[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උතුම් සඟගුණ සුරකින සුපින්බර බුද්ධ පුත්‍රයන් වහන්සේ: හිග්ගොඩ උදයධම්ම හිමිපාණෝ

උතුම් සඟගුණ සුරකින සුපින්බර බුද්ධ පුත්‍රයන් වහන්සේ: හිග්ගොඩ උදයධම්ම හිමිපාණෝ

කෑගල්ල දිස්ත්‍රික්කයේ, හිග්ගොඩ නම් ගම් පියසෙහි වර්ෂ එක්දහස් නවසිය හැත්තෑ පහේ ඇසළ මස නවවැනි දින පින්වත් කුමරුවකුගේ උපත සිදු විය.

දරුවාගේ මව මුතුපතිරන්නැහේලාගේ නන්දාවතී මැණිකේ ය. පියා බස්තියන් කෝරාළලාගේ ගුණසේකර ය. බස්තියන් කෝරාළලාගේ උදය කුමාර නාමය ලද ඒ පින්වත් කුමරුවෝ මාබෝපිටිය ප්‍රාථමික විද්‍යාලයෙන් ද, ගිරිඋල්ල, වික්‍රමශීලා ජාතික පාසලෙන් ද අධ්‍යාපනය ලැබුවේ ය.

පූර්වෝක්ත ගුණාංග නිරීක්ෂණයෙන් ද, ධර්මලෝලී ආධ්‍යාත්ම ලක්ෂණ හැඳීනීමෙන් ද, මාහරගම ශ්‍රී පියරතන නාහිමියෝ ඔහු තමන් වහන්සේගේ විහාරස්ථානය වන මස්නෝරුව ශ්‍රී නන්දනාරාමයට කැටුව ගිය අතර, සිවු වසරකට ආසන්න කාලයක් හෙරණසික, සාමණේර බණ දහම් පොත සහ වත් පිළිවෙත් ප්‍රගුණ කරමින් සිටිය දී අපවත් වී වදාළ කෑගල්ල, තුම්මුදුන ශ්‍රී වාලුකාරාමය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති ව වැඩ විසූ මාහරගම ශ්‍රී පියරතන නාහිමිපාණන් හා තුම්මුදුනේ පඤ්ඤානන්ද නාහිමිපාණන් යටතේ වර්ෂ 1991 මැදින් මස විසි හත දා පැවිද්ද ලැබී ය. මෙයින් සිවු වසක් ඇවෑමෙන් 1995 වෙසක් මස දහඅට දා උන්වහන්සේ අපවත් වී වදාළ මාහරගම ශ්‍රී පියරතන නාහිමි, අපවත් වී වදාළ රෑනපාන පඤ්ඤාජෝති නාහිමි, තුම්මුදුනේ රතනසිරි හිමි සහ පොල්ගහවෙල ආනන්ද නාහිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලද්දෝ ය.

1995 මාලිගාකන්ද විද්‍යෝද්‍ය මහ පිරිවෙනට ඇතුළත් ව ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයත්, 1997 දී පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනට ඇතුළත් ව ප්‍රාචීන මධ්‍ය හා අවසාන විභාගත් සමත් වන අප කථානායකයාණෝ රාජකීය පණ්ඩිත උපාධිය හිමි කර ගත් සේක. 2011 දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද ලබා ගත්හ. සිංහල, පාලි හා සංස්කෘත භාෂාත්‍රයෙහි පටුත්වයක් ලද උන්වහන්සේ ධර්ම සන්නිවේදන ඩිප්ලෝමාවකින් ද පිදුම් ලැබුවෝ වෙති.

රාජගිරිය, වැලිකඩවත්ත දහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයත් අලව්ව, මඩවල සත්බෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයත් උදයධම්ම නාහිමිපාණන්ගේ අප්‍රතිහත ධෛර්යයේ විරාජමාන දෙ සලකුණෙකි. තව ද මාහරගම ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙනට අනුබද්ධ ශ්‍රී ධර්මාශෝක දහම් පාසල පවත්වා ගෙන යමින් ප්‍රදේශවාසී ළමා කැළගේ ගුණනැණ වැඩුමට උදයධම්ම හිමියෝ ඉමහත් උත්සාහයක් ගනිති.

එමෙන් ම මහනුවර ශ්‍රී උපෝසථ- පුෂ්පාරාම විහාරද්වයාධිපති ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව විසින් ගිරිඋල්ල, මාහරගම ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙන් පරිවේණාධිපති, කෑගල්ල, තුම්මුදුන ශ්‍රී වාලුකාරාම මහා විහාරය, මාහරගම ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙන් විහාරය, මාහරගම ශ්‍රී පියරතන බෞද්ධ මධ්‍යස්ථානය, රාජගිරිය වැලිකඩවත්ත දහම් සෙවණ මධ්‍යස්ථානය, අලව්ව, මඩවල සත්බෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය යන විහාරයන්හි විහාරාධිපති හිග්ගොඩ උදයධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ‘සද්ධර්ම කීර්ති ශ්‍රී පියරතන’ යන ගෞරව නාම සම්මුතිය සහිත ව වයඹ පළාතේ ‘පහළ දොළොස්පත්තුවේ අධිකරණ සංඝනායක’ පදවිය ප්‍රදානය කොට වදාළහ.

හිග්ගොඩ උදයධම්ම නා හිමියන්ට සියම් දේශයෙන් ‘සරභඤ්ඤ මහා පණ්ඩිත’ ගෞරව නාමය පිරිනැමුණේ ථේරවාද බුදුදහම දියුණු කිරීම හා ප්‍රචාරය කිරීම අරබයා සපුරන ලද සුවිශේෂ මෙහෙවර ඇගැයීමක් වශයෙනි.

ශ්‍රී ලංකාවේ යුරේසියානු විශ්ව විද්‍යාලයයේ සංවිධානයෙන් තායිලන්තයේ වට් නොං පො විහාරස්ථානයේ Phra Maha Somkit Attthasittho සංඝනායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් රාජ්පූර්හි දී එම පිරිනැමීම සිදු කෙරිණ.

නිදුක් නීරෝගි සුව වඩනු පිණිස ධර්ම දානයෙහි වඩාත් තිරසර ලෙස ඇපකැප වන්නට හිග්ගොඩ උදයධම්ම නාහිමිපාණන්ට අභිනවයෙන් ලද මේ පදවි මාර්ගාලෝකයක් ම වේවා’යි සැදැහැ සිතින් පතනෙමු.

****

ලෝක ශාසනික චර්යාවේ නිරත වන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමි

පහළ දොළොස්පත්තුවේ ද්විතීය අධිකරණ සංඝනායක පදවිය හොබවන ලද මාහරගම ශ්‍රී පියරතනාභිධාන නායක ස්ථවිරපාදයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ප්‍රව්‍රජ්‍යා භූමියට පත් හිග්ගොඩ උදයධම්ම ස්ථවිර දැන උගත් ශික්ෂාකාමී ස්ථවිරයන් වහන්සේ නමක් ලෙස ජාතික මෙන් ම ජාත්‍යන්තර වශයෙන් සිදු කරන ලෝක ශාසනික සේවය ප්‍රශංසාර්හ ය.

ස්වකීය ආචාර්ය වහන්සේගේ උදාර ශාසන ගමන්මඟ අනුගමනය කරමින් තත් විහාරස්ථානය සංවර්ධනය කරන අතර ම, ප්‍රදේශයේ ආධ්‍යාත්මික සුපෝෂණයෙහි ලා මාර්ගෝපදේශකත්වය සැපයීමට නව විහාරස්ථානය ආරම්භ කරමින් සමාජ ප්‍රගමනය උදෙසා සුවිශේෂී දායකත්වයක් ලබා දීමට කටයුතු කරන හිග්ගොඩ උදයධම්ම ස්ථවිර ඉන් නො නැවතී ප්‍රදේශයේ අධ්‍යාපනික සංවර්ධනය උදෙසා ද වයඹ නැණසල ආදී ආයතන ආරම්භ කරමින් ලබා දී ඇති දායකත්වය ඉමහත් ය. පරෝපවාද රහිත ව සුසමාදර්ශී භික්ෂු ජීවිතයක් ගත කරන හිග්ගොඩ සද්ධර්මකීර්ති ශ්‍රී පියරතන උදයධම්මාභිධාන අභිනව පහළ දොළොස්පත්තුවේ ද්විතීය අධිකරණ සංඝනායක ස්ථවිරයන් වහන්සේ හට උදාර ලෝක ශාසනික චර්යාවෙහි නිරත වන්නට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය උදාවේවා’යි ආශිංසනය කරම්හ.

****

බුද්ධ ශාසනයේ ප්‍රගමනයට සිදු කරන මෙහෙය අතිමහත් ය

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහා නාහිම

කෑගල්ල, තුම්මුදුන ශ්‍රී වාලුකාරාම මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති, ශාස්ත්‍රපති පණ්ඩිත හිග්ගොඩ උදයධම්ම හිමිපාණන් වහන්සේ ප්‍රදේශවාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ දැන උගත්, කාර්යශූර මහා තෙර නමක් බව අප සැම දන්නා කරුණකි. විහාරාධිපතිවරයකු වශයෙන් සතර පේරුවේ දායක දායිකාවන්ගේ ආගමික අවශ්‍යතාවයන් වෙනුවෙන් තම කාලය හා ශ්‍රමය යෙදවීමට කටයුතු කරන අතරතුර, උගත් බුද්ධිමත් ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ රාශියක් සසුනට දායාද කරමින් උන්වහන්සේ සඟ පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කරන සේවය මහත් පැසසුම් කටයුතු ය.

එවන් ශාසනික ක්‍රියාවන් රාශියකට දායකත්වය සපයනු ලබන උන්වහන්සේගේ සකලවිධ කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කරම්හ.

****

ලෝ සසුන් වැඩ වැඩුමට ශක්තිය ධෛර්යය ලැබේවා

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර විමල මහා නාහිම

උදයධම්ම නායක ස්ථවිරයන් වහන්සේ, මේ වන විට කෑගල්ල තුම්මුදුන ශ්‍රී වාලුකාරාම විහාරය, ගිරිඋල්ල මාහරගම ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙන් විහාරය, මාහරගම ශ්‍රී පියරතන බෞද්ධ මධ්‍යස්ථානය, රාජගිරිය දහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානය ආදී විහාරස්ථාන ගණනාවක ම නායකත්වය දරමින් එම ස්ථානවල දහම් පාසල්, ස්වේච්ඡා සමිති සංවිධාන ආදිය පිහිටුවා කරන සේවාව ඉතා වැදගත් කොට සලකමි. එසේම මාහරගම ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙන ආරම්භ කොට වැදගත් ශිෂ්‍ය පිරිසක් සසුනට දායාද කළා සේ ම එම පිරිවෙන තුළින් නිර්මාණය වූ ගිහි ශිෂ්‍ය පිරිස ද සමාජයේ වැදගත් තනතුර දරමින් ජාතික, ආගමික, අධ්‍යාපනික සේවාවන්හි නිරත ව සිටී.

මෙසේ විවිධ ජාතික, ආගමික හා සාමාජික කාර්යයන්හි නියැළී වටිනා සේවයක් සිදු කරන අප හිතවත් හිග්ගොඩ උදයධම්ම ස්ථවිරයන් වහන්සේට පහළ දොළොස්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර පිරිනමන මේ වැදගත් අවස්ථාවේ තෙරුවන් සරණින් නිදුක් ව නීරෝගී ව ලෝ - සසුන් වැඩ වැඩුමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා’යි ඉත සිතින් ආශිර්වාද කරම්හ.

****

ශාසන චිරපැවැත්මට කැපවීම ප්‍රශංසනීයයි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහ නාහිම

ලක්දිව විහාරස්ථාන ගණනාවක ආධිපත්‍ය දරමින් එහි දියුණුවට හා ශාසන චිරපැවැත්මට කටයුතු කරමින් බෞද්ධ රටවල ආගමික සබඳතාවය ද වැඩිදියුණු කිරීමට හිග්ගොඩ උදයධම්ම ස්වාමීන් වහන්සේ සිදු කරන ශාසනික, ආගමික මෙහෙවර අගය කරමි. ඒ වෙනුවෙන් තායිලන්ත බෞද්ධ විහාරයෙන් හිග්ගොඩ උදයධම්ම ස්වාමීන් වහන්සේට “සරභඤ්ඤ මහා පණ්ඩිත” යන ගෞරව සම්මාන ප්‍රදානය කිරීම පිළිබඳ ව ද සතුටු වෙමි.

තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් හා සියලු දෙවි රැකවරණින් ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු විහාර පාර්ශවයේ පහළ දොළොස්පත්තුවේ අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී පියරතන ශාස්ත්‍රපති හිග්ගොඩ උදයධම්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට චිරාත් කාලයක් ශාසනික මෙහෙවර සිදු කිරීමට නිදුක් නීරෝගි සුව හා චිරජීවනය සැලසේවා’යි ආශිංසනය කරමි.

****

ධර්ම ශාස්ත්‍රීය සේවය ගරු කටයුතුයි

දියවඩන නිලමේ, ශ්‍රී දළදා මාලිගාව ප්‍රදීප් නිලංග දෑල

පරිවේනාධිපති වහන්සේ නමක් ලෙස උතුම් සම්බුද්ධ ශාසනය උදෙසා ධර්මකාමී, විනයගරුක, සිල්වත්, ගුණවත්, බුද්ධ පුත්‍රයන් වහන්සේ දායාද කිරීමේ අරමුණින් ආරම්භ කොට ඇති ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙන දිනෙන් දින එහි අරමුණු සාක්ෂාත් කර ගනිමින් ධර්ම ශාස්ත්‍රීය, ආගමික හා සංස්කෘතිකමය වශයෙන් ඉටුකරගෙන යන්නා වූ අතිමහත් සේවය නිසා ම අප ස්වාමීන් වහන්සේ සමස්ත ලෝකයාගේ ම අභිසම්භාවනාවට පාත්‍ර වී ඇත. උන්වහන්සේට ශ්‍රී දළදා සමිඳු සරණින් ශාසනික ප්‍රබෝධයක්, ඇතිකරලීමට නිදුක් නීරෝගී චිරජීවනය උදාවේවා’යි ප්‍රාර්ථනා කරමි.

 

 

****

උතුම් සංඝපීතෘන් වහන්සේ නමකි

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා

හිග්ගොඩ උදයධම්ම හිමිපාණන් වහන්සේ තමන් වහන්සේට පැවරුණු ආයතන දියුණු කිරීම සඳහා ද ඒවායින් සිදුවන සේවාව ශක්තිමත් ව ඉදිරියට ගෙනයෑම සඳහා ද ඒ සෑම දෙයක් තුළින් ම ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට පමණක් නොව සියලු ම පුරවැසියන් වෙත ළෙන්ගතුකමින් සහ කැපවීමෙන් ලැබ දෙන උතුම් සේවය ගැන සලකා බලන විට මෙම ගෞරවනීය පදවිය ලබන්නට උන්වහන්සේ සැබැවින් ම සුදුසු සංඝපීතෘන් වහන්සේ නමක් බව සතුටින් සඳහන් කරනු කැමැත්තෙමි.

 

 

****

අමිල ශාසනික මෙහෙවරකට පුරෝගාමී වූ යතිවරයාණන් වහන්සේ නමකි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශාස්ත්‍රපති හිග්ගොඩ උදයධම්ම හිමි ශ්‍රී පඤ්ඤානන්ද මූලික පිරිවෙන ආරම්භ කරමින් එම ආයතනය තුළ දෙස් විදෙස් සිසුන්ට පිරිවෙන් අධ්‍යාපනය ලබා දීම, ගිරිඋල්ල මාහරගම ශ්‍රී පියරතන බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කිරීම, අලව්ව මඩවල සත් බෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය ආරම්භ කිරීම ආදී අමිල ශාසනික මෙහෙවරක් ඉටු කිරීමට පුරෝගාමී වූ යතිවරයාණන් වහන්සේ නමකි.

ඔබ වහන්සේ රටට දැයට ඉටු කළ සේවාව අතිමහත් ය. මෙතෙක් ඉටුකළ ආගමික සහ සමාජයීය සේවාවන් ඉදිරියටත් වඩාත් හොඳින් ඉටුකිරීමට උදයධම්ම හිමිපාණන්ට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි, ශාසනාලයෙන් යුතු ව සුබපතමි.

 

****

ශාසනික මෙහෙවර තුළින් මවුබිමේ අභිමානය රැකේවා

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක

තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් අනුදැන වදාළ නිර්මල ශ්‍රී සම්බුද්ධ දර්ශනය සුරැකිව පවතින රාජ්‍යයක් ලෙස අභිමානය ද, ප්‍රෞඪත්වය ද, අඛණ්ඩ ව පරම්පරාවෙන් පරම්පරාවට පවරාදීම විෂයෙහි දුර ඈත අතීතයේ සිට සංඝ පීතෘන් වහන්සේ කළ ශාසනික මෙහෙය ශ්‍රද්ධා සිතින් සිහිපත් කරමි.

එකිනෙකට ගැළපිය නොහැකිවූත්, වෙන් කළ නොහැකිවූත්, ලෝක පරිමාණ මට්ටමින් වැසී ගිය සංකීර්ණ සමාජ, ආර්ථික, දේශපාලනික, තාක්ෂණික ප්‍රවණතා හමුවේ බෞද්ධ දර්ශනය මහත් අභියෝගයකට මුහුණ දෙමින් පවතියි. පරිවර්තනීය යුගයක ආරම්භක මොහොතේ ඔබ වහන්සේ වෙත පිදෙන මේ ශ්‍රී සංඝ පීතෘභාවය මත යුක්තියේ ද, සමාජ සාධාරණත්වයේ ද, මවුබිමේ අභිමානය ද රැඳී ඇති බව මම සිතමි. චිරාත් කාලයක් යෙහෙන් වැජඹී, එම උත්තුංගකාරිය ඉටුකිරීම පිණිස ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමු.

මැදින් පුර පසළොස්වක

 මාර්තු 13 බ්‍රහස්පතින්දා පූ.භා 10.39 පුර පසළොස්වක ලබා 14 සිකුරාදා අ.භා 12.28න් ගෙවේ.
13 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]