ලෝකයේ පැවැත්ම හා ලෝක විනාශය පිළිබඳ
බෞද්ධ විග්‍රහය
තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා අනුව විමසන කල්හි පැහැදිලි වන්නේ අසවල් කාලය
තුළ ලෝක විනාශය සිදුවෙනවා යැයි අනාවැකි පළ කිරීම සත්‍යයට ළඟා නොවන මිථ්‍යාවක් බවයි
ඇතැම් විට ලෝක විනාශය පිළිබඳව අප කුතුහලයෙන් කතාබහ කරන අවස්ථා නැතිවා නොවේ. නමුත්
ඇතිවීම, පැවතීම, නැතිවීම ලෝක ධර්මතාවයක්.
එනිසා බුදුදහම පිළිබඳ අවබෝධයක් ඇති කෙනකුට මේ කරුණ කෙරෙහි උපේක්ෂාසහගත විය හැකියි.
කෙසේ වුවත් තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා අනුව විමසන කල්හි පැහැදිලි වන්නේ
අසවල් කාලය තුළ ලෝක විනාශය සිදුවෙනවා යැයි අනාවැකි පළ කිරීම සත්‍යයට ළඟා නොවන මහ
මිථ්‍යාවක් බවයි. ඒ පිළිබඳ අපට කිසිදු විවාදයක් ද නැත. නො සිතිය යුතු නොමැතිනම්
සිතා සීමාවකට
එළඹිය නොහැකි කරුණු හතරේ සතරවන කරුණද ලෝක විෂයයි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ
ඇතුළත් අචින්තෙය්‍ය සූත්‍රයෙන් ඒ බව පැහැදිලි වෙනවා. එනම්,
“ලොක චින්තා භික්ඛවේ......
අචින්තෙය්‍යා න චින්තෙතබ්බා යං
චින්තෙන් තෝ උම්මාදස්ස
විගාතස්ස භාගී අස්නි
ලෝක විෂය පිළිබඳ සිතීමත් උමතු බවට දුකට හේතුවෙනවා. එනිසා ලෝකය පිළිබඳව දිගින් දිගටම
නොසිතිය යුතුයි. මෙය අදහස් කරන්නේ ලෝකය පිළිබඳව පර්යේෂණ කරන්නට එපා කියන එක නොවෙයි.
ඒ පිළිබඳව යමෙක් පර්යේෂණ කළත් සීමාවක් නොවන බවයි. ඇත්ත වශයෙන්ම ලෝකයේ ආරම්භය,
පැවැත්ම, විනාශය මේ ආදී කරුණු සිතන්න, සිතන්න පීඩාවක් වෙන්න පුළුවන්. දුකට හේතුවන්න
පුළුවන්.
වරක් බුදුරජාණන් වහන්සේ වදාළේ” නාහං භික්ඛවේ ගමනෙන ලෝකස්ස අන්තං ඤාතෙය්‍යං
දට්ඨෙය්‍යං පත්තෙය්‍යන්ති වදාමි” මහණෙනි ගමනින් ලොව කෙළවර දත හැකි යැයිද දැක්ක
හැකියයි ද පැමිණිය හැකි යයිද මම නොකියමි. සංයුක්ත නිකායේ දේශනා අනුව පැහැදිලි වන්නේ
ලෝකයේ සීමාවක් නැති බවයි. ඇත්ත වශයෙන්ම එහි සඳහන් වන්නේ භෞතික ලෝකය ගැනයි. එම
සූත්‍රයේම “න චපනාහං භික්ඛවේ අප්පතථා ලෝකස්ස අන්තං දුක්ඛස්ස අන්තකීර්යං වදාමි” ලොව
කෙළවරට නොපැමිණ දුකේ කෙළවර කිරීමක් ද සිදුවන්නේ නැති බව දේශනා කර තිබෙනවා. මෙයින්
අදහස් කරන්නේ පංචස්කන්ධය නමැති ලෝකයටයි තමා කවුදැයි යනුවෙන් යථාර්ථවාදීව
ධර්මානුකූලව අවබෝධ කරගැනීම ලෝකයේ කෙළවර අවබෝධ කර ගැනීමයි. ඒ කියන්නේ රහත්වීමයි.
එකී කරුණ සංයුක්ත නිකායේ රෝහිතස්ස සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. එනම්,
“න ඛො පනාහං ආවුසො අප්පත්වා
ලෝකස්ස අන්තං
දුක්ඛස්ස අන්තකිරියං වදාමි. අපි
වාහං ආවුසො
ඉමස්මිඤ්ඤො ව
ඛ්‍යාමමත්තේ කලේබරෙ
සසඤ්ඤිම්හි සමන තෙ ලොකඤ්ච
පඤ්ඤත්මේ. ලෝක සමුදයඤ්ච
ලොකනිරොධඤ්ච ලොක
නිරොධගාමිනීඤ්ච පථිපදන්ති”
බුදු දහම අනුව ලෝකයේ නැතහොත් විශ්වයේ මුලක් හෝ අගක් නැහැ. කොහොම වුවත් මේ කෙළවරක්
නැති ස්වභාවය “අනවරාග්‍ර’ නමින්ද හඳුන්වනවා. එම අනවරාග්‍ර ලෝකය නැතහොත් විශ්වය
කළින් කළ ඇතිවී විනාශ වෙනවා. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන්ව ඇත.
හොති ඛො සො
වාසෙට්ෙඨි සමයො යං කදාචි
තරහචි දීඝස්ස අද්ධුනො
අච්චයෙන අයං ලොකො
සංවට්ටති. සංවට්ටමා නි ලොකෙ
යෙභූය්‍යෙන සත්තා ආභස්සර
සංමත්තනිකා හොන්ති”
වාසෙට්ඨයනි, දීර්ඝ කාලයක් ගතවීමෙන් කිසියම් කාලයක මේ ලොව වැනසෙන කාලයක් ඇතිවෙනවා.
එසේ ලොව වැනසෙන කාලයේ බොහෝ සත්ත්වයා ආභස්සර බඹලොව උපදිනවා. යනුවෙන් සඳහන් වෙනවා.
මෙසේ ලෝක විනාශ වන කාලය දහමේ සඳහන් කරන්නේ
“සංවිට්ට කල්පය’ ලෙසයි. නැවතත් ක්‍රමයෙන් වැඩෙන කාලය විටිටම කල්පය වශයෙන්
හඳුන්වනවා. කල්පය කියන වචනයේ අදහස් කිහිපයක් තිබෙනවා. එහි කල්පය කියන්නේ ඇති දීර්ඝ
කාලයක්. කාලය මනින ඒකකයක්.
එය තේරුම් ගැනීමට බුදුරජාණන් වහන්සේ වදාළ උපමා දෙකක් සංයුක්ත නිකායේ සඳහන් වෙනවා.
එක සූත්‍රයක් පබ්බාදම සූත්‍රය. පර්වත උපමාවෙන් දැක්වෙන්නේ දිගින් පළලින් හා උසින්
යොදුන බැගින් වූ සිදුර ආදී කිසිවක් නොමැති පර්වතයකින් අවුරුදු සියයකට වරක් බැගින්
යම් පුරුෂයෙක් කසී සත්ථ කොණ ගෑවීමෙන් යම් කාලයකදී එම පර්වතය (ගල) ගෙවී අවසන් වේද
එපමණ කාලයකින් කල්පය අවසන් වේ.
සාසසෝපමාව නැතහොත් අබ ඇටයක උපමාව හා දැක්වෙන්නේ දිගින්, පළලින් හා උසින් යොදුන
බැගින්වූ අයෝමය කොටුවක් හදා එහි අබ ඇට පුරවනවා. අවුරුදු සියයකට වරක් යම් පුරුෂයෙක්
එක අබ ඇටය බැගින් ඉවත් කරනවා. එසේ ඉවර කිරීමෙන් එම අබ ඇටය පිරවූ කොටුව හිස්වේද එම
හිස්වන කාලය කල්පයයි. යොදුනට සැතපුම් 16කි. දැන් කල්පය කියන්නේ කොපමණ දීර්ඝ කාලයක්ද
කියා අප අවබෝධ කරගත යුතුයි. එවැනි දීර්ඝ කාලයකින් තමයි මේ විශ්වය විනාශවෙන්නේ.
මේ විශ්වය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර විශාල සංඛ්‍යාවක් ත්‍රිපිටකයේ
තියෙනවා. එයින් අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වග්ගයේ දසම සූත්‍රයේ චක්‍රවාටයක්
හෙවත් සක්වළක් කියන්නේ කුමක්දැයි පැහැදිලි කරනවා.
“යාවතා ආනන්ද චන්දිමසූරියා
පරිහරිනති දියා භන්ති විරොචනාතාච
සහස්සධා ලොකො” ආදී වශයෙන්
එම දසම සූත්‍රයේ සඳහන් වෙනවා. එහි කියවෙන්නේ සඳහිරු දෙදෙනා ආලෝකය පතුරුවන තරම් වූ
තැන එක් සක්වළකි. එබඳු දහසක් සහස්සධා ලෝකයයි. මෙවැනි දස දහසක් සක්වළ තියෙනවා. ඉතින්
මෙය විශ්වයයි. මේ විශ්වය දීර්ඝ කාලයක් ඇවෑමෙන් විනාශ වෙනවා. ඒ විනාශ වෙන්නේ අද හෙට
නොවෙයි. එය පාලියේ සඳන් කරන්නේ “තදාවි තරහචි දීඝස්ස අද්ධුනො වශයෙන්. ඉතින් කල්ප
ගණනාවක් ඇවෑමෙන් හිරු හතක් ක්‍රමයෙන් පායන බව අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ
සත්තසුරියුග්ගමන සූත්‍රයේ සඳහන් වෙනවා. එහි ලෝක විනාශය සිදුවන ආකාරය සඳහන් වෙනවා.
ලෝකයේ පැවැත්ම ඇතිවූයේ කෙසේද ඒ වගේම එහි විනාශය සිදුවන්නේ කෙසේද කියා බුද්ධ දේශනාවේ
සඳහන් වෙනවා. ලෝකය සෑම මොහොතකම වෙනස්වෙමින් පැවතීම සිද්ධාන්තයක්. මේ මොහොතේ ජීවත්වන
අපි ක්ෂණයකින් මියයන්න පුළුවන්. මියගිය අප තවත් ස්ථානයක උප්පත්තිය ලබනවා. තත්පරයෙන්
අඩු කාල සීමාවකදීත් අපේ ලෝකය වෙනස් වෙමින් පවතිනවා. මෙම ධර්මතාවය විශ්වයටත් අදාළයි.
මෙසේ මොහොතින් මොහොත වෙනස්වන විශ්වය කවදාක හෝ මුළුමනින්ම වෙනස් වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවයයි. අපි ජීවිතය දිහා බැලිය
යුත්තේ අපන්තක ප්‍රතිපදාවෙන්.
මේ ලෝකය මොහොතින් මොහොත වෙනස්වෙනවා. විනාශ වෙනවා. එය අවබෝධ කරගත හැකිනම් අපට
සතුටින් ජීවත්විය හැකියි.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
- හේමමාලා රන්දුනු |