[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පිටකොටුවේ බෝධින් වහන්සේ රැකගත් දමිල ව්‍යාපාරිකයා

පිටකොටුවේ බෝධින් වහන්සේ රැකගත් දමිල ව්‍යාපාරිකයා

(එස්.ටී. සින්නදොරේ සූරීන්ගේ 45 වැනි ගුණ සමරුව වෙනුවෙනි.)

විසිවැනි සියවසේ අගභාගයේ දී යාපනේ දී උපත ලැබූ ඔහු සිංහල, දෙමළ මිත්‍රත්වය ගොඩනැඟීම සඳහාත්, බෞද්ධ විහාරස්ථාන ගණනාවක දියුණුව සඳහාත් උපකාර කළේ ය. එපමණක් නොව ඉංගී‍්‍රසි පාලන සමයේ පිටකොටුවේ බෝධි වෘක්ෂය දෙවරක් කපා දැමීමට උත්සාහ කළ අවස්ථාවේ ඊට විරුද්ධ ව නායකත්වය දී එය ව්‍යර්ථ කළේත් මෙතුමාණන් ය. ඒ අන් කවරෙක්වත් නොව කාලයක් පිටකොටුව බෝගහ හන්දියේ ව්‍යාපාර සිදුකළ ද්‍රවිඩ ව්‍යාපාරික එස්.ටී.සින්නදොරේ ය.

1980 මාර්තු 22 වැනි දින ඔහු මිය යන තෙක් ම අපේ රටේ ජාතික, ආගමික හා සංස්කෘතික කටයුතු රැසකට උදව් උපකාර කළේ ය. ඒ මහතාගේ 45 වැනි ගුණසමරුව මාර්තු 22 වැනිදාට යෙදී ඇත. ඒ නිමිත්තෙන් ඒ මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකළ මහව පළමු ගෙදර මංගලාරාම විහාරස්ථානයේ දී මාර්තු 22 දින පින්කම් මාලාවක් පැවැත්වේ.

උපතින් හින්දු භක්තිකයෙක් වුවත් පිටකොටුවේ බෝධීන් වහන්සේගේ සෙවණ ලබමින් තම ව්‍යාපාරය පවත්වා ගෙන යාමට මහත් වාසනාවක් ලෙස ඔහු පිටකොටුවේ බෝධීන් වහන්සේ සැලකූහ.

අවස්ථා දෙකක දී ඉංගී‍්‍රසි ආණ්ඩුව විසින් කපා දැමීමට උත්සාහ කළ අවස්ථාවල මේ හින්දු බැතිමතා මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් සමඟ ඊට විරෝධය ප්‍රකාශ කළහ. ඒ නිසා බෝධීන් වහන්සේ අද දක්වා ම පුද සත්කාර මැද විරාජමාන ව පිටකොටුවේ වැඩ සිටිති.

අතීතයේ මේ බෝධීන් වහන්සේට සෑම දිනක ම උදේ පුද පූජා පැවැත්වීම ආරම්භ කර ඇත්තේ ද මේ සින්නදොරේ මහතා ය. පසුව ඔහු බෝධිය වටා ආරක්ෂිත වැටක් ඉදිකොට ගේට්ටුවක් ද දැමීය. අනතුරුව එහි බුද්ධ මන්දිරයක් ඉදිකොට බුද්ධ ප්‍රතිමාවක් ද තැන්පත් කිරීමට කටයුතු කරන ලදී. සින්නදොරේ මහතාගේ උත්සාහය නිසා එක්සත් බෝධිරාජ සමිතිය ආරම්භ කොට පිටකොටුවේ සෙසු ව්‍යාපාරික ප්‍රජාවගෙන් ද සහයෝගය ලබාගෙන අද පවතින විහාර මන්දිරය, චෛත්‍යය දේවාල, ඝණ්ඨාර කුලුණ ආදී විහාරස්ථානයක සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත බෝධිරාජ විහාරය ඉදිකළේ ය.

උපතින් හින්දු බැතිමතකු වුවත් බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය කරන්නට විශාල පරිශ්‍රමයක් දැරූ මෙතුමා වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය පිරිවෙන, මහව පළමුගෙදර ශ්‍රී මංගලාරාමය, අනුරාධපුර කුරුන්දම්කුලම සද්ධර්ම විවේකාශ්‍රමය සහ ඇහැලියගොඩ සාමමහා විහාරය, ආදී විහාරස්ථාන රැසකට උදව් උපකාර කළේය.

සිංහල සාහිත්‍යවේදීන් රැසක් සමඟ එක් වී සිංහලයකු මෙන් ජාතික නිදහස් අරගලයට ද දායක වූ සින්නදොරේ මහතාගේ තවත් සුවිශේෂම සේවාවක් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල සිතුවම් සහිත දින දර්ශන වන ලීලා පංචාංග චිත්‍ර දින දර්ශනය රටට දායාද කිරීමයි.

මැදින් පුර පසළොස්වක

 මාර්තු 13 බ්‍රහස්පතින්දා පූ.භා 10.39 පුර පසළොස්වක ලබා 14 සිකුරාදා අ.භා 12.28න් ගෙවේ.
13 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]