දුරුතු අමාවක පෝ දා
2025-01-29
බාහිර උවදුරුවලින් මිදෙමු
යහපත් ජීවිතයකට මාහැඟි ධර්මෝපදේශ සම්බුද්ධ දේශිතයේ අන්තර්ගත ය. ලෝක සත්වයාට
නිරන්තරයෙන් මුහුණ දෙන්නට සිදුවන ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා,දුක-සැප යන
අටලෝදහමට නොසැලී මුහුණ දෙන්නට සිත ශක්තිමත් කර ගත හැකි වන්නේ ධර්මානු ධර්ම පටිපන්න
පුද්ගලයාට ය.
අප තථාගතයන් වහන්සේගේ අවසන් අවවාදය වූයේ යො ධම්මං පස්සති සො මං පස්සති යන්නයි. එනම්
යම් කෙනෙක් ධර්මයට වඳින්නේ නම් ඒ මට (තථාගතයන් වහන්සේට) වැඳීමක් වන්නේ ය යනුවෙනි.
ධර්මයට වන්දනා කරන පුද්ගලයා කිසිවිටෙක ධර්මයට පිටුපාන්නේ නැත. හේ ජීවිතයේ මුහුණ දෙන
කවර ගැටලුවක්, ප්‍රශ්නයක්, පීඩාවක් හමුවේ වූව ද ඊට නොසැලෙන සිතින්, ශක්තිමත් ව,
ධර්මානුකූල පදනමකින් මුහුණ දෙයි. සම්බුද්ධ චරිතයේ අවස්ථා සිහි කරමින් තම ශාස්තෘන්
වහන්සේ ආදර්ශයෙන් පෙන්වා වදහළ මඟ යන්නට හැකි උපරිමයෙන් උත්සාහ කරයි.
විශේෂයෙන් ගිහියාට සමාජ ඇසුරින් දුරස් ව ජිවිතය පැවැත්වීම අසීරු ය. එහෙත් සමාජය
ඇසුරු කළ යුතු හොඳින් දැන හඳුනාගෙන ය. මහා සැඩ සුළඟක දී අතුපතර විහිද ගිය මහා නුග
වෘක්ෂයක් වූව ද ආරක්ෂා වන්නේ පරිවාර වෘක්ෂයන් වන්නේ නම් ය. තනි ව පිහිටියේ නම් සැඩ
සුළඟ ඉදිරියේ අතු ඉති කැඩී යාම වැළැක්විය නොහැකි ය. එසේත් නැති නම් කඳ මැදින් බිඳී
යන්නට පුළුවන. ගස ඉදිරී යන්නට වුව බැරි නැත. එහෙත් පරිවාර වෘක්ෂයන් වූයේ නම් එවැනි
විනාශයකට මුහුණ දෙන්නට සිදු වන්නේ නැත. අජීවී නුග වෘක්ෂයට පොදු මේ ධර්මතාව ජීවි
මිනිසාට ද පොදු ය. ඔහු ඥාති හිතමිත්‍රාදීන් පිරිවරා සිටින විට බාහිර උපද්‍රව, කරදර
වීමට ඇති අවකාශය අවම ය. එහෙත් මේ හිත මිතුරන්, ඥාති මිත්‍රාදීන් කවුද යන්න දැන
ගැනීම ඉතා වැදගත් ය.
අද හිතමිතුරන් නිසා කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ම ජිවිතය විනාශ කර ගන්නා
අවස්ථා ඉහළ ය. පාසල් යන දරුවන් තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, අනිසි සබඳතා වේ නම්
ඒ සියල්ල පිටුපස සිටින්නේ අයහපත් මිතුරන් ය. විනාශ වන තරුණ ජීවිත පිටුපස සිටින්නේ ම
පාපී මිතුරන් ය. වැඩිහිටියනට ද මෙහි වෙනසක් නැත. මේ නිසා තමන් ඇසුරු කරන්නේ කවුද,
ඇසුරු කළ යුතු කවුද යන්න පිළිබඳ මනා අවබෝධයක් වැටහීමක් තිබිය යුතු ම ය. යම් හෙයකින්
අයහපත්, පාපී පුද්ගලයන් පිරිවරා සිටිනවාට වඩා යහපත් මිතුරන් නොවේ නම් තනි ව
ජීවත්වීම යහපත් ය.
බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දී දේශනා කොට වදාළේ
අසෙවනා ච බාලානං - පණ්ඩිතානඤ්ච සේවනා
පූජාච පූජනීයානං - ඒතං මංගල මුත්තමං
නරක පුද්ගලයන් ඇසුරු නොකිරීම, කලණ මිතුරන් සමඟ නිති ඇසුර, පිදිය යුතු අය පිදීම
උතුම් මංගල කරුණු බව ය.
මේ උපදෙස් ජීවිතයට ප්‍රායෝගික කර ගන්නවා නම් එය ම ජිවිතය ඔසවා තැබීමට සමත් ය. |