සම්භාවනීය සඟ පරපුරක
උත්තරීතර නියමුවාණෝ
අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ
මෛත්‍රී මූර්ති
මහ නාහිමිපාණන් වහන්සේ
ශාස්ත්‍රපති
කොස්ගම විනීතජීව හිමි
බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශ්වයේ
මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහ නාහිමිපාණන් වහන්සේ සමස්ත ලංකා අමරපුර මහා
නිකායේ අභිනව උත්තරීතර මහානායක නාහිමිපාණන් වහන්සේ ලෙස පත්වී වදාළහ
දකුණු ලක නිල්වලා ගං තෙරේ ගැමි සුවඳ විහිදුවන මාතර, කඹුරුපිටිය, කරගොඩ, උයන්ගොඩ නම්
සුන්දර ගමෙහි දොන් සාදිරිස් අබේවික්‍රම වීරමන් හා ඇම්.වී. අබේවික්‍රම නම් දම්පතීන්
යුවළ 1946 වර්ෂයේ ඔක්තෝබර් පළමු වැනිදා තුන්වැනි දරුවා ලෙස මෙලොව දායාද කළ පින්වත්
කුමරෙකි.
සුපින්වත් කුල කුමරු වයස අවුරුදු දහතුනේ දී සියලු සැප සම්පත් හා වංශවත් පෙළපත ආදී
සියල්ල ම අත්හැර දා එවකට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත
බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේගේ සෙවණට පත්විණි. අනතුරුව උගත මනා බණ
දහම් හැදෑරූ කුල කුමරුවාණෝ වර්ෂ 1962 ජුනි මස 18 වැනි දින බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද
විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ දී උතුම් වූ ශාසනික පැවිද්ද ලබනුයේ කරගොඩ උයන්ගොඩ
මෛත්‍රී මූර්ති යන පැවිදි නාමයෙනි.
අතිගරු මහ නාහිමියන්ගේ සෙවණෙහි වැඩ සිටිමින් සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය හා
ඉංගී‍්‍රසි ආදී භික්ෂු ජීවිතයට අත්‍යවශ්‍ය විෂයයන් පිළිබඳ මූලික දැනුම සිය ගුරු
දේවයන් වහන්සේගෙන් උගත්හ. පසුව වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා දියතලාව ශ්‍රී
සුධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම
ආදී විභාග මැනවින් සමත් කර ගත්හ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පළමු පන්තියේ
සාමර්ථ්‍යය සහිත ව විශේෂවේදී උපාධිය ලබා එම විශ්වවිද්‍යාලයේ ම දර්ශන අංශයේ
කථිකාචාර්යවරයකු ලෙස වසර ගණනාවක් සේවය කළහ.
අනතුරුව 1971 ජූලි මස 17 වන දින බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විද්‍යායතනයේ දී
අතිගරු අග්ගමහා පණ්ඩිත, අභිධජ මහා රට්ඨගුරු, පරම පූජනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ
නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උතුªම් වූ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.
උන්වහන්සේ සිය ගුරුදේවයන් වහන්සේගේ ඉල්ලීම පරිදි බළන්ගොඩ ශී‍්‍ර ධර්මානන්ද පිරිවෙන්
විද්‍යායතනයේ පරිවේණාධිපති ධුරය භාර ගත්හ. එතැන් පටන් ආයතනයේ භෞතික හා ගිහි පැවිදි
මානව සම්පත දියුණුූ කරමින් වසරින් වසර සබරගමු පළාතේ පමණක් නොව ලංකාවේ ම අධ්‍යාපන
සංවර්ධන අංශයේ ඉහළ ස්ථානයක් ලබා දීමට සමත් විණි. අතිගරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ
නාහිමිපාණන් වහන්සේගේ පැවිදි ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ අතර සුජීවත් ව වැඩසිටින
ප්‍රධාන ශිෂ්‍ය රත්නය ලෙස අප කථානායකයන් වහන්සේ තුන් හෙළයේ ම කාගේත් ගෞරවයට පාත්‍ර
වනු ඇත. මේ නිසා ශාසනික වශයෙන් හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විද්‍යායතනය හා අප නාහිමිපාණන් වහන්සේගෙන් ආගමික,
ජාතික, ශාසනික, අධ්‍යාපනික සහ සංස්කෘතික වශයෙන් සිදුවන සේවය අපරිමිත ය. ඒ නිසා ම
උන්වහන්සේ වෙත තනතුරු ගලා ආවේ ය. රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක පදවියෙන් පිදුම්
ලැබූ උන්වහන්සේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස කටයුතු කරනු ලබති. අන්තර්
ආගමික උපදේශකවරයකු මෙන් ම ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකවරයෙක් ලෙස අනභිභවනීය
සේවයක නිරත වෙමින් සිටිති. ආගමික ක්ෂේත්‍රයෙහි මෙන්ම අධ්‍යාපනික කටයුතු කෙරෙහි
විශේෂ දක්ෂතාවක් ඇති උන්වහන්සේ සබරගමු පළාතේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස
දිගු කලක් සේවය කළ අතර, ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සක්‍රිය
දායකත්වයක් ලබා දී ඇත.
නිරන්තර ව උන්වහන්සේ සිදුකරනු ලබන ආගමික, ජාතික, ශාසනික හා ආධ්‍යාත්මික
ක්‍රියාවලියට දක්වන ධෛර්යය, කැපවීම, නිවැරැදි නායකත්වය හා අවංක ප්‍රතිපදාව ඉතා අගනේ
ය. ඍජු හා සුපටිපන්න ගුණෝපේත ගුණයෙන් යුත් අප නාහිමියන් ප්‍රදේශයේ ඇති උසස්
අධ්‍යාපන ආයතනයක් වන ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ආරම්භයට මුල්ගල් තැබීමට පවා
සෙත්පිරිත් දෙසමින් ආශීර්වාද කළ අතර විශ්වවිද්‍යාලයේ සිදුවන සුවිශේෂී සෑම කටයුත්තකට
ම සහභාගි වන්නේ අධ්‍යාපනික මෙහෙවර අත්නොහරිමිනි.
උන්වහන්සේ විසින් ලියැවුණු පොත්පත් රාශියක් ඇත. සූත්‍රාගත කරුණුූ ඉතා ලිහිල් බසින්
මෙන් ම සරල සුගම බස් වහරක් යොදමින් එළිදැක්වීම ගිහි පැවිදි කාගේත් ධර්ම ඥානයට මහත්
රුකුලකි. බුදුසරණ පුවත්පත ඇතුළු බෞද්ධ මෙන් ම ජාතික පුවත්පත්, සඟරා ආදියට නිරන්තර
ලිපි ලේඛන සපයමින් සක්‍රිය දායකත්වයක් ලබා දෙන්නේ යහපත් ජීවන සමාජ වටපිටාවක් සකසා
ගැනීමට ජනතා සිත්සතන් සුපෝෂණය කරමිනි.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ධුරය
හොබවමින් ශාසනෝන්නතියට දීර්ඝ කාලයක් කැපී පෙනෙන සේවයක් ඉටු කළහ. ශාසනික හා
අධ්‍යාපනික වශයෙන් තනතුරු නිරන්තර ව ලැබෙනුයේ උන්වහන්සේ තුළ ඇති අවංකභාවය
කාර්යශූරත්වය, එඩිතර බව, නිහතමානී ගතිගුණ නිසාවෙනි.
2004 ඔක්තෝබර් 20 වැනි දින අමරපුර නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක පරම
පූජනීය ගැටඅරළුවේ ශ්‍රී ධම්මරතන මහ නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව අප නාහිමිපාණන්
වහන්සේ ස්ව නිකායික මහානායක තනතුරට නිතරගයෙන් පත්වූහ. දීර්ඝ කාලයක් ස්ව නිකායික මහා
සංඝරත්නයේ පමණක් නොව සමස්ත ලංකාවේ ම ගෞරවාදරයට පත් අප කතානායකයන් වහන්සේ සමස්ත ලංකා
අමරපුර සංඝ සභාවේ ගරු සභාපති පදවියෙන් පිදුම් ලැබූහ.
තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය අප නාහිමිපාණන් වහන්සේ කෙරෙහි ඇති විශ්වසනීයත්වය හා
ගෞරවය නිසා ම නොයෙකුත් ගෞරව නාම සම්මුති පිරිනමන්නට විය. ඒ අතර ආනන්ද මෛත්‍රෙය මහා
වංසාවතංස මහෝපාධ්‍යාය, ප්‍රවචන කීර්ති ශ්‍රී, ත්‍රිපිටක විශාරද පරියප්ති ශාසන
ධර්මධ්වජාග්‍ර ශ්‍රී සුගත ශාසන වංසාලංකාර සද්ධර්ම විභූෂණ යන ගෞරව නාම සුවිශේෂී විය.
සමස්ත අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවියෙන් සම්භානාවට පාත්‍ර වූ පරම පූජනීය
කරගොඩ, උයන්ගොඩ මෛත්‍රී මූර්ත්‍රී නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගි චිර
ජීවනය ලැබේවා! |