[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සීල ගුණෝපිත ගුණ සපිරි බෝදාගම සීලවිමල හිමිපාණන් වහන්සේ

සීල ගුණෝපිත බෝදාගම සීලවිමල හිමිපාණන් වහන්සේ

මාලබේ ශ්‍රී සුසීලාරාමාධිකාරි ශ්‍රී පඤ්ඤාතිස්ස දහම් පාසලේ ප්‍රධානාචාර්ය, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විශ්‍රාමලත් ආචාර්ය, ශාස්ත්‍රපති බෝදාගම සීලවිමල හිමියෝ මෙම 18 වැනි දින වයස අවුරුදු පනස්පහ සම්පූර්ණ කරති.

ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල බෝදාගම නම් සුප්‍රසිද්ධ ග්‍රාමවරයේ දම්පතීන් වූ ඈපා කංකානම්ගේ හෙන්ද්‍රික් අප්පුහාමි හා රත්නායක සම්පත්හාමි යන දෙපළට දාව වටිනා පුත් රුවනක් ලෙස 1970 පෙබරවාරි මස 18 වැනි දින මෙම පින්වන්ත කුමරා උපත ලැබීය.

දෙමාපියන්ගේ හා සහෝදර සහෝදරියන්ගේ නො මද ආදරය ලබමින් සිටින අතරේ එවකට ගමේ පාසල වූ බෝදාගම පාසලට ඇතුළත් ව එමඟින් අධ්‍යාපනය ලබා ගත්තේ ය. කුඩා කල සිට ගිහි ජීවිතයට වඩා පැවිදි දිවියට දැඩි ඇල්මක් දැක්වූ මෙම කුමරාට පැවිදි වීම සඳහා පැමිණීමට සිදුවූයේ සසරේ කුමන හෝ වාසනා ගුණයකට ය.

ඒ අනුව කොළඹ, මාලබේ, ශ්‍රී සුසීලාරාම පුරාණ මහ විහාරයට පැමිණ නිසි බණ දහම් ඉගෙන ගත්තේ ය. මවුපියන්ගේ ආශීර්වාද මැද වර්ෂ 1982ක් වූ ජනවාරි මස 25 වැනි දින මාලබේ ශ්‍රී සුසීලාරාමාධිපති ව වැඩ විසූ අපවත් වී වදාළ හේවාගම් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, “සද්ධර්ම කීර්ති ශ්‍රී” පොරවගම සුමනසිරි නාහිමියන්ගේ සහ වර්තමාන විහාරාධිපති, විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ බෙන්තර විහාර පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝනායක”සද්ධර්ම කීර්ති ශ්‍රී සුමනසිරි” ශාස්ත්‍රපති අතිගරු පොරවගම විමලරතන නායක ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උතුම් පැවිදි බිමට පත්වූයේ බෝදාගම සීලවිමල යන නමිනි.

පසුව භික්ෂු දිවියේ අධ්‍යාපනය සඳහා විහාරස්ථානයෙහි බණ දහම් මෙන්ම අනෙකුත් වතාවත් පුරුදු පුහුණු වන සීලවිමල හිමියෝ පිරිවෙන් අධ්‍යාපනය සඳහා එවකට ඉතා වැදගත් පරිවේණස්ථානයක් වූ රටට කීර්තිමත් පඬිවරු බිහිකළ ඇතුල් කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනට ඇතුළත් කළ අතර, ඉන් මූලික අධ්‍යාපනය ද කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඤාණේශ්වර පිරිවෙනට ඇතුළත් ව එමඟින් උසස් අධ්‍යාපනය ද හැදෑරූ අතර, එමඟින් පිරිවෙන් අධ්‍යාපනය අවසන් කරන්නට විය.

භික්ෂු විනයට අනුව උගතමනා බණ දහම් හා නිසි විසි වයස් සම්පූර්ණ වූ විට භික්ෂු ජීවිතයේ වැදගත් අවස්ථාවක් වූ උපසම්පදා භූමියට පත්වීම සිදුවූයේ වර්ෂ 1990 ජුනි මස 28 වැනි දින කෝට්ටේ කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී ය. ඒ අපවත් වී වදාළ පොරවගම සුමනසිරි නාහිමි, ගුන්නෑපානේ විමලබුද්ධි නාහිමි හා වර්තමාන විහාරාධිපති, විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ බෙන්තර විහාර පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝනායක “සද්ධර්ම කීර්ති ශ්‍රී සුමනසිරි” ශාස්ත්‍රපති පොරවගම විමලරතන නායක ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙනි. අධ්‍යාපනික ජීවිතයේ උසස් අධ්‍යාපනය සඳහා අ.පො.ස. උසස් පෙළ සමත් ව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට ඇතුළත් ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, පසුව ශාස්ත්‍රපති උපාධියත් එම විශ්වවිද්‍යාලය මඟින් උන්වහන්සේ ලබා ගත්හ.

සිය අධ්‍යාපන ජීවිතය මඟින් ලබා ගත් දැනුම ලෝකයාට බෙදාදීම සඳහා ගුරුවරයකු ලෙස කටයුතු කිරීමට කැමති වූ සීලවිමල හිමියෝ මුලින් ම අනුරාධපුර රුවන්වැලි සෑ පිරිවෙනට ගුරුවරයකු වශයෙන් පත් වී එහි භික්ෂූන් වහන්සේට ධර්ම ශාස්ත්‍රීය දැනුම ලබා දුන්හ. පසුව තම සඟ පරපුරේ මූලස්ථානය වන කළුතර ශ්‍රී පූර්වාරාම විජය පිරිවෙනට ද ගුරුවරයකු වශයෙන් ස්ථාන මාරුවක් ලැබ එහි වසර කිහහිපයක් ම ගුරුවරයකු ලෙස සේවාව ඉටු කළේ කුඩා ස්වාමීන් වහන්සේගේ දැනුම සකස් කරමිනි. ඉන් අනතුරුව පාසල් අධ්‍යාපනය සඳහා සිත යොමුකරන මෙම පුණ්‍යවන්ත හිමියෝ රාජගිරිය ජනාධිපති විද්‍යාලය, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය යන විද්‍යාලවල සිසු දරුවන් වෙනුවෙන් තම සේවාව ගුරුවරයකු ලෙස ලබා දුන්හ. පසුව කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගුරුවරයකු වශයෙන් ස්ථාන මාරු ලැබ ගිය සීලවිමල හිමියෝ 2024 වර්ෂයේ විශ්‍රාම ගන්නා තෙක් ම තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ගුරුවරයකු ලෙස ශිල්ප දානය ලබා දුන්නේ ය. එම කාලයන්හි දී පාසල් දරුවන් වෙනුවෙන් අපරිමිත සේවාවක් සිදු කළේ ඉතා සතුටිනි.

වර්තමානයේ විශ්‍රාම සුවයෙන් දිවි ගත කළ ද මාලබේ සී‍්‍ර සුසීලාරාම විහාරස්ථ ශ්‍රී පඤ්ඤාතිස්ස දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරය දරමින් ප්‍රදේශයේ දරුවන් වෙත දහම් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන්නේ අනේකවිධ කැපකිරීම් මත ය. මාලබේ ප්‍රදේශයේ සියලු ජනතාවගේ මහත් කීර්තියට පත්වෙමින් කටයුතු කරන සීලවිමල හිමියෝ ප්‍රසිද්ධ ධර්ම දේශනා පවත්වන හිමි නමක් මෙන්ම විචිත්‍ර පිරිත් දේශකයාණන් වහන්සේ නමකි. එමෙන් ම එම ප්‍රදේශයේ සියලු විහාරස්ථානවල ගෞරවය ලබමින් මේ වන විට මහතෙර නමක් ලෙස සසුන් දිවියේ වැඩ කටයුතු සිදු කරන්නේ අපරිමිත ශ්‍රද්ධා භක්තියෙනි.

වර්තමාන මාලබේ ශ්‍රී සුසීලාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි තනතුර දරමින් තමන් පැවිදි වූ තම විහාරස්ථානයේ කටයුතු සියල්ල සොයා බලමින් සිදු කරන මුන්වහන්සේ මාලබේ ශ්‍රී සුසීලාරාම විහාරස්ථානයේ විහාරාධිපති, විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි, සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ බෙන්තර විහාර පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝනායක “සද්ධර්ම කීර්ති ශ්‍රී සුමනසිරි” ශාස්ත්‍රපති පොරවගම විමලරතන නායක හාමුදුරුවන් වහන්සේගේ ප්‍රධානත ම ශිෂ්‍යයන් වහන්සේ වන්නේ සීලවිමල ස්වාමින් වහන්සේ ය.

ඒ අනුව උන්වහන්සේට ද මහත් ශක්තියක් වෙමින් කටයුතු කරන අතර, ප්‍රදේශයේ සියලු ශාසනික අවශ්‍යතා මැනවින් සොයා බලා සිදු කරයි. තම ශාසනික ජීවිතයේ ඉදිරි පැවැත් ම වෙනුවෙන් මුන්වහන්සේ කටයුතු කිරීමේ දී මේ සසුන ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ද තැනූහ. ඒ අතර අගුණකොළපැලැස්සේ ඤාණානන්ද හිමි, සුසීලාරාම විහාරවාසී, හබරකඩ සුමනරතන හිමි ඇතුළු තවත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ කිහිප නමක් ම උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ වන්නේ ය.

ජාතික, ආගමික කටයුතුවලට තවදුරටත් ශක්තිමත් ව කටයුතු කිරීමට හා ශාසනික ප්‍රතිපදාව වඩාත් අර්ථ ගැන්වීම සඳහා තව බොහෝ කලක් ගුරුවරයකු ලෙස සේවය කිරීමට තිබියදීත් වර්ෂ 55න් උන්වහන්සේ විසින් විශ්‍රාම ලබා ගන්නා ලදි. මේ වන විට විශ්‍රාම සුවයෙන් පසු වුව ද විවිධ ශාස්ත්‍රීය කටයුතුවල නියැළීම සිදු කරයි. ඒ අනුව ධර්ම ශාස්ත්‍රීය ලිපි ලේඛන කටයුතු මෙන් ම පුවත්පත්වලට ලිපි ලිවීම මඟින් ලේඛන කුසලතාව පැති ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට උන්වහන්සේ කටයුතු සිදු කර තිබේ. වර්ෂ 2025 ක් වූ පෙබරවාරි මස 18 වැනි දිනට දිවි මඟේ 55 වැනි වියට පා තැබූ ශාස්ත්‍රපති බෝදාගම සීලවිමල හිමියන්ට නිදුක් නීරෝග සුවය අත් වේවා!. සම්බුද්ධ ශාසනයට තව තවත් සේවය කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා!

නවම් අමාවක

 පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා පූ.භා 08.54 අමාවක ලබා 28 සිකුරාදා පූ.භා. 06.16 න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]