[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දස බල බුදු නැණ විහිදූ බුදු හිමි නමදින්නේ

දස බල බුදු නැණ විහිදූ බුදු හිමි නමදින්නේ

ඒ ගුණ කඳ ප්‍රමාණ කරන්නට අපිට බැරි වුණත් සම්බුදු රජාණන් වහන්සේ තුළ පවතින ඒ කාන්තිමත් ගුණ ගැන චිත්තප්‍රසාදය ඇති කර ගත්තොත් ඒ කාන්තිය නිසා අපි හැම දෙනාගේ ම නිවන් මඟ ආලෝකවත් වෙනවා. ඒ කාන්තිමත් ගුණ කඳක් ඇති බුදුරජාණන් වහන්සේ අද පවා ශ්‍රී සද්ධර්මය තුළින් ජීවමාන ව දැක ගන්න පුළුවන්

“ගුණ දහම්”, මාණික්‍ය වගෙයි. ගුණදහම් නමැති මාණික්‍යවලින් ම පමණක් සකස් වුණ ජීවිතයක් යම් කෙනකුට තිබෙනවා නම් ඒ ජීවිතේ මොන තරම් ආශ්චර්යවත් ද? කවුරුහරි කෙනෙක් මේ විදියට ඇහුවොත්,

“හැම ගුණ ධර්මයක් ම එකට පිඬු වුණ, ගුණ දහම්වලින් ම විතරක් නිර්මාණය වුණ ජීවිතයක් මේ ලෝකයේ තිබුණ ද? කියල, ඒ ගුණධර්ම ප්‍රතිමූර්තියකට නඟන්න පුළුවන් ද?” කියල ඒ ප්‍රශ්නයට එකම එක පිළිතුරක් තිබෙනවා.

මොකක් ද ඒ පිළිතුර? ඇත්තෙන් ම හැම ගුණ ධර්මයක් ම එක ම එක ප්‍රතිමූර්තියකට නඟන්න පුළුවන්. ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ තමයි ගුණ දහම්වලින් පමණක් ම නිර්මාණය වුණ ජීවිතයක් දරාගෙන මේ ලෝකයේ වැඩසිටි උත්තමයාණන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතය ගුණ දහම් කියන මාණික්‍යවලින් ම විතරක් මුළුමනින් ම පිරුණු ආකරයක් වගෙයි. අන්න ඒ නිසා තමයි බුදු සමිඳුන්ට ‘රතනාකර’ කියා කියන්නේ.

මිණිකැට වන් ඒ මුනිගුණ අසිරිය...

යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තිබෙන ගුණ මෙච්චරයි කියල ප්‍රමාණ කරන්න හිතාගෙන, ඒ ගුණ මැණික් ආකරය කණින්න පටන් ගත්තොත්, කල්ප ගණනාවක් තිස්සේ ඒ දේ සිදුකළත් කවදාවත් නිමාවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? බුදු ගුණ අනන්ත යි. අප්‍රමාණ යි.

ඒ ගුණ කඳ ප්‍රමාණ කරන්නට අපිට බැරි වුණත් සම්බුදු රජාණන් වහන්සේ තුළ පවතින ඒ කාන්තිමත් ගුණ ගැන චිත්තප්‍රසාදය ඇති කර ගත්තොත් ඒ කාන්තිය නිසා අපි හැම දෙනාගේ ම නිවන් මඟ ආලෝකවත් වෙනවා. ඒ කාන්තිමත් ගුණ කඳක් ඇති බුදුරජාණන් වහන්සේ අද පවා ශ්‍රී සද්ධර්මය තුළින් ජීවමාන ව දැක ගන්න පුළුවන්. ඒ ශ්‍රී සද්ධර්මය තුළ තවමත් ඒ කාන්තිය පවතිනවා.

ඒ කාන්තියේ පහස තමන් තුළට ළඟා කර ගනිමින් සම්පූර්ණයෙන් ම මතකයේ දරා ගත්තේ ආනන්ද ස්වාමීන් වහන්සේ යි. හිරු මඬලේ ආලෝකය පරාවර්තනය කර, අඳුර ආලෝකවත් කරන උන්වහන්සේ පුරා සඳමඬලක් වගෙයි. සැබැවින් ම උන්වහන්සේ තුළ කොයිතරම් නම් ශාස්තෘ ගෞරවයක් තියෙන්නට ඇද්ද? භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ ඉතා ම වටිනා වර්ෂ විසි පහක් උන්වහන්සේ සමඟින් උන්වහන්සේට උපස්ථාන කරමින්, ශ්‍රී සද්ධර්මය ගබඩා කර ගනිමින් වැඩ සිටි ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ බුදුරදුන්ගේ නිර්මල ජීවිතයේ සදහම් පහස හොඳින් අත්විඳි අයෙක් බව අපි දන්නවා. මේ මහා භද්‍ර කල්පයේ සිව්වැනි වරට පහළ වූ, වෙසක් පුර පසළොස්වක සඳ මඬල මෝරා ආ දිනයක සම්මා සම්බුද්ධත්වයට පත්වූ ගෞතම බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අන්න ඒ ශ්‍රී සද්ධර්මය යි. ඒ මීට වර්ෂ දෙදහස් පන්සිය පනස් දෙකකට පමණ ඉහත දී උදා වූ ස්වර්ණමය වර්ෂ හතළිස් පහක් තුළ දී යි.

එදා ගයාවේ වජිරාසන භූමිය තුළ දී, ඇසතු බෝරුක් සෙවණ අසබඩ මස්තකප්‍රාප්ත වුණ සම්බුදු කිරුළ මුළු මහත් විශ්වයට ම මහා හිරු මඬලක් වුණා. ඒ සම්බුදු හිරු මඬල, චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ රහිත ව අවබෝධ කර ගෙන නිර්වාණ ශාන්තිය නම් වූ හිරු කිරණින් ලෝකය ම නිවා සනසවද්දී තව තවත් මතුවුණේ උන්වහන්සේගේ ම බුදු ගුණ යි. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ පුරා හතළිස් පස් වසක් තුළ දී උන්වහන්සේ තුළින් විද්‍යමාන වූ අනන්ත බුදු ගුණස්කන්ධයේ ඒක පිණ්ඩිත වූ මහා පහන් කණු දහයක් බඳු වූ තථාගත බල දහයක ආලෝකයෙන් තමයි සුන්දර වෙසක් පෝ දා අපේ ජීවිතයේ අඳුරු තැන් මකා දමා ආලෝකවත් වුණේ. ඒ දස තථාගත බලයන් මෙතැන් සිට එකිනෙක අනුපිළිවෙලින් ඔබ ඉදිරියේ දිග හැරෙනවා. ඒ සෑම වදනක් තුළ ම කැටිවෙලා තිබෙන්නේ ඒ අපරිමිත වූ බුදු ගුණම යි. එමනිසා උන්වහන්සේ තුළ පැවති මෙම තථාගත බලයන් දකිමින් බුදුගුණ තුළ ම තම සිත රඳවා මෙතෙක් පහළ වූ ආශ්චර්යවත් මනුෂ්‍යරත්නය වන ගෞතම බුදුරජාණන් වහන්සේ කියන්නේ කොයි ආකාරයේ ශාස්තෘන් වහන්සේ නමක් දැයි සිහිපත් කරමින් තම තමන්ගේ සිත් තුළ ශ්‍රද්ධාව ඇති කර ගැනීමට උත්සාහ කරන්න.

සම්බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා, භාග්‍යවතුන් වහන්සේ යමක් දේශනා කළා ද ඒ සියල්ල ඒ අයුරින් ම සිදු වූවා. එය සත්‍යයක්. එසේ සිදුවිය හැකි දේ සිදුවිය හැකි දේ වශයෙනුත් සිදු විය නො හැකි දේ සිදු විය නො හැකි දේ වශයෙනුත්, තථාගතයන් වහන්සේ තුළ තිබුණේ පරිපූර්ණ අවබෝධයක් ම යි.

“පින්වත් මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක් ද, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානා සේක් ද ඒ අතර කාලය තුළ දී තථාගතයන් වහන්සේ යමක් පවසන්නාහු ද, ප්‍රකාශ කරන්නාහු ද, නිර්දේශ කරන්නාහු ද ඒ සියලු දේ ම ඒ අයුරින් ම වන්නේ ය. අන් අයුරකින් නො වන්නේ ම ය. එම නිසා තථාගත යැයි කියනු ලබන්නේ ය.”

(ලෝකාවබෝධ සූත්‍රය - ඛුද්දක නිකාය, ඉතිවුත්තක පාළි)

සිදුවන සහ නොවන දේ පිළිබඳ වූ තථාගත අවබෝධය...

මේ අයුරින් තථාගතයන් වහන්සේ තුළ අවබෝධයක් පැවති නිසා බොහෝ ශාස්තෘවරුන් ගේ ධර්මයන් මෙන් නොව උන්වහන්සේගේ ධර්මය මුල, මැද, අග පිරිසුදු අකාලික වූ ධර්මයක් බවට පත්වුණා. නමුත් සැබැවින් ම භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ශ්‍රී සද්ධර්මය මනාකොට මුල, මැද, අග පිරිසුදු වන අයුරින්, පරිපූර්ණ නිවන් මඟ හෙළි වන අයුරින් දේශනා කළ, මේ ජීවිතයේ දී ම මඟ ඵල ලැබිය හැකි, කාලයෙන් කාලයට වෙනස් නොවන, ඕනෑම කෙනකුට පැමිණ නුවණින් විමසා බැලිය හැකි, තමා තුළින් ම ගළපා බැලිය යුතු සහ නුවණැතියන් විසින් තම තම නැණ පමණින් අවබෝධ කිරීමට හැකි අයුරින් දේශනා කළ ධර්මයක්. මේ නිසා ඒ ශ්‍රී සද්ධර්මය තුළින් භාග්‍යවතුන් වහන්සේගේ මෙම සිදුවිය හැකි සහ සිදුවිය නොහැකි දේ පිළිබඳ තිබූ අවබෝධය ඒසිකා ස්ථම්භයක් මෙන් මතු වී පෙනෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ මේ හැකියාව උන්වහන්සේ සතු ව තිබූ පළමු වන තථාගත බලය යි.

“පින්වත් සාරිපුත්ත, මෙහි තථාගතයන් වහන්සේ සිදුවෙන්නට පුළුවන් දේ සිදුවෙන්ට පුළුවන් දේ හැටියටත්, සිදු වෙන්ට බැරි දේ සිදු වෙන්ට බැරි දේ හැටියටත් ඒ ආකාරයෙන් ම යථාර්ථයක් හැටියට ම අවබෝධ කරලයි ඉන්නෙ. ඉතින් පින්වත් සාරිපුත්ත, සිදු වෙන්නට පුළුවන් දේ, සිදුවෙන්නට පුළුවන් දේ හැටියටත්, සිදු වෙන්ට බැරි දේ සිද්ධ වෙන්නට බැරි දේ හැටියටත් තථාගතයන් වහන්සේ තුළ, ඒ ආකාරයෙන් යථාර්ථයෙන් ම ඇති වූ අවබෝධයක් තියෙනව ද? පින්වත් සාරිපුත්ත, අන්න ඒ අවබෝධය තථාගතයන් වහන්සේගේ බලයක්.

ඒ බලයට පැමිණ තමයි තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නේ, පිරිස් මැද සිංහනාද කරන්නේ. උතුම් ධර්ම චක්‍රය පවත්වන්නේ.”

(මහා සීහනාද සූත්‍රය - මජ්ක්‍ධිම නිකාය 1)

පෘථග්ජන වදන් මඩේ සිට වූ ඉන්නක් බඳු යි...

මේ ලෝකයේ ජීවත් වෙන මිනිසුන් සෑම දෙනෙක් ම අනාගතයේ සිදු විය හැකි දේ පිළිබඳ ව දැන ගැනීමට විශාල කැමැත්තකින් පසුවනවා. එසේ ම ස්ථිර වශයෙන් පවසන වචනවලට බොහෝ කැමැත්තක් දක්වනවා. නමුත් බොහෝ දෙනා, බොහෝ දෙනකුගේ එම අනාවැකිවලට එදත් රැවටුණා. අදත්, හෙටත් රැවටීමට පත්වෙනවා.

“තව නොබෝ දිනකින් උල්කාපාතයක් වැටිලා විශාල මිනිසුන් ප්‍රමාණයක් විනාශ වෙනවා. මේ වර්ෂය අවසන් වන විට විශාල යුද්ධ, කෝලාහල ඇති වෙනවා.” මෙවැනි නොයෙක් ආකාරයේ අනාවැකි පළ කරන බව අපට නිතැතින් ම පුවත්වලින්, ප්‍රවෘත්තිවලින් දකින්ට අසන්ට ලැබෙනවා. එසේම නක්ෂත්‍රකරුවන්, ඡ්‍යොතිෂවේදීන්, විද්‍යාඥයන්, ගණිතඥයන් සමාජවේදීන්, විද්වතුන්, කලාකරුවන් සහ සාමාන්‍ය ජනතාව පවා කාලෙන් කාලෙට විවිධ අනාවැකි පළ කරනවා. නමුත් මොවුන්ගේ අනාවැකි සියල්ල ම පසුකලෙක දී සත්‍ය වන බවට කිසිවකුට මේ වන තුරු දැක ගන්න ලැබී නැහැ. සෑමවිට ම යථාර්ථයක් ම ප්‍රකාශ කළ භාග්‍යවතුන් වහන්ස් ඒ සම්බන්ධයෙන් විශාරදවයි වැඩ සිටියේ. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ස්වාක්ඛාත ධර්මයෙන් පිළිසරණක් නො සොයා දුරක්ඛාත ධර්මයක් තුළින් ජීවිත ගමනට ආලෝකයක් සෙවීමට යාමෙන්, අනාගත රැකවරණයක් පැතීමෙන්, අනාගත විපත් සොයා ඉන් මිදීමට යත්න දැරීමෙන්, ඔවුන්ට නිතැතින් සිදු වන්නේ තව තවත් රැවටීමට ම යි.

එහෙත් මේ ලෝකයේ මෙතෙක් කාලයකට පහළ වුණු අද්විතීය පුරුෂ රත්නයක් වන අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ද උන්වහන්සේගේ ජීවිත කාලය තුළ දී සිදු විය හැකි සහ සිදුවිය නොහැකි දේ කාලයෙන් කාලයට දේශනා කොට තිබෙනවා. ඒ කිසිවක් අසත්‍ය යැයි කියා, සිදු නො වේ යැයි කියා මේ දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයේ දෙව් - මිනිස් ප්‍රජා, සහිත ලෝකයේ කිසිවකුට කරුණු සහිත ව අභියෝග කළ නොහැකි යි. ඒ නිසා තථාගතයන් වහන්සේ ඒ පළමු වැනි තථාගත බලයට පැමිණිලයි පිරිස් මැද්දේ සිංහනාද පවත්වන්නේ. උතුම් වූ දම්සක් පතුරුවන්නේ.

බුදු සසුන රඳා පවතින්නේ කලණ මිතුදම මත යි...

මෙසේ භාග්‍යවතුන් වහන්සේ අභීත වූ කේසර සිහ රජිඳකු පරිද්දෙන් දෙව් - මිනිස් ප්‍රජාව මැද පළමුවැනි තථාගත බලයට පැමිණ විශාරද ව සිංහ නාද කළ ආකාරය දැනී අපි රන් මිණි මුතු පෙළක් පරිද්දෙන් එකිනෙක අමුණන ලද උතුම් බුද්ධ දේශනා පිරික්සමින් විමසා බලමු.

දැන් අප ඉදිරියේ මේ දිගහැරෙන්නේ ඒ ශ්‍රී සද්ධර්මය නම් මිණිකැට දාමයේ ආලෝකය කැටි කර ගත් පළමුවැනි තථාගත බලය යි. මේ බුදු සසුන මුළුමනින් ම රඳා පවතිනුයේ කල්‍යාණ මිත්‍රයා මත බව යි. බුදුරජාණන් වහන්සේ වදාළේ, පාප මිත්‍ර සේවනය කොතරම් භයානක දැයි බුදුරජාණන් වහන්සේ පළමුවැනි තථාගත බලයට පැමිණ මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, පාප මිත්‍රයන් සහිත, පාපී යහළුවන් සහිත, පාප මිත්‍රයන්ට නැමුණු, පාප මිත්‍රයන් සේවනය කරන්නා වූ, ඇසුරු කරන්නා වූ, භජනය කරන්නා වූ, ඒ පාප මිත්‍රයන්ගේ දෘෂ්ටියට අනුව යන්නා වූ භික්ෂුවක් ඒකාන්තයෙන් හික්මිය යුතු වත්පිළිවෙත් ආදිය පරිපූර්ණ කරන්නේ ය යන කරුණ සිදු නොවන දෙයකි. හික්මිය යුතු වත්පිළිවෙත් ආදිය පරිපූර්ණ නො කොට, නිවන් මගේ හික්මෙන අයෙක් විසින් වැඩිය යුතු ගුණදහම් වඩන්නේ ය, යන කරුණ සිදු නොවන දෙයකි. නිවන් මගේ හික්මෙන අයකු විසින් වැඩිය යුතු ගුණ ධර්ම පරිපූර්ණ නො කොට සීලයන් පරිපූර්ණ කරන්නේ ය යන කරුණ සිදු නොවන දෙයකි. සීලයන් පරිපූර්ණ නො කොට කාමරාගය හෝ රූප රාගය හෝ අරූප රාගය ප්‍රහාණය කරන්නේ ය යන කරුණ සිදු නො වන දෙයකි.

පින්වත් මහණෙනි, කල්‍යාණ මිත්‍රයන් සහිත, කල්‍යාණ මිත්‍රයන්ට නැමුණු, කල්‍යාණ මිත්‍රයන් සේවනය කරන්නා වූ, ඇසුරු කරන්නා වූ, භජනය කරන්නා වූ, ඒ කල්‍යාණ මිත්‍රයන්ගේ දෘෂ්ටියට අනුව යන්නා වූ භික්ෂුවක් ඒකාන්තයෙන් හික්මිය යුතු වත්පිළිවෙත් ආදිය පරිපූර්ණ කරන්නේ ය යන කරුණ සිදු වන දෙයකි. හික්මිය යුතු වත්පිළිවෙත් ආදිය පරිපූර්ණ කළ භික්ෂුව නිවන් මඟේ හික්මෙන අයෙක් විසින් වැඩිය යුතු ගුණදහම් පරිපූර්ණ කරන්නේ ය යන කරුණ සිදු වන දෙයකි. නිවන් මගේ හික්මෙන අයෙක් විසින් වැඩිය යුතු ධර්ම පරිපූර්ණ කරන භික්ෂුව සීලයන් පරිපූර්ණ කරන්නේ ය යන කරුණ සිදු වන දෙයකි. සීලයන් පරිපූර්ණ කරන භික්ෂුව කාම රාගය හෝ රූප රාගය හෝ අරූප රාගය ප්‍රහාණය කරන්නේ ය යන කරුණ සිදු වන දෙයකි.”

(මිත්ත සූත්‍රය - අංගුත්තර නිකාය - ඡක්ක නිපාතය)

නවම් අමාවක

 පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා පූ.භා 08.54 අමාවක ලබා 28 සිකුරාදා පූ.භා. 06.16 න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]