පන්සිල් කියන සමාජයක
සිල්පද රකින මිනිසෙක් වෙන්න
උදම්මිට ධම්මානන්ද හිමි
දවසක් බුදුපියාණන් වහන්සේ මහසඟරුවන සමඟින් කොසොල් නුවර ධර්ම චාරිකාවේ වඩින සේක්
වේහලින්ග නම් ග්‍රාමය හමුවූ අවස්ථාවේ දී හිටිහැටියේම බුදුපියාණෝ ගමන නවතා මඟ නතර වූ
සේක. මඳ සිනහ පෑසේක. මෙය දුටු අග්‍ර උපස්ථායක ආනන්ද තෙරණුවෝ බුදුරදුන් අමතා
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කුමක් නිසා මෙලෙස අතරමඟ දී ගමන නවතා මඳ සිනහ පාන්නේ
දැයි විමසා සිටියහ. මෙහිදී බුදුපියාණෝ අතීත සිද්ධියක් ඉස්මතු කරමින් එම කතා පුවත
ගෙනහැරපෑ සේක.
එදා මේ ගම්බිම වේහලින්ගයැයි පවසා මාර්ගයේ පසකට වී නැවතත් උන්වහන්සේ පවසන සේක්, මේ
සොඳුරු ගම්මානයේ වාසය කළ සොඳුරු මිනිසකු මුල්කොට ගෙන මේ කතාන්දර දිගහැරුණු බැව්
පවසා සිටි සේක. මේ මිනිසා ඉතා අහිංසක ය. දිළිඳු ය. ඔහුගේ ජීවිකාව වූයේ් වළං සෑදීමය.
එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන දායකයා ඔහු ය. ජීවමාන බුදුරජාණන් වහන්සේ
නමකට දන් පැන් පිදීමට ඔබ, මා පොහොසත් නොවූව ද එදා මේ වළං හැදූ ඝටීකාර නම් දුප්පත්
තැනැත්තා භාග්‍යවන්තයෙක් වූයේ ය. මේ කුඹල් වැඩ කරන, වළං හදන ඝටීකාරගේ පි‍්‍රයශීලි
මිතුරා - ළෙන්ගතුම යහළුවා වූයේ ජෝතිපාල නම් අයෙකි.
ඝටීකාර නිතර නිතර කාශ්‍යප බුදුරදුන් වෙත ගොසින් ඇපඋපස්ථාන සිදුකරතත්, ජෝතිපාල නම්
කිසිදිනෙක පන්සල වෙත පිය නොනැඟුවේ ය.
“මුඩු මහණෙකි, හමුවීමෙන් ඇති ඵලය කුමක්දැ’යි යනුවෙන්. ජෝතිපාලට බුදුරදුන් සමීපයට
යාමට යෝජනා කළ සෑමවිට ම එය ප්‍රතික්ෂේප කරමින් ඔහු පවසා සිටියේ ය.
ඝටීකාර තම සගයා බුදුරදුන් හමුවට පැමිණවීමේ උත්සාහය අත්නොහැරියේ ය. ගොඩ දිනක් වෙනදා
මෙන් නොව මඳක් තද ගතියෙන් ඔහු අමතා බුදුරදුන් බැහැදැකීමට යාමට කතා කළේ ය. වෙනදා
මෙන් ම ඔහුගේ වචනය වූයේ මුඬු මහණකු දැකීමෙන් ඇති ඵලය කුමක්ද? යන්නයි. එහෙත් එම වචන
ඇසෙත් ම වඩාත් ම දැඩි ස්වභාවයෙන් ජෝතිපාලගේ ගෙලෙන් අල්ලා ඇඳිවතින් ඇද නොවරවදවා ම
තමා සමඟින් අද දවසේ බුදුරදුන් බැලීමට යා යුතු බැව් තර්ජනාත්මක ව ඔහුට පවසා සිටියේ
ය. වෙනදා මෙන් නොව ඝටීකාරගේ ස්වභාවයේ දැඩි බව හා අණකිරීමේ ස්වරූපයෙන් ඝටීකාරට අවනත
වූ ජෝතිපාල මිත්‍රයා, ඔහු සමඟ බුදුරදුන් බැලීමට යාමට එකඟව දෙදෙනා ම විහාරස්ථානය වෙත
පිය මැන්නෝ ය. සගයා බුදුරදුන්ට හඳුන්වාදී දෙදෙනා ම බුදුරදුන්ගෙන් බණ ඇසූහ. ඉන්
බලවත් චිත්ත සන්තුෂ්ටියට පත්ව විහාරයෙන් නික්ම එන ගමනේ දී ජෝතිපාල, තම මිත්‍රයා වූ
ඝටීකාර අමතා ඔබ මෙතරම් කලක් බුදුරදුන්ගෙන් බණ ඇසුවත් විහාරයේ නතරව මහණ නොවුණේ
මන්දැයි විමසා සිටියේ ය.
මිත්‍රය! මා මවුපියෝ මහලුය. අන්ධ අසරණ මවුපියන් මඟහැර මහණවීම යුතු නොවෙයි. ජෝතිපාල
මිතුරා ද එය අනුමත කරමින් තම අදහස මිතුරු ඝටීකාරට නොවලහා ප්‍රකාශ කළේ ය. එනම් තමන්ට
බුදුරදුන් ළඟ මහණ වීමට අවැසි බවයි. බුදුරදුන්ට අපහාස කරමින් උන්වහන්සේ බැහැදැකීම
පවා පිළිකෙව් කළ තම මිතුරාගේ සන්තානගත විපර්යාසය ඝටීකාරගේ නොමඳ චිත්ත ප්‍රීතියට
හේතු විය.
දින කිහිපයකින් ජෝතිපාල මහණ ව ඉසිපතනාරාම වන අරණේ නතර වූයේ ය. එකල රාජ්‍යය කළ රජු ද
මේ ආරංචිය අසා දැන බුදුරදුන් බැහැදැකීමට පැමිණියේ ය. පිළිසඳර කතා නිමවා පසුදින
දානයට මහ සඟරුවන සමඟින් රජගෙදරට වඩින්නැයි ආරාධනා කළේ ය. බුදුරදුන් ආරාධනාව ඉවසා,
පසුදින දානයට වැඩි සේක. රජතුමා හා රාජදේවිය මියුරු රාජභෝජනයන් බුදුරදුන් ප්‍රමුඛ සඟ
පිරිසට දන් පිළිගැන්වූහ. අනතුරුව රජ්ජුරුවෝ බුදුරදුන් වැඳ ඉදිරි වස් තුන් මාසයට තම
නුවර වස් වසන්නැයි අයැද සිටියහ. එහෙත් බුදුපියාණෝ එම ඉල්ලීම පිළිනොගත් සේක.
දෙවැනි, තෙවැනි අවස්ථාවන්හි දී ද රජතුමාගේ ඉල්ලීම බුදුරදුහු ප්‍රතික්ෂේප කළහ. තමන්
මෙපමණ ඕනෑකමින්, ඉතා උසස් ආකාරයෙන් දන්පැන් පිළිගන්වා බුදුරදුන් ප්‍රමුඛ භික්ෂු
සංඝයා වහන්සේට සංග්‍රහ කළ ද බුදුරදුහු තම ඉල්ලීම ඉවතලූයේ යැයි රජ්ජුරුවොත් සිත
කලකිරුණේ ය. රජු සන්තාපයට පත්වූහ.
බුදුපියාණෙනි, මට වඩා හොඳ තවත් දායකයෙක් ඔබ වහන්සේට ඇත්ද? මගේ ඉල්ලීම ඉවත ලීමට තරම්
මට වඩා හොඳ අයෙක් ඔබට සිටී දැයි රජු අසත්ම
මහරජ, ඔබට වඩා හොඳ දායකයෙක් මට සිටියි. බුදුරදුන් පවසා සිටියහ. ඉන් රජු මවිතයට හා
වික්ෂිප්ත බවට පත්විය. ඒ කවුදැයි විමසත් ම බුදුරදුන් දන්වා සිටියේ වේහලින්ගයේ දිවි
ගෙවන දුප්පත් වළං හදන, අහිංසක ව දිවිගෙවන ඝටීකාර කුඹල්කරුවා ඔබට වඩා හොඳ බවයි.
මහරජතුමනි, ඔබතුමන් මා වස් වැසීම ප්‍රතික්ෂේප කළවිට තරහ ගත්තේ ය. කෝප වූයේ ය. එහෙත්
කිසිවිට දිළිඳු ඝටීකාර එසේ නොවෙයි. ඊට හේතුව ඔහු තෙරුවන් සරණ ගිය උපාසකයකු වීමයි.
වස් ආරාධනය පිළිනොගත් බුදුරදුන් කෙරෙහි රජ සිත අමනාප වුවද ඝටීකාර කිසිවිටෙක තෙරුවන්
කෙරෙහි කලකිරුණේ නැත. එය බෞද්ධයාගේ කැපී පෙනෙන ප්‍රධාන ලක්ෂණයකි.
බෞද්ධකමේ අත්තිවාරම, පදනම කල්‍යාණ මිත්‍රත්වයයි. ඝටීකාර කෙරෙන් එය ඉතාම මනා ව
ප්‍රකට ව කැපී පෙනුණේ ය. කල්‍යාණ මිත්‍රත්වය බෞද්ධ දිවියේ පදනම, අත්තිවාරම වන අතරම,
එහි මුල්ම අංගය තෙරුවන් සරණ යාමයි.
මේ කරුණු දෙකෙන් ම ඝටීකාර පොහොසත් බැව් ගෙනහැර පෑ බුදුපියාණෝ , ප්‍රධාන දායකයා බවට
පත්කර ගැනීමේ දී උන්වහන්සේ ඝටීකාරගේ බාහිර ආර්ථික දිළිඳු බව ඉවත දැමූ බැව් මින්
මොනවට පැහැදිලි වෙයි.
පංචශීලය දිවිහිමියෙන් රැකීම බොදු දිවියේ දෙවැනි ලක්ෂණය යි. පන්සිල් කියන සමාජයක්
තුළින් බෞද්ධකම විනිවිද නොපෙනුණ ද, පන්සිල් රකින සමාජයක් තුළින් මානව වර්ගයාගේ
පමණක් නොව සමස්ත සත්ත්ව සංහතියේ ම දිවිපැවැත්ම සුරක්ෂණය කරයි.
සිල්පද පහෙන් බෞද්ධයා සන්නද්ධ වෙයි. දෑත් ඔසවා බුදුසමිඳු අබියස ලබන ප්‍රතිඥාව
බෞද්ධයා දිවි ඇති තෙක් ඛණ්ඩනය නොකරයි. පුද්ගල දිවිය ද, සමාජ සංස්ථාව ද රටක්
රාජ්‍යයක් ද, පන්සිල් නිසා රැකෙයි. බැබළෙයි. මානව සංහතිය පමණක් නොව එහි ශාන්තිය සකල
සත්වග උදෙසා ද විහිදෙයි.
බොහෝ දෑ රැස්කර ගෙන ජීවන බර කරට ගැනීම බෞද්ධයාගේ සිරිත නොවෙයි. ලද පමණින් හෙතෙම
දිවි ගෙවයි. කුසීත ව, කම්මැලි ව නොඉඳ දියුණුවට ක්‍රියාකර ,ලද ප්‍රමාණය සොම්නසින්
භාරගෙන සතුටින් දිවිපැවැත්වීම ලද පමණින් තුටින් දිවි ගෙවීමයි.
සරල දිවිපැවැත්ම, ගැහැට අඩු කොට, මානසික සන්තුෂ්ටියෙන් යුතුව ජීවිත කාලයම සුව සේ
කල් යැවීමට මං පෙත් විවර කරයි.
මෙනයින් බලන කල්හි කෙනකුª බෞද්ධයකු ලෙස සැලකීමට පැවතිය යුතු මිනුම්දඬු කවරේදැයි
අනාවරණය කර, මෙබඳු උතුම් ගුණ යමෙක් තම ජීවිත ප්‍රතිපදාවෙන් ප්‍රකට කරයි නම් හෙතෙම
සැබෑ ම බෞද්ධයෙක් බැව් ද, ඒ අනුව මුදලින්, බාහිර වස්තු සම්පත්වලින් කොතරම් දිළිඳු
වුව ද ඝටීකාර කුඹල්කරු උදාර බෞද්ධ ගුණාංගයන් මැනවින් විදහා දැක් වූ බෞද්ධයකු බැව් ද
බෞද්ධකමේ අංග ලක්ෂණ එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ තම නුවර වස්වසන්නැයි ආරාධනා කළ
රජතුමාට දේශනා කළ සේක. |