[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සුමනා සූත්‍රය: දන් දීමේ හා නො දීමේ වෙනස

සුමනා සූත්‍රය:

දන් දීමේ හා නොදීමේ වෙනස

අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ කාලයේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. දිනක් සුමනා නම් රාජ කුමාරිකාව ජේතවනාරාමයට ගියේ භාග්‍යවතුන් වහන්සේ හමුවීමට යි.

බුදුරජාණන් වහන්සේ බැහැ දැක තමන් අත්දුටු දෙයක් මෙසේ කියා සිටියා.

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අද අපගේ මාලිගාවේ හරි පුදුම දෙයක් වුණා. මම ආවේ මෙවැනි දේ මේ ලෝකයේ වෙනවා ද කියලා දැන ගන්නයි.

“පින්වත් කුමාරිකාව කුමක් ගැන ද ඔබ මෙසේ අහන්නේ.”

“භාග්‍යවතුන් වහන්ස, මාගේ රාජ කුමාරයා ඉපදුන දිනයේ ම අප මාලිගයේ දාසියක් පුතකු බිහිකළා. එකම දින ම මේ දරු දෙදෙනා ඉපදුණු නිසා ඒ දරු දෙදෙනා එකට හැදී වැඩෙනවා. එකම ස්ථානයේ නිදා ගන්නවා. රාජ කුමරා විශේෂිත වූ ඇඳක් මතත්, දාසියට උපන් දරුවා ඒ ඇඳ අසලම බිම එළන ලද පැදුරකත් නිදි කෙරෙව්වා.

“ස්වාමීනි එක්තරා අවස්ථාවක මම දුටුවා හරි පුදුම දෙයක්. ඒ අපගේ රාජ කුමරුහිස හරවා බිම සිටින දරුවාට යමක් කියනවා. මම විමසීමෙන් එයට කන් දුන්නා.

“මම හැමදාම කිව්වා නේද ඔබට දන් දෙන්න. දන් දෙන්න කියලා. දැන් පේනවා නේද දානයේ ආනිශංස.”

“ස්වාමීනි, මම පුදුමයට පත් වුණා. මේ කාරණය වෙනත් කෙනකුට කිව්වොත් පිළිගන්නේ නැති නිසයි මම ඔබ වහන්සේ වෙත පැමිණ මෙය පැවසුවේ. එවිට භාග්‍යවතුන් වහන්සේ සුමනා කුමරියට මේ දරු දෙදෙනාගේ අතීත කථාව වදාළා.

“පින්වත් රාජ කුමාරිය, මේ දරු දෙදෙනා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී සිටින කාලයේ මනුස්ස ලෝකයේ ඉපදුණා. දෙදෙනා හොඳම යහළුවන්. දිනක් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අහලා බුද්ධ ශාසනයේ පැවිදි වුණා. එකම ස්ථානයේ වැඩ වාසය කළේ. දෙදෙනා ම සම ශ්‍රද්ධා, සම ශීල හා සම ප්‍රඥාවෙන් යුතු වුණා. නමුත් මේ දෙදෙනා තුළ සම ත්‍යාග පිහිටා තිබුණේ නැහැ.

මේ එක් භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතයට වැඩලා ලැබෙන දානය රැගෙන නැවත ආරාමයට වඩිනවා. ඒ පිණ්ඩපාත දානය අනෙක් භික්ෂූන් වහන්සේ සමඟ බෙදා හදාගෙනයි වළඳන්නේ. දානය නො ලැබෙන භික්ෂූන් වහන්සේටත්, ගිලන් භික්ෂූන් වහන්සේටත් ආගන්තුක ව වඩින භික්ෂූන් වහන්සේටත්, වැඩිමහලු භික්ෂූන් වහන්සේටත් දානය පූජා කරනවා. එය විශේෂිත වූ දානයක් ලෙස පූජා කරලා උන්වහන්සේ ඒ පින අනුමෝදන් වෙනවා.

අපගේ ශාස්තෘන් වහන්සේත් භික්ෂූන් වහන්සේට දන් දී, පින් රැස් කර ගත හැකි දානයක් ලෙස වදාළේ මේ ක්‍රමය යි. භික්ෂූන් වහන්සේත් දන් දිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ එය භික්ෂූන් වහන්සේගේ එක්තරා වතක් ලෙස දේශනා කොට තිබෙනවා.

අර භික්ෂූන් වහන්සේ මෙසේ ලැබෙන දානය බෙදාහදා ගෙන වැළඳුවත්, අනෙක් යහලු භික්ෂුව තමාට ලැබෙන දානය තනියම වළඳනවා. තනියම වළඳන දානය “භත්තග්ග වත” කියා හඳුන්වනවා. තමාගේ යහළු ස්වාමීන් වහන්සේ මෙසේ තනියම දාන වළඳන විට අනෙක් ස්වාමීන් වහන්සේ කියනවා,

ස්වාමීනී ලැබෙන දෙයක් තනිව ම වළඳන්න එපා. දන් දීම උතුම් දෙයක්. ලැබෙන දේ දන් දෙන්න. දන්දීම දෙලොව යහපත පිණිස ම පවතිනවා.

කෙසේ කිව්වත් අර ස්වාමීන් වහන්සේ දන් දීමට එතරම් වුවමනාවක් දැක්වූයේ නැහැ. උන්වහන්සේ නිතර ම අනිත්‍ය සිහි කළා. සියලු දේ නැසී වැනසී යන බව සිහි කරමින් භාවනා කළා.

කාලයාගේ ඇවෑමෙන් මේ දෙනම වහන්සේ ම වියපත් ව අපවත් වුණා. දෙවියන් අතර ඉපදුණා. කාලයකට පසුව මිනිස් ලොව උපන්නා. දන් දුන් භික්ෂුව රාජ බිසවගේ කුසේත්, දන් නො දුන් භික්ෂුව දාසියගේ කුසෙත් පිළිසිඳ ගත්තා.

භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව උපයෝගි කර ගෙන සුමනා දේවියට ධර්මය දේශනා කළා.

භික්ෂූන් වහන්සේ නමක් දන් දෙනවා නම් ඒ දන් දෙන භික්ෂුව දන් නො දෙන භික්ෂුවට වඩා කරුණු අටකින් ඉදිරියෙන් සිටිනවා. ඒ, චීවර, පිණ්ඩපාත, සේනාසන, බෙහෙත් වගේම භික්ෂූන් වහන්සේ පිරිසක් අතරට ගියොත් හොඳ පිළිගැනීමක්, පි‍්‍රය මනාප බව, වචනය ගරු කිරීම, විවිධ විශේෂ ගරු සත්කාර ආදිය ලබන බව.

ඒ වගේම කුමරිය, ගිහියාටත් දන් දීමේ අනුසස් පහක් ලැබෙනවා. දන් දෙන කෙනා දන් නො දෙන කෙනා අභිබවා ඉදිරියෙන් ඉන්නවා. ඒ ආයුෂය, වර්ණය, සැපය, බලය (ආදිපත්‍යය) යසස.

ඒ වගේම දෙවියන් අතරත් මේ වෙනස තිබෙනවා. දන් දී දෙව් ලොව ගිය පිරිස් දන් නොදී දෙව් ලොව ගිය පිරිස අභිබවා කාරණා පහකින් ඉදිරියෙන් සිටිනවා. ඒ ආයුෂ වර්ණ, සැප, බල, යසස කියන කරුණුවලින්. එවිට සුමනා කුමරිය අසනවා,

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මෙසේ දන් දෙන, නො දෙන අය හමුවන තැන්වල දී අපට වෙනස්කම් දකින්නට පුළුවන්. නමුත් ස්වාමීනී, දන් දුන්, නො දුන් දෙදෙනා ම කෙදිනක හෝ උතුම් නිවන සාක්ෂාත් කළොත්, ඒ උතුම් රහතන් වහන්සේට ඒ කරුණ බලපාන්නේ කොහොම ද?

“පින්වත් කුමාරිය, දන් දුන් කෙනෙක් දන් නො දුන් කෙනෙක් කෙ දිනක හෝ යම් නිවනක් ලබනවා නම් ඒ දෙදෙනා ම යන්නේ එකම නිවනට වුවත් නිවන් මඟට එනතුරු ම දන් දුන් කෙනා දන් නො දුන් කෙනාට වඩා බොහෝ පහසුවෙන්, සුඛ ප්‍රතිපදාවෙන් යුතු ව නිවන කරා යනවා. නමුත් නිවන අවබෝධ කළ පසු ඒ දෙදෙනා අතර වෙනසක් බුදු ඇසින් මම දකින්නේ නැහැ" කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

එසේ නම් දානය මහත්ඵල මහානිශංසය ලැබෙන උත්තම දෙයක් බව අපට මෙයින් පැහැදිලි වෙනවා.

නවම් අමාවක

 පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා පූ.භා 08.54 අමාවක ලබා 28 සිකුරාදා පූ.භා. 06.16 න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]