[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අහිතකර පෙළඹවීම් හඳුනාගන්නේ කෙසේද?

අහිතකර පෙළඹවීම් හඳුනාගන්නේ කෙසේද?

යම් යම් අපේක්‍ෂා මුල්කොට ගෙන බහුල වශයෙන් අප සියලු දෙනා පෙළඹවීමට ලක්වෙයි. එනම් යම් යම් දෑ කිරීමට නැඹුරු වේ. පුද්ගලයා ස්වභාවයෙන් ම සුඛ කාම - සැපයට කැමැති වීම

දුක්ඛ පටික්කූල - දුකට අකැමැතිවීම

ජීවතු කාම - දිගු කල් ජීවත් වීමේ කැමැත්ත

අමරිතුකාම - මරණයට අකැමැති වීම

ආදී අපේක්ෂා සහගත තත්ත්ව දත හැකි ය. මේ සියලු අපේක්ෂා ලෝභ, ද්වේශ, මෝහ ආදී මූලයන්ගේ පදනම මත ගොඩනැඟෙයි. ඒ නිසා ම කාම, දිට්ඨි වශයෙන් ඇතිවන බැඳීම මත සියල්ල තමාගේ ග්‍රහණයට ගෙන නොනැසී පවතින දෑ මෙන් සිතා තෘෂ්ණාවෙන්, මානයෙන් කටයුතු කරයි. එහි යථා ස්වභාවය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී පුද්ගලයා පිළිගැනීමට අකැමැති ස්වභාවයක් බැවින් සසර තුළ පීඩා විඳීමින්, මැරෙමින්, ඉපදෙමින් ගමන් කරයි. මෙවන් තත්ත්වයකට පුද්ගලයා පෙළඹවීමට ලක් කරන මනෝමූලික ක්‍රමවේද හතරක් සිඟාලෝවාද සූත්‍රයේ සතර අගති ලෙස පෙන්වා දෙයි.මේවා පුද්ගලයා අහිතකර ලෙස පොළඹවන පෙළඹවීම් ලෙස ද හඳුනාගත හැකි ය.එනම්,

ඡන්දය - මෙ මඟින් කැමැත්ත මූලික ව පුද්ගලයා යම් චර්යාවකට පෙළඹවීම සිදුකරයි. එය රාගී,ලෝභී තෘෂ්ණාධික දෙයක් වූ කල පුද්ගලයාට අහිතකර ලෙස බලපායි. බොහෝ වෙළෙඳ දැන්වීම්වල රූමත් ස්ත්‍රීන් යොදා ගනු ලබන්නේ පුද්ගල රුචිය වැඩි කිරීම මත තමා අපේක්ෂා කරන ව්‍යාපාර දියුණුව ඇතිකර ගැනීමට කටයුතු කරන නිසාවෙනි. නිදසුනක් ලෙස රූමත් ස්ත්‍රියක් සබන් ප්‍රචාරය කිරීමේ දී එවන් ලස්සනක් ඇති කර ගැනීමට හැකි යැයි පුද්ගලයා පොළඹවමින් අහිතකර දෑ ද විකුණනු ලබයි.

ද්වේශය - කිසිදු පුද්ගලයෙක් තමාට අවැඩක් වෙනවාට අකැමැති ය. තාමා කැමැති යමක් අහිමිවීම මතත් අකැමැති දෙය ළං වීම මතත් ද්වේශය හටගනී. ඒ තුළින් පුද්ගලයා පෙළඹවීමකට ලක්කරනුයේ අගතිගාමී චර්යාවකි.එය පුද්ගලයාට අහිතකර ය. නිදසුනක් ලෙස කැරපොත්තන්, මීයන් ආදී සතුන්ට අපි සියලු දෙනා අකැමැති වෙමු, කරදරයක් සේ දකිමු, බඩුමුට්ටු තියා ගැනීමට අපහසුතාවක් ඔවුන් නිසා පැනනඟියි. ඒ හේතුවෙන් ම විනාශ කිරීමට විෂ බෙහෙත් ආදිය භාවිත කරයි. ඒ සඳහා පෙළඹවීමට මූලික වනුයේ ද්වේශය යි.

භය - යමකට හෝ යමකුට බියෙන් කටයුතු කිරීම පුද්ගලයා ජීවිතය වැරැදි තීරණ ගැනීමට පෙළඹවීමක් සිදුකරයි. උදාහරණයක් ලෙස ආයතන ප්‍රධානියාට ඇති භය හේතුවෙන් අනාචාරී කටයුතුවලට පෙළඹවීම වත්මන දතහැකි සාමාන්‍ය සිදුවීමකි.

මෝහය - මෝඩකමින් අගතියට යාම එනම් පුද්ගලයා අවබෝධය නොමැති කමෙන් රැවටීම මූලිකව පෙළඹවීම තුළ මුළාවට පත් වේ. මේ ආකාරයට අවබෝධය නොමැතිකම තෘෂ්ණාව මූලික වන පෙළඹවීම මත පුද්ගලයා ගනු ලබන තීරණ වැරැදි චර්යා නිරූපණය කිරීමට හේතු වේ. නිදසුනක් ලෙස රට යවනවා කියා මුදල් ගැනීම, දීම දිවිත්වයට ම මෝහය පෙළඹවීම් කාරකය වේ. ඒවා පුද්ගල ජීවිතයට අහිතකර ලෙස බලපෑම් කරයි.

සිඟාලෝවාද සූත්‍රාගත ව පුද්ගලයා අගතියට යන පෙළඹවීම් ලෙස උක්ත කාරණා හතර පෙන්වා දෙනුයේ එහෙයිනි. නිවැරැදි අවබෝධයෙන් දැන අටලෝ දහමට අනුකූලව ක්‍රියා කිරීමෙන් අලෝභ, අදෝස, අමෝහ මූලික ව ක්‍රියා කිරීමෙන් අහිතකර පෙළඹවීමෙන් වන බලපෑමෙන් මිදීමට හැකි ය.

නවම් අමාවක

 පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා පූ.භා 08.54 අමාවක ලබා 28 සිකුරාදා පූ.භා. 06.16 න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]