[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සසරේ පුරන ලද පාරමී අනුහසින් සසරින් එතෙර වූ පින්බර බුද්ධ මාතාවෝ

සසරේ පුරන ලද පාරමී අනුහසින් සසරින් එතෙර වූ පින්බර බුද්ධ මාතාවෝ
 

දුර්ලභ ව ලොව පහළ වන මනුෂ්‍ය රත්නයක් හදා වඩා පෝෂණය කළ පින්වතිය ඇය යි.

සම්බුද්ධත්වයෙන් වසරක් ගෙවී ගොස් එළඹුණු වෙසක් සඳ, ශාක්‍යයන් ඉමහත් සොම්නසට පත් කළේ ය. තරු කැළ පිරිවැරි සඳමඩලක් වැනි වූ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කළේ එදින යි.

බුදු සමිඳුන් දෙසූ මිහිරි සදහම් පහස ලැබූ ශාක්‍යයන් අපමණ ශාන්තියට පත්වුණි. නන්ද කුමරුන් හා රාහුල කුමරුවන් පැවිදි බවට පත් විය. සුදොවුන් පියරජු සේසත යට දී ම පිරිනිවනට වැඩම කළහ. ගෞතමියගේ සිත අසීමිත වූ හුදෙකලාවකින් වෙළී ගියා ය. බුදු සමිඳුන් හමුවේ දෙවරක් ම ගෞතම සසුනේ පැවිදි බව අයැද සිටි මුත් එය ප්‍රතික්ෂේප වීම නිසා හටගත් සන්තාපයෙන් ඇගේ සිත රිදුම් දුන්නී ය.

රෝහිණී නදියේ ජලය මුල්කර ගෙන ශාක්‍ය කෝලිය වංශිකයන් යුද වැදුණු වෙලේ, එය සන්සිඳුවන්නට වැඩම කළ බුදු සමිඳුන් දෙසූ අත්තදණ්ඩ සූත්‍ර දේශනය අසා පැහැදුණු ශාක්‍ය වංශික කුමාරවරු පන්සියයක් දෙනා ගෞතම ශාසනයේ පැවිදි බවට පත්ව අරහත්වයට පත් වූහ. ගිහිගෙයි නො ඇලුණු, පැවිද්දට ලොල් වූ ඒ පන්සියයක් වූ ශාක්‍ය රජ බිසෝවරුත් ගෞතමිය වටා එක් රොක් විය. ගෞතම සසුනේ විමුක්තියේ නාමයෙන් ඔවුහු සිත දැඩි කර ගත්හ. ඒ අමා නිවන එක ම සිහිනය ලෙස සිතේ රුවා ගනිමින් ළාමක ගිහි ජීවිතයට සමුදෙන්නට තීරණය කළහ.

එකල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ ය. මනස්කාන්ත රූ සපුවෙන් යුතු වූ ඒ ශාක්‍ය කුමරියෝ තම අක්බඹරු වන් වූ දිගු කෙස් වැටිය කපා හිස මුඩු කර ගත්හ. ගත තැවරි සඳුන් සෝදා හැරියා ය. සියලු ආභරණ, සිනිඳු කසී සළු ඉවත් කළහ. කසාවත් පොරවා ගත්හ. ඇහැළ මලේ පාටින් බැබළෙමින් ඒ කසාවතින් සැරසුණු ශාක්‍ය දුහිතෘහු භික්ෂුණීන් වෙස් ගෙන පා ගමනින් ම විසල් පුරයට වැඩම කළහ. මේ අතිශයින් ම සියුමැලි වූ සුන්දර ශාක්‍ය කුමරියන් කසාවත් ගත දවටා වඩින යුරු දුටු ශාක්‍යයන් හඬා වැලපෙන්නට විය. සියුමැලි පා යුග රිදේවි දෝ බියෙන් ඔවුන්ට සුව සේ වඩින්නට සුව පහසු රථ පිළියෙල කළේය. ඒ උත්තමාවියෝ ශාස්තෘන් වහන්සේට අගෞරව වේ යැයි බියෙන් ඒවා පිළිකෙව් කොට පා ගමනින් ම වැඩම කළහ. ඔවුන්ගේ සියුමැලි පා යුග ඉදිමී ගියේය. ඉරිතැළී ලේ මතු වුණි. ඉතාමත් වෙහෙසට පත් වූ වතින් යුතු ව, දූවිලි කුණු පිරුණු ගතින් යුතුවයි ඔවුන් විසල් පුරයට පැමිනුණේ.

තෙවැනි වරටත් බුදු සමිඳුන් ළඟ භික්ෂුණී පැවිද්ද අයැදිද්දීත් එය ප්‍රතික්ෂේප කළ විට ඒ ගෞතමිය කූටාගාර ශාලාවේ දොර කොටුව අබියසට විත් ඉතාමත් දුකට පත්ව වැලපෙන්නට වුණි. කුල කුමරියන් පන්සියයක් පිරිවරා ගෙන, වෙහෙසට පත්ව, දූවිලි වැකුණු සිරුරින් යුතු ව දුකට පත්වී හඬමින් සිටින ගෞතමිය ආනන්දයන් වහන්සේගේ නෙත ගැටුණි. ආනන්දයන් වහන්සේ සැණෙකින් ගෞතමිය වෙත පැමිණියහ. කරුණු විමසා සිටි ආනන්දයන් වහන්සේ බුදු සමිඳුන් වෙත ගොස් තෙවරක් ම කාන්තාවන් උදෙසා පැවිද්ද ලබා දෙන ලෙස ඉල්ලා සිටි මුත් බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කොට වදාළහ.

ආනන්ද ස්වාමීන් වහන්සේට මෙවැනි සිතක් ඇති වුණි.

“භාග්‍යවතුන් වහන්සේ කාන්තාවන් සඳහා පැවිද්ද තෙවරක් ම ප්‍රතික්ෂේප කොට වදාළා. ඒ නිසා මම අන් මඟකින් විමසන්නේ නම් එය සුදුසු ය’. උන්වහන්සේ යළිත් භාග්‍යවතුන් වහන්සේ සමීපයට වැඩම කළහ.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන් ගිහිගෙයින් නික්ම පැවිදි ව දිවි දෙවෙනි කොට දහමේ හැසිරුණොත්, සෝතාපන්න වීම, සකෘදාගාමී වීම, අනාගාමී වීම, අරහත්වයට පත්වීම සිදුවිය නොහැකි දෙයක් ද?”

“පින්වත් ආනන්දය, එය සිදුවිය හැකි දෙයක්.”

“එසේනම් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ප්‍රජාපතී ගෞතමිය ඔබ වහන්සේට බොහෝ උපකාර කළා. භාග්‍යවතුන් වහන්සේගේ මෑණියන් වූ මායාදේවිය කලුරිය කළ විට ඈ ඔබ වහන්සේ්ට කිරි පෙව්වා. භාග්‍යවතුන් වහන්සේව පෝෂණය කළා. අත් පා වැඩුවා. ඈ භාග්‍යවතුන් වහන්සේගේ සුළු මෑණියන්. ඒ නිසා ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ගෞතමිය බුදු සසුනේ පැවිදි බව ලබනවා නම් කොයි තරම් හොඳයි ද?”

“එසේනම් පින්වත් ආනන්ද, ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්ම පිළිගන්නේ නම් එය ම ඇගේ පැවිද්ද වන්නේ ය. උපසම්පදාව ද වන්නේ ය.”

ඉක්බිති ආනන්ද ස්වාමීන් වහන්සේ ගෞතමියට අෂ්ට ගරු ධර්ම පිළිබඳ පවසා සිටි විට, අලංකාරය කැමැති තරුණ දරුවකු හොඳින් දිය නා පිරිසුදු ව සිටින විට, සමන් මල් දමක් ලැබුණොත්, දෝතින් ම ගෙන හිසේ පැලඳ ගන්නා සෙයින් ගෞතමිය ඒ අෂ්ට ගරු ධර්ම ඉමහත් ගෞරවයෙන් යුතු ව හිස් මුදුනින් පිළිගත්තා ය. එය ම ඇයගේ පැවිද්ද හා උපසම්පදාව විය.

පැවිදි උපසම්පදාව ලත් ඒ පින්බර ප්‍රජාපතී ගෞතමී භික්ෂුණිය බුදු සමිඳුන්ගෙන් ඇසූ උතුම් සිරි සදහම් සිතේ රුවාගෙන සුළු කලකින් ම අරහත්වයට පත් වූහ. මෙසේ භික්ෂුණී සංඝයා මනා කොට පිහිටා පැතිරී ගිය විට නා නා ගම්, නියම් ගම්, රාජධානිවල කුල කුමරියන්, කුල ස්ත්‍රීන් ගෞතම සසුනේ සුපහන් සිත් ඇති කොට පැවිදි ව අමා නිවනින් සදා සැනසීමට පත් විය. නිකෙලෙස් මුනිවරියන් බවට පත්ව ගෞතම සමිඳුන්ගේ නිමල ධර්මය දේශනා කරමින් ගම් නියම් ගම් සිසාරා වැඩම කළහ.

එක් දිනක් භාග්‍යවතුන් වහන්සේ අමා නිවන් මඟ දේශනා කරන විට කිවිසුමක් පිට කළ මොහොතක කරුණාබර සිතින් යුතු ගෞතමිය භාග්‍යවතුන් වහන්සේට ආශීර්වාද කරන්නී, මෙසේ පැවසීය.

“මහා වීර වූ මුනිඳුනි, බොහෝ කල් ජීවත් වන සේක්වා. ලෝකයට හිතසුව පිණිස කල්පයක් වැඩ සිටින සේක්වා.”

එවිට භාග්‍යවතුන් වහන්සේ ගෞතමියට මෙසේ වදාළහ.

“පින්වත් ගෞතමිය, තථාගතයන් වහන්සේට ඔය ආකාරයට වන්දනා නො කළ යුතුයි.”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, එසේ නම් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන ආකාරය මට කියාදෙන සේක්වා.”

එවිට භාග්‍යවතුන් වහන්සේ සැබෑ ම බුද්ධ වන්දනාව කරන අයුරු මෙසේ වදාළා.

“පටන් ගත් වීරියෙන් ම සිටින, දිවි දෙවෙනි කොට දහමේ හැසිරෙන, නිරතුරුව ම දැඩි වීරිය පරාක්‍රමයෙන් යුතු වූ සමගි සම්පන්න සංඝයාව දකින්නේ නම් බුද්ධ වන්දනාව යනු එය යි.”

ශ්‍රාවකයන්ට අග්‍රස්ථාන පිරිනමන වේලේ ප්‍රජාපතී ගෞතමී තෙරණියට පැවිදි වී බොහෝ කල් ගත වූ භික්ෂුණීන් අතරින් අග තනතුර ලැබීය.

ඇසුරු සැණක වේගයෙන් කාලය ගෙවී ගියේ ය. අමා නිවන් සුවයේ වෙළී සැනසුණු ගෞතමී තෙරණියට වයස අවුරුදු 120ක් විය. දිනක් හුදෙකලාවේ, විවේකයේ සිටි ගෞතමියට මෙවන් සිතක් ඇති විය.

“මම දැන් හොඳට ම මහලු වෙලා. ආයුෂය ගෙවී ගිය නිසා ම මේ සිරුරත් දැන් අබලන් වෙලා. මහාවීර වූ බුදු සමිඳුන්ගේ පිරිනිවීමත්, සැරියුත් මුගලන් රහතන් වහන්සේගේ පිරිනිවීමත්, නන්ද රාහුල, ආනන්ද තෙරුන් වහන්සේගේ පිරිනිවීමත් මට දක්නට නො ලැබෙයි. ඉදින් පිළිසකර කළ නො හැකි ලෙස අබලන් වූ මේ සිරුර අතහැර පිරිනිවෙන්නට කල් එළඹ තිබෙයි. ලෝකනාථ මුනිඳුන්ගෙන් අවසර ගෙන පිරිනිවෙන්නෙමි.”

ගෞතමියත් සමඟ සිටි පන්සියයක් වූ තෙරණිවරුන්ට ද මේ විතර්කය ම ඇති විය. එසැණින් අහස ගිගුම් දෙමින් අකල් වැසි ඇදවැටුණි. මිහිකත කඳුළු වගුරුවමින් වැලපෙන්නා සේ මහ හඬින් කම්පා වන්නට පටන් ගත්තේ ය. භික්ෂුණී ආරාමය ඇසුරු කර ගෙන සිටි දෙවිවරු වැලපෙන්නට වූහ.

එක්වන් ව ගිහි ගෙයින් නික්මුණ, එක්වන් ව භවයෙන් ද නික්මුණු, නිකෙලෙස් වූ දැමුණු සිත් ඇති පන්සියයක් වූ රහත් මුනිවරියෝ ද ගෞතමී තෙරණිය පෙරටු කර ගත්හ. ගෞතමී තෙරණිය පිරිනිවෙන බැව් අසා දුකට පත් වී මඟ දෙපස රොක් වී හඬා වැලපෙන සැදැහැති උවසු උවැසියන් සනසවමින් ඒ මහා මුනිවරිය සන්සුන් පියවර තබමින් බුදු සමිඳුන් වෙත වැඩම කොට බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් මෙසේ පැවසූහ.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම ඔබ වහන්සේගේ මෑණියන් වෙමි. මහාවීර වූ මුනිඳුනි, ඔබ වහන්සේ මාගේ පියාණන් වෙයි. ඔබ වහන්සේ වෙතිනුයි මා උපන්නේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ රූප කාය මම මනා කොට වැඩුවෙමි. මාගේ ධර්ම කාය වඩන ලද්දේ ඔබ වහන්සේ ම ය. සා පිපාසා සන්සිඳුවන්නට මොහොතක් ඔබ වහන්සේට මම කිරි පෙව්වෙමි. යමෙක් බොහෝ සෙයින්ම ශාන්ත වූ සදහම් අමා කිරි මට පෙවුයේ නම් ඒ ඔබවහන්සේ ම ය. මහා මුනිවරයාණෙනි, සැබැවින් ම ඔබ වහන්සේ ඇති දැඩි කරමින් කිරි පොවා හැදූ වැඩූ ණයෙන් ඔබවහන්සේ මිදුණේ ම ය. පුතුන් කැමැති යම් තාක් මවුවරු සිටී නම් ඒ සියල්ලන් ම ඔබ වහන්සේ වැනි උතුම් පුතුන් ම ලබත්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ‘රාජ මාතාව‘, ‘රාජ මෙහෙසිය’ යන නාමය ලොව හැම කල්හි ම අසන්නට ලැබෙන්නේ ම යි. නමුදු යම් ‘බුද්ධ මාතාව‘, ‘බුදුරජුන්ගේ මෑණියන්’ යන නාමයක් ඇත් ද? එය පරම දුර්ලභ වන්නේ ම ය. මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේ මට එය (බුද්ධ මාතාව යන නම) ලබා දුන් සේක. කුඩා වූත්, මහත් වූත් සියල්ල ම ඔබ වහන්සේ මට ලබා දුන් සේක්ම යි.

“දෙව් මිනිසුන්ගේ දුක නසන නායකයාණන් වහන්ස, මේ සිරුර අතහැර පිරිනිවීමට කැමැත්තෙමි. එය අනුදැන වදාරන සේක්වා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ සක් ලකුණින් සුසැදුණු රත් පියුම් පැහැ ගත් ඔය උතුම් සිරිපා යුගල දිගුකොට වදාළ මැනව. ඔය සිරිපා යුගල මත තැවරුණු දුහුවිලි මාගේ සිරසේ තැවරෙන පරිද්දෙන් වන්දනා කරන්නෙමි.”

“ලෝකනාථ වූ මාගේ පුතණුවනි, අවසන් වරට ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරය සිත් සේ දැකබලා ශාන්තියට පැමිණෙන්නෙමි. තනි රනින් කළ පිළිමයක් බඳු වූ ස්වර්ණ වර්ණයෙන් දිදුලන භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී ශරීරය මා හට පෙන්වා වදාරන සේක්වා.”

ගෞතමිය එසේ පැවසූ විට, මහා කාරුණික බුදු පියාණන් වහන්සේ සැඳෑ ව<ා අතරින් පෙනෙන ළහිරු මඬලක් වැනි වූ දෙතිස් මහා පුරිස් ලකුණින් සුසැදුණු ස්වර්ණ වර්ණයෙන් දිදුලන උත්තම ශ්‍රී දේහය බුද්ධ මාතාවට පෙන්වා වදාළ සේක.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ස්ත්‍රිය යනු සියලු වරදයන්ට ආකරයක් යැයි කියනු ලබයි. ඉදින් මාගේ යම් වරදක් වේ නම්, කරුණාවට ආකරයක් බඳු වූ උතුමාණෙනි, මට සමා වන සේක්වා. මා විසින් ස්ත්‍රීන් කෙරේ පැවිදි බව පුන පුනා ඉල්ලා සිටියෙමි. එහි මාගේ වරදක් වේ නම් එය ද මට සමා වන සේක්වා. භාග්‍යවතුන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව භික්ෂුණීන්ට අවවාද කළෙමි. එහි යම් වරදක් වේ නම් එයට ද මට සමා වන සේක්වා.”

“සියලු ගුණයෙන් ඔපවත් වූ තැනැත්තිය, සමාවට කරුණක් නැති විට ක්ෂමා කරන්නේ කවරකට ද?”

එවිට සඳ පිරිවැරි තරු කැලක් සේ සිටි පන්සියයක් වූ අනිකුත් රහත් භික්ෂුණීන් වහන්සේ ද බුදු සමිඳුන් වටා පැදකුණු කොට සිරිපා යුග වන්දනා කළහ. සම්බුදු සිරුර දෙස බලා නෙත් යුග සෑහීමට පත් නො වන්නා සේ, බ්‍රහ්ම ස්වරයෙන් තෙපලන බුදු වදන් කෙතරම් ඇසුවත් සවන්පත් සෑහීමකට පත් නො වන්නා සේ ඒ තෙරණිවරු බුදු සමිඳුන් දෙස දෙනෙත් දල්වා බලා සිටියහ.ඒ දුටු ගෞතමී තෙරණිය භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසන්නී ය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසනා විට යමෙක් පුන්සඳ වන් භාග්‍යවතුන් වහන්සේගේ මුහුණ දකින්නේ වේ ද, යමෙක් තඹවන් නියෙන් යුතු දිගු ඇඟිලි හා විළුඹින් යුතු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයන් වන්දනා කරන්නේ වේ ද ඒ සියලු දෙනා සැබැවින් ම වාසනාවන්ත යි. මිහිරි වූ, සතුට ඇති කරවන, දොස් නසන්නා වූ, හිතකර වූ භාග්‍යවතුන් වහන්සේගේ වදන් යමෙක් අසයි නම් ඔවුන් ද වාසනාවන්තයෝ ම යි.”

ඉක්බිති ගෞතමී තෙරණිය භික්ෂු සංඝයාට වන්දනා කොට ආනන්ද, නන්ද, රාහුල තෙරුන් වහන්සේ වන්දනා කරමින් මෙසේ කියා සිටියාය.

“සර්පයන් ගැවසෙන ගෙයක් බඳු වූ, රෝගයන්ට නිවසක් වූ, ජරා මරණයට ගොදුරු වන, අනුන්ට අයිති වූ මේ ශරීරය ගැන මා බෙහෙවින් කලකිරී සිටිමි. පිරිනිවීමට කැමැත්තෙමි. මාගේ පුතණුවරුනි, එය අනුදැන වදාරන සේක්වා.”

නන්ද, රාහුල යන රහතන් වහන්සේ ධර්ම සංවේගයන් වැඩ සිටිද්දී, “ගෞතමිය පිරිනිවෙන්නී ය. ටික දිනකින් ම බුදුරජාණන් වහන්සේ ද පිරිනිවෙන්නේ ය.” යැයි ආනන්ද ස්වාමීන් වහන්සේ වැලපෙන්නට විය. දුකට පත්ව වැලපෙන ආනන්ද ස්වාමීන් වහන්සේට ගෞතමිය මෙසේ වදාළේ ය.

“බහුශ්‍රැත වූ, මහා ගුණ ඇති, බුදුරදුන්ට සෙවණැල්ලක් සේ උවටැන් කරන මාගේ පුතණුවනි, ශෝක නො කරනු මැනවි. ඔබ වහන්සේගේ පිහිටෙන් මම පරම ශාන්තියට පැමිණියෙමි.”

එවිට ගෞතමියට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් ගෞතමිය, කාන්තාවට සිත දියුණු කළ හැකි ද යන්න පිළිබඳ ව මිනිසුන් තුළ ඇති සැක සංකා දුරු කර දැමීමට ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වන්න.”

භාග්‍යවතුන් වහන්සේගේ අනුදැනුම ඇති ගෞතමී තෙරණිය බුදුරජාණන් වහන්සේට වන්දනා කොට අහසට පැන නැඟී අප්‍රමාණ වූ සෘද්ධි ප්‍රාතිහාර්යය දැක්වූවා ය. සෙසු භික්ෂුණීන් වහන්සේ ද අහසට පැන නැඟී පෙළහර දක්වා පිරිනිවීමට අවසර ඉල්ලා සිටි කල්හි බුදුපියාණන් වහන්සේ එය අනුදැන වදාළ සේක. ඉන්පසු ගෞතමී තෙරණිය ප්‍රධාන කොට සිටි ඒ භික්ෂුණීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට ආපසු ආරාමයට වැඩම කරන්නට වූහ.

මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට කිරි පොවා පෝෂණය කළ, අත්පා වැඩූ ඒ මහා ගුණ ඇති බුද්ධ මාතාවට කරන ගෞරවයක් ලෙසින් මහා පිරිවර සමඟින් දොර කොටුව දක්වා ම ගෞතමිය අනුව වැඩම කොට වදාළ සේක. අපමණ ගුණ දැරූ ඒ ප්‍රජාපතී ගෞතමී තෙරණිය අවසන් වරට සිත් සේ බුදු පියාණාන් වහන්සේ දැක රන්වන් සිරිපා යුග ස්පර්ශ කරමින් වන්දනා කළහ.

මෙහෙණවරට පැමිණි ඕ තොමෝ හඬා වැලපෙන උවසු, උවැසියන් සනසවා අඩ පලඟ බැඳ උතුම් අසුනේ වාඩිවී පිළිවෙළින් පළමු, දෙවන, තෙවන, සිව්වන ධ්‍යානයන්ට සමවැදුනහ. අනතුරුව ආකාසඤ්ඤායතනයට, විඤ්ඤාණඤ්චායතනයට, ආකිඤ්චඤ්ඤායතනයට, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදී ප්‍රතිලෝම වශයෙන් ධ්‍යානයන්ට පැමිනුණි. නැවත පිළිවෙළින් සිව්වෙනි ධ්‍යානයට සමවැදී ඉන් නැඟී සිටිනවාත් සමඟ ම, මිහිකත වැලපෙන්නා සේ මහ හඬින් කම්පාවෙද්දී, අහස පුරා හෙණ හඬ පැතිර යද්දී, අකලට වැටුණු වැසි දියෙන් පොළොව තෙමී යද්දී, මල් වැසි ධාරා ඇද හැලෙද්දී, දෙවි මිනිසුන් හිස අත් බදා වැලපෙද්දී මේ මහා භද්‍ර කල්පයේ සිව්වන බුදුරදුන් හැදූ වැඩූ, කිරි පොවා පෝෂණය කළ, උතුම් කලණ මිතුරිය වූ අපමණ ගුණ ඇති මහා මුනිවරිය, බුද්ධ මාතාව, ප්‍රජාපතී ගෝතමී තෙරණිය නිවී යන පහන් සිළක් සේ පිරිනිවනට වැඩම කළ සේක.

ගෞතමිය පිරිනිවුණ පසු බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මෙසේ වදාළ සේක.

“පින්වත් ආනන්ද, බුද්ධ මාතාවගේ පිරිනිවීම සියලු ම භික්ෂූන්ට දැනුම් දෙන්න.”

එවිට ආනන්දයෙන් තොර වූ ආනන්දයන් වහන්සේ කඳුළු වගුරුවමින්, ගොත ගැහෙන ස්වරයෙන් මෙසේ පැවසුහ.

“නැඟෙනහිර, බටහිර, උතුරු, දකුණු ප්‍රදේශවල වෙසෙන සියලු ම බුද්ධ පුත්‍ර වූ භික්ෂූන් මාගේ වචනය අසත්වා. අප සුගත තථාගතයන් වහන්සේගේ මෑණියන් වූ බුද්ධ මාතාව පිරිනිවියා ය. සියලු භික්ෂූන් රැස් වෙත්වා.”

මේ ඇසූ ඉතා දුර විසූ භික්ෂූන් පවා වහා එහි වැඩි සේක. සමහර දෙනෙක් බුදුරදුන්ගේ අනුහසින් ද, සමහරෙක් ඍද්ධි බලයෙන් ද පැමිණියහ.

ගෞතමිය යම් ඇඳක පෙර දින සැතපුණි ද, රනින් කළ කුලුගෙයක තැබූ ඒ ඇඳෙහි ඇගේ සිරුර තැන්පත් කළහ. ලෝක පාලක දෙවිවරු එය ඔසවා ගත්හ. සෙසු දෙවිවරු අනකුත් කුලුගෙවල් ඔසවා ගත්හ. සියලු දිසාවල පැතිරුණු වියනින්, පතාකයන්ගෙන් අහස් කුස පිරී යද්දී මල් වැසි ධාරා ඇදහැලෙන්නට විය. දිව්‍ය සඳුන් සුවඳ පැතිරී ගියේ ය. මිහිකත ළමැදෙන් බුද්ධ මාතාව වෙනුවෙන් පිපුණු මල්, පලසක් සේ දිස් වුණි. සඳත්, හිරුත්, තරුත් එකවර අහසේ බැබළුණි. හිරු අහස මැද ඇති මුත් සඳ මෙන් සිසිලස පැතිරී ගියා සේ දෙවිවරුන් දිව්‍ය මලින්, සුවඳින්, නැටුමෙන්, ගැයුමෙන් පුද සත්කාර කළෝ ය. දෙවියන්, බඹුන්, මිනිසුන්, නාග, අසුර ආදීහු තම ශක්ති පමණින් බුද්ධ මාතාවට අපමණ පූජා පැවැත්වූහ.

ගෞතමී තෙරණියගේ පිරිනිවීම අතිශයින් ම අසිරිමත් විය. සුවඳ සුණු ඉස, සුවඳ මල් ඉස දැවූ චිතකයේ ඉතිරි වූ ධාතුන් වහන්සේ ඇගේ පාත්‍රයට ගත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒවා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූහ. ධාතුන් වහන්සේ දෑතින් පිළිගත් තිලොවට මහා ඍෂි වූ බුදු සමිඳුන් මෙසේ වදාළ සේක.

“අරටුව පවතින මහා වෘක්ෂයක ඉතා මහත් වූ කඳ යම් අයුරකින් අනිත්‍ය ධර්මතාව නිසා වැනසී යයි ද, එසේ ම භික්ෂුණී සංඝයා අතර එවැනි වූ ගෝතමිය පිරිනිවියා ය. එනමුදු අසිරියකි, ධාතුන් ඉතිරි කර බුද්ධ මාතාව පිරිනිවි කල්හි පවා තථාගතයන් වහන්සේ තුළ ශෝක වැළපීම් කිසිවක් නැත්තේ ම ය.

පින්වත් මහණෙනි, බුද්ධ මාතාව නම් වූ ඒ ප්‍රජාපතී ගෝතමිය පණ්ඩිත ය. මහා ප්‍රඥාවකින් සමන්විත ය. අද භික්ෂුණීන් අතර පැවිද්දෙන් බොහෝ කල් ගත වූ තැනැත්තිය ය. ඕ තොමෝ ඍද්ධි බලයෙන් යුක්ත ය. පරසිත් දන්නා නුවණින් ද යුතු වූවා ය. ඉඳුරන් වසඟ කර ගත්තී ය. පුබ්බේනිවාස ඥානය ද පිරිසුදු කර ගත්තා ය. දිවැස ද පිරිසුදු කර ගත්තා ය. සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වූවා ය. සිව් පිළිසිඹියාවෙන සමන්විත ව පුනර්භවයෙන් නිදහස් වූවා ය. ඒ නිසා පින්වත් මහණෙනි, සියලු සංස්කාරයන් වැනසී යන්නේ ය. තමා පිහිට කොට සතර සතිපට්ඨානයේ සිත පිහිටුවා ගෙන වාසය කරන්න. සප්ත බොජ්ඣංගයන් වඩා සියලු දුක් කෙළවර කර දමන්න.”

මෙසේ සසරේ පුරන ලද පාරමී අනුහසින් බෝසත් පුතකු හදා වඩා කිරි පොවා ඇති දැඩි කළ ඒ බුද්ධ මාතාව, තමන් හැදූ බෝසතුන් සම්බුදු බවට පැමිණීමෙන් පසු ඒ සදහම් අමා දිය දහරින් සදා සැනසීමට පත් වූවා ය. ඒ බුද්ධ මාතාවගේ විමුක්තිකාමී තිරසර අදිටන සුවහසක් කාන්තාවන්ට ගෞතම සසුනේ පිහිට ලබන්නට, සැබෑ ම විමුක්තිය කරා යාමට උපකාරයක් ම විය.

කසාවත් දරා සසුනට විත් බඹසර පුරන්නට මඟ පෑදූ ඒ උත්තම බුද්ධ මාතාවට, ප්‍රජාපතී රහත් තෙරණින් වහන්සේට අපගේ නමස්කාරය වේවා.

නවම් අමාවක

 පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා පූ.භා 08.54 අමාවක ලබා 28 සිකුරාදා පූ.භා. 06.16 න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]