ද
තෙරණුවන්ට මහ උපාසක ගැන දැනුණේ කුළුණු හැඟීමකි.
“ හා... බොහෝම හොඳයි. අපි බුද්ධ පූජාවත් පූජා කරලා එහෙනම් ලොකු ස්වාමීන් වහන්සේටත්
කැඳ ටිකක් පූජා කරමු.”
කැඳ පූජාව සිදුකළ යුතු හොඳම ආකාරය නන්ද හාමුදුරුවන් උපාසකට පැහැදිලි කළත් උපාසකට ඒ
විදිය එතරම් ගැළපුණේ නැත.
“ නෑ නෑ ... අපේ හාමුදුරුවනේ, මම ගෙදරින් බුද්ධ පූජාව තිබ්බා. මං මේ කැඳ ටික ගෙනාවේ
අපේ හාමුදුරුවන්ට වළඳන්න.”
මැණික් රාළට ලොකු හාමුදුරුවන් පිළිබඳ ව එතරම් පැහැදීමක් නැත. ඒ පැහැදීම නැතිකමට
හේතුව ලොකු ස්වාමින් වහන්සේ දිනක් තමන් සමඟ කී වග නන්ද හාමුදුරුවන්ට මතක ය.
එදා ලොකු ස්වාමින් වහන්සේ දානය වළඳමින් සිට තිබේ. එතැනට පැමිණි උපාසක මහතා වරක්
දෙවරක් නොව කිහිප වරක් ම ලොකු හාමුදුරුවන්ට කතා කොට ඇත. ඒ දානය වළඳන බවත් හොඳ හැටි
ම දැනගෙන ය.
උපාසකගේ තරම දන්නා ලොකු ස්වාමින් වහන්සේ ඔහු තෙවරක් කතා කළ මුත් නිහඬව ම හුන්සේක.
සතර පස් වරක් කතා කළ විට,
“මං දානෙ වළඳනවා...” යැයි එකම වැකියකින් පිළිතුරු දුන්නේ නැත්නම් එයිනුත් ගැටලුවක්
වේ ය කියා ය.
ඒ මොහොතේ උපාසක මහතා මහ හඬින් සිනාසුනේ ය.
නුදුරේ හුන් සිරිමල් මාමා,
“ඇයි බං හිනාවෙන්නේ..” යැයි ඇසීය.
“මුන්දගෙත් ඇති සීලයක් නෑ උන්නැහැ... හාමුදුරු කෙනෙක් උනහම දානෙ වළඳද්දී කතා කරනව ද
මං අහන්නෙ ..? දුස්සීලයො තමයි කන ගමන් කතා කරන්නේ. මුන්දගෙ ඇති සීලයක් නෑ. ආයෙ
මුන්දට මං නම් වඳින්නේ නෑ.”
යනුවෙන් පැවසූ මැණික් රාළ එදා පටන් ලොකු ස්වාමින් වහන්සේට වන්දනා කළේවත්, ගරු
කළේවත් නැත.
තව පොඩ්ඩක් කතා කරන්නට ගියොත් තමන්ට වන්නේත් එවැනි ම දෙයක් විය හැකි ය.
දායකයන්ගේ ශ්‍රද්ධාව රැකීමට මහා ඍද්ධිමත් මුගලන් මහරහතන් වහන්සේටත් නොහැකි වූ බව
නන්ද හිමියන්ට සිහිපත් විය.
“ හොඳයි එහෙනම් උපාසක මහත්තයා ඕක තියන්න. මං අමදලා ඉවරවෙලා වළඳන්නම්”
“එහෙම හරි යනවද ? මං මේක මේ මගේ අත් දෙකෙන් ම හදාගෙන ආවේමගේ අත් දෙකෙන් ම පූජා
කරන්න ඕන හින්දා. ඔබ වහන්සේ අමදින්න. මං ගිහිල්ලා භාජනයකට දැන් අරන් එන්නම්.”
නන්ද හාමුදුරුවන්ට ඉන් එහා කතා කරන්නට බැරි ය. දාන ශාලාව දෙසට ගිය මැණික් රාළ සුළු
මොහොතකින් කෝප්පයකට කැඳ පුරවා ගෙන ආවේ ය.
මතු සම්බන්ධයි |