වරදට සමාව දීම මානසික සහනයට උපකාරී ය

වරදට සමාව දීම මානසික සහනයට උපකාරී ය

වැරදීම මිනිස් ගතියකි, සමාව දීම දේව ගතියකි. මෙම ජනපි‍්‍රය, සුපතළ වැකිය ඔබ ද අසා ඇතුවාට සැකයක් නැත. එය සමාජ යාන්ත්‍රණයේ ඉහළම පුරවැසියාගේ සිට පහළ ම පුරවැසියා දක්වා ක්‍රියාත්මක වන, ක්‍රියාත්මක විය යුතු උසස් ගති ලක්ෂණයක් ගැන කියවෙන්නකි.

එමඟින් පුද්ගලයන් අතර පවත්නා වෛරයේ, ක්‍රෝධයේ, කෝපයේ ගිනි දැල් නිවී, සිත්සතන් සන්සුන් වනු ඇත. අඹු සැමි, ගුරු ශිෂ්‍ය, ස්වාමි සේවක ආදී විවිධ සමාජ කොටස් අතර ඇතිවන ආරවුල් භේද භින්නතාවන් සමථයකට පත්ව අන්‍යොන්‍ය සුහදතාව වර්ධනය සඳහා මෙම සමාව දීමේ ගුණය බෙහෙවින් ම හේතු වේ.

එය එසේ වුවත්, එම වැකියේ සඳහන් පරිදි සමාව දීම දේව ගතියක් වන්නේ කෙසේද? මෙයින් හැඟෙන්නේ මනුෂ්‍යත්වයට වඩා දේවත්වය උසස් බවත්, මිනිසාගෙන් සිදුවන වැරදිවලට එම දේවත්වය විසින් සමාව දෙන බවත් ය. ඇතැම් විට මේ ගැන මෙවැනි අදහසක් ද ගම්‍ය වන බව දැකිය හැකි ය. එනම් මිනිසාගෙන් සිදුවන වැරැදි ඉවසා, එය නොතකා හැර, ඒවාට සමාව දීම මිනිසා තුළ ම පවත්නා උසස් ගතියක් බව ඉස්මතු කර දැක්වීම සඳහා මනුෂ්‍යත්වයට දේවත්වය ආරෝපණය කිරීමේ රුචියෙන් කළ දෙයක් වන්නට පුළුවන. වැරැදි සිදු වූ මිනිසාට සමාව දෙන්නේ ද මිනිසෙක් මිස දෙවියකු නොවේ.

ඇතැම් දේව නිර්මාණවාදී ආගම්වල පව් කමා කිරීමෙන්, කළ පව්වලින් නිදහස් වීමක් ගැන ඉගැන්වේ. එවැනි දේ ඒ ඒ ආගම්වලට ආවේණික චාරිත්‍රයන් ය. එසේ පව් කමා කර ගත හැකි නම්, මිනිසාගේ පව්වලට දෙවියන් සමාව දෙන්නේ නම් මිනිසාට ඕනෑම පාප කර්මයක් කර දෙවියන්ගෙන් සමාව අයැද එම වගකීමෙන් නිදහස් විය හැකි ය. එය පාපයට අනුබල දෙන, පුද්ගලයාගේ හා සමාජයේ අවැඩ පිණිස, අනර්ථය පිණිස ම හේතු වන කාරණයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

වැරැදිවලට දෙවියන්ගෙන් සමාව අයැදි විට, දෙවියන් එයට සමාව දුන් බව හෝ නොදුන් බව හෝ අප දන්නේ, දැන ගන්නේ කෙසේද? කිසි දිනෙක එවන් අවස්ථාවක් අපේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ අනුභූතියකට හසුනොවනු ඇත. මිනිසාගෙන් සිදුවන වැරැදිවලට දෙවියන්ගෙන් කෙසේ වෙතත් මිනිසකුගෙන් ම සමාව ලැබෙන අවස්ථා නම් අප කොතෙකුත් අසා, දැක තිබේ. එබැවින් ‘මිනිසකුගෙන් සිදුවන වැරැදිවලට සමාව ලැබෙන්නේ ද මිනිසකුගෙන් ම ය.” යන පිළිගැනීම මනුෂ්‍යත්වය කෙරෙහි අප තුළ ගෞරවාන්විත හැඟීමක් ඇති කිරීමෙහිලා හේතු වේ.

මිනිසකුට මිනිසකුගෙන් වුව ද එසේ සමාවක් ලැබෙන්නේ දෙවියන්ගේ බලපෑම, පිහිට මත ම යැයි මනුෂ්‍යත්වයට වඩා දේවත්වයට ගරුත්වය දක්වන දේවවාදී පුද්ගලයකු සමහරවිට කිව හැකි ය. එවන් පුද්ගලයන්ට අපි සමාව දෙමු යැයි කියනු හැර අන් කුමක් කියන්න ද?

“වැරදීම මිනිස් ගතියකි.” යන්න ද වැරැදි අදහසක් නොවේ දැයි විටෙක සිතේ. ප්‍රමාද දෝෂය, අතපසුවීම, අමතකවීම, මතක නැති වීම් වැනි ස්වභාවයන් තුළ බොහෝවිට සාමාන්‍ය සුළු වැරදීම් සිදු වේ. එහෙත් බරපතළ වැරැදි මිනිසා සිදු කරන්නේ ක්ලේශ වසඟයට යාම නිසා ය. එය පෘථග්ජනභාවය හෙවත් පුහුදුන් බවයි.

“මිනිස් ගතිය” වන්නේ ද එය ම ය. වැරැදි සිදුවීම හා වැරදි සිදු කිරීම යනු දෙකක් මිස එකක් නොවේ. වෙනස් ලෙසකින් කිවහොත් වැරැදීම එකකි. වැරැද්දීම තවත් එකකි. ඉහත කී අතපසුවීම් ආදියෙන් සිදුවන්නේ වැරදීම් ය. එවන් අවස්ථා “අත්වැරැදීම්” ලෙස ද හැඳින්වේ. දිනපතා රසට ආහර වේල සකසන අම්මා ඇතැම් දවසක ව්‍යාංජනයකට දෙපාරක් ලුණු දමා ඇත. ඒවා අහඹු සිදුවීම්, අත්වැරදීම් ලෙසයි සැලකෙන්නේ.

අත්වැරදීම්, අමතක වීම්, අතපසුවීම්වලට පවා කිසියම් මානසික කැළඹීමක් බලපෑ හැකිය. සිග්මන් ෆ්‍රොයිඩ් පවසන්නේ මිනිසාගෙන් සිදුවන හැම අහඹු සිදුවීමකට ම කිසියම් අවිඥානක බලපෑමක් හේතුවන බවයි. මේ මතයට අපට එකඟ විය හැකි ය. අපේ ජීවිතයේ ම මෙවන් අවස්ථා ගැන සියුම්, කාල්පනික පුනරීක්ෂණයක යෙදෙතොත් එහි සත්‍යතාව තහවුරු වනු ඇත.

වැරැදීම එසේ අවිඥානික බලපෑම් මත සිදුවන අතර, වැරැද්දීම සිදුවන්නේ සවිඥානක බලපෑම් මත ය. එනම් මිනිසා වැරැදි කරන්නේ සිතා මතා (සචේතනික) පිළිවෙළ කළ සැලසුම් අනුව ය. මේ කුමන ආකාරයක දෙයක් වුව ද, එය පාපයක් නම් දෙවියන් ඉදිරියේ ඒ පව් කමා කිරීමෙන්, දෙවියන්ට එම පව් පවරා දී තම අත සිත පිසදා ගත් පමණින් ඒ හා සම්බන්ධ වගකීමෙන් තමන් නිදහස් වන්නේ නැත. එහෙත් කවුරුන් ඉදිරියේ හෝ තම හෘදය සාක්ෂියේ පාරිශුද්ධභාවය සඳහා පාපොච්චාරණයක යෙදී මතුවට එවන් වරදක් සිදු නොවන්නට මානසික එකඟතාවකට පැමිණීම යෙහෙකි. මිනිසාගේ ඉහළ ම, උසස් ම දේවත්වය වන්නේ ස්වකීය හෘදය සාක්ෂිය යි. චිත්තාධිකරණයේ එම විශ්වසනීය සන්ධානගතභාවය මිනිසාගේ මානසික විරේකය, සැහැල්ලුව හා සහනය පිණිස මහෝපකාරී වේ.

දුරුතු අව අටවක

  ජනවාරි 28 අඟහරුවාදා අ.භා 07.33 අමාවක ලබා 29 බදාදා අ.භා 06.04න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 29

First Quarterපුර අටවක

පෙබරවාරි 05

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]