නවම් අමාවක පෝ
දා 2025-02-27
උසස් ජීවිතයකට
විපාකය කෙතරම් බරපතළ වුව ද, දුක් සහිත වුව
ද, වේදනා සහගත වුව ද සමහරු පවෙහි ඇලෙති. පාපය ම මිහිරි කොට
සිතති. ඇතැම් කෙනෙක් පව් කොට තාවකාලික ලාභයක් ලබති. එය ම උසස්
යැයි සිතා පවෙහි ම ගිලෙති. අඳුරෙන් අඳුරට ම යති.
ජලය රත් වන තුරු සැළියෙහි දිය කෙලින
කකුළුවාට සේ පාපකාරී පුද්ගලයාට කිසිදු විපතක් නොපෙනේ. එහෙත්
දිය රත් වන්නට, රත් වන්නට දැවි දැවී පිච්චී යන කකුළුවාට සේ පව්
කරන්නාට ද විපාක එළඹෙන කල දැවී දැවී විඳවන්නට සිදුවේ.
බුදුරජාණන් වහන්සේ ගිහියාට දේශනා කොට වදාළ
පංච ශීල ප්‍රතිපදාව උසස්, පින්වන්ත ජීවිතයක අත්තිවාරමයි. කුඩා
නිවෙසක් පමණක් නොව මහල් ගණනකින් සුසැදි ගොඩනැඟිල්ලක වුව
ශක්තිමත් බව, කල් පැවැත්ම රඳා පවතින්නේ පාදම මත ය. පාදම කඩතොළු
වූයේ නම් එහි ඉදිවන ගොඩනැඟිල්ල මොනතරම් අලංකාර වුව ද එහි
වටිනාකම අල්ප ය. කොයිවෙලේ කඩා වැටී බිඳි විසිරී යා දැයි කිව
නොහැකි ය. ඇතැම් විට ඒ කඩා වැටීම අන්‍යයන්ට ද විනාශය ගෙන එන්නට
පුළුවන.
ජීවිතය ද එවැනි ය. පුද්ගලයා ශක්තිමත් කරන,
වටිනාකම් හිමි කර දෙන අත්තිවාරම ශීලය යි. සිල් බිඳුණු කල
ජීවිතය මොන වෙලේ කඩා වැටේ දැයි කිව නොහැකි ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ “ධම්මො
හවේ රක්ඛති ධම්මචාරි’
ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා ධර්මය විසින්
ආරක්ෂා කරන බව ය. ධාර්මික පුද්ගලයා පන්සිල් කඩ නොකරයි. ඔහු කවර
හේතුවක් නිසා හෝ පර පණ නොනසයි. සොරකම් නොකරයි. කාමය වරදවා
නොහැසිරෙයි. බොරු නොකියයි. සුරාවෙහි නොඇලෙයි. එවැනි පුද්ගලයා
තමන්ට සිදු කර ගන්නේ අර්ථයකි. ඔහු නිසා කිසිවකුට ජීවිත බිය
නොදැනේ. තම දේපළ ගැන බිය නොදැනේ. විශ්වාසය තහවුරු වේ. රැවටීමට
හසු නොවේ.
තවත් කෙනකුගේ මදය නිසා, ප්‍රමාදය නිසා
අපහසුතාවට පත් නොවේ. බෞද්ධයන් ලෙස සෑම දෙනා උත්සාහ කළ යුතු එසේ
තමන්ටත් අනර්ථයක් නොවී, අනුන්ටත් අනර්ථයක් නොවී තම පැවතුම්
හසුරුවා ගන්නට ය. ඒ උත්සාහය ම ය, ඔහුට ජීවත් වීම සඳහා රැකවරණය
ලබා දෙනුයේ.
මහා මංගල සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ
පුද්ගලයකුගේ ජීවිතයේ මංගල කරුණූු විස්තර කරමින් කළ දේශනාවට
අනුව
‘ආරති විරති පාපා
මජ්ජපානාච සඤ්ඤමො
අප්පමාදෝ ච ධම්මේසු
ඒතං මංගල මුත්තමං’
පවෙහි නො ඇලීම ද, හැම පවින් වැලකීම ද,
මත්පැනින් දුරු වීම ද, දහම තුළ නො පමාව ද යන මේවා උතුම් මඟුල්
කරුණු ය.
ජීවිතය අනාරක්ෂිත වන අවස්ථා බොහෝ ය. මෙලොව
සේ ම පරලොවට ද එය සමාන ය. සියලු පවින් වැළකී ධර්මය තුළ
අප්‍රමාද විය යුතු එහෙයිනි. සැබෑ බෞද්ධයා නම් සියලු පවින් වෙන්
වූ, ධර්මයෙහි අප්‍රමාදී වූ පුද්ගල යා ය. |