පසුතැවීම
දුරු කරන්නා
වළාවෙන් මිදුන පුන්සඳ සේ බබළනවා
අද ඔබත්, මමත් පේ‍්‍රත, තිරිසන්, අසුර සහ නිරය කියන සතර අපායෙන් නිදහස් ව සුගති
ලෝකයක උපත ලබා තිබෙනවා. එහෙත් එය ස්ථිර වූ උපතක් නොවේ. තාවකාලික නවාතැන් පළක් ලෙසයි
මේ මිනිස් ජීවිතයේ දී ආයුෂ අප ගෙවා දමන්නේ.
මනුස්ස ලෝකයේ උපන් අප කා අතිනුත් හොඳ වගේ ම නරකත් අඩුවැඩි වශයෙන් සිදු වෙනවා. අපි
හිතමු කෙනෙක් පසුගිය ගෙවා දැමූ වසර ගැන ආපසු හැරී නො බලා මේ අලුත් ව්‍යවහාර වසර
තුළත් කළ වැරැදි ඒ ආකාරයෙන් කරනවා නම් ඔහු හෝ ඇය හෝ වසර අලුත් වුණාට තමාගේ සිතුම්
පැතුම් චර්යාව අලුත් කර ගෙන නැහැ.
තව කෙනෙක් ගෙවා දැමූ වසර තුළ ආපසු හැරී බලනවා. ඔහුට පේනවා තමන් අතින් සිදු වූ
අඩුපාඩු. වැරැදි. තමන් පැරදුන තැන්. එවිට ඔහු නුවණින් කල්පනා කරලා අලුත් වසරේ අලුත්
වෙනවා. අඩුපාඩු වැරැදි හදා ගන්නවා. ඉදිරියේ දී ඒ වැරැදි නොකිරීමට උත්සාහ කරනවා. එසේ
වැරැදි හදා ගැනීම භාග්‍යවතුන් වහන්සේ වදාළේ සිහිය නැමැති ගුණය දියුණු කර ගැනීමක්
ලෙසයි.
ශ්‍රාවකයෙක් තම ජීවිතය ගැන පසුවිපරමක් නොකළේ නම් අලුත් වසරක් උදාවුවත් ඔවුන්
හැසිරෙන්නේ පරණ ආකාරයට ම යි. කරන්නේ පරණ වැරැදිම යි. ඔවුන්ට අලුත් වූයේ වසරේ
ඉලක්කමක් පමණයි. නව වසරේත් පරණ පුරුදු සමඟ ඔවුන් මරණය වෙත ළං වෙනවා. ජීවිතයේ ආපස්සට
හැරී වැරදුනු තැන් නිවැරැදි කර ගෙන ජීවිතය අලුතින් පටන් ගන්න උත්සාහ කළා නම් ඔවුන්ට
නව වසර අලුත් අවුරුද්දක් වේවි.
මිනිසුන් වූ අප කා අතිනුත් කො තැනක හෝ වැරැදි නො කරපු කෙනෙක් සොයා ගන්නට අමාරුයි.
අප කවුරු වෙතිනුත් බොහෝ කොට වැරැදි සිදු වී තිබෙනවා. ජීවිතය දෙස ආපසු හැරී බලද්දී
ගත් නිවැරැදි තීරණ නිසා අපි අදත් සිටින්නේ සතුටින්. එහෙත් ඇතැම් තැන්වල ගත් වැරැදි
තීරණ නිසා අදටත් අපට ඇතැම් විට පසුතැවීමක් උරුම වෙලා සිත අසතුටින් තිබෙන්න පුලුවන්.
මේ දෙකෙන් සිත නිතර ම තෝරා ගන්නේ, වැඩි බර දෙන්නේ අතපසු වූ වැරදුනු තැන් නිතර නිතර
මතක් කර දෙන්නට යි. අපගේ සිතේ ස්වභාවය එය යි.
පසුතැවීම භාග්‍යවතුන් වහන්සේ වදාළේ අකුසලයක් ලෙස යි. ඒ අකුසලය විසින් අපගේ සිත
ආවරණය කරනවා. උද්ධච්චකුක්කුච්ච හෙවත් සිත විසිරීම සහ පසුතැවීම කියන නීවරණය
අකුසලයටයි අයිති වන්නේ. ඒ අකුසලය භාග්‍යවතුන් වහන්සේ උපමාවකින් හඳුන්වා දුන්නේ,
සුළඟින් කැළඹී ගිය, අවුල් වූ දිය රැඳී ඇති දිය බඳුනකට යි. කෙනෙක් ඒ දිය බඳුනෙන්
මුහුණ බැලුවාට පැහැදිලි ව පෙනෙන්නේ නැහැ. ඒ වගේමයි සිතේ පසුතැවීමෙන් සහ සිතේ
විසිරීමෙන් වාසය කරන කෙනාට තමාගේ හෝ අනුන්ගේ හෝ යහපත පෙනෙන්නේ නැහැ.
අපගේ ශාස්තෘන් වහන්සේ තමන් වහන්සේ ශ්‍රාවකයාට, වැරදුනු තැන් ගැන පසු නො තැවී මතු ඒ
වරද නො කිරීම පිණිස සංඛධම සූත්‍රයේ දී මෙසේ වදාළා.
භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් සතුන් මැරීම ගැන, සොරකම, වැරැදි කාමසේවනය,
බොරුකීම, මත්පැන් පානය ගරහනවා. බලවත් ව ගරහනවා. මේ සියල්ලෙන් වළකින්නට කියලත් දේශනා
කරනවා. මා විසිනුත් සතුන් මැරීම, සොරකම, කාමය වරදවා හැසිරීම, බොරුකීම, මත්වතුර
පානයට ආදි යම්තාක් අකුසල් ඇත්නම් ඒ තාක් ම ඒ අකුසල් කරලයි තිබෙන්නේ. මම කළ දේ යහපත්
නොවේ. හොඳ, ප්‍රශංසා ලබන දේ නොවේ. හැබැයි මම කළ ඒ දේ ගැන පසුතැවුණා කියලා මා විසින්
ඒවා නො කළා වෙන්නේත් නැහැ’ මේ ආකාරයට නුවණින් විමසා ඒ පාප කර්මය අත හරිනවා.
ඉදිරියටත් ඒවායින් වැළකී සිටිනවා. මේ ආකාරයට ඒ පාපකර්ම ප්‍රහානය වෙනවා. ඒ පාප කර්ම
ඉක්මවා යනවා.
එයින් අපට තේරෙනවා අපගේ භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවකයා කො තරම් නුවණැති බවට පත්කර
තිබෙනවා ද කියලා. කල වැරැදිවලට අප කෙතරම් පසුතැවුනත් ඒවා නැවත නිවැරැදි වෙනවා ද?
එනිසා කළ වැරැද්ද, වැරැද්ද ලෙස හඳුනාගෙන මතුවට ඒ වැරැද්ද නොවීම පිණිස කටයුතු කිරීම
යි කළ යුතු වන්නේ.
භාග්‍යවතුන් වහන්සේ උපකාරයෙන් හරි වැරැද්ද තෝරාගෙන, සිදු වූ වැරැදි ගැන පසු නො තැවී
ජීවිතය සකස් කර ගත් බොහෝ දෙනෙක් බුද්ධ කාලයේත් සිටියා. ඊට පසුවත් සිටියා. ඔවුනට
පසුනොතැවීම කියන එකම ගුණධර්මය මහා ආශිර්වාදයක් වුණා.
අප අසා තිබෙනවා ආලවක නම් බිහිසුණු, මිනීමස්කමින් ජීවත් වූ යක්ෂයෙක් ගැන. අපගේ මහා
කාරුණිකයන් වහන්සේ ඒ බිහිසුණූු යක්ෂයාට කරුණාවෙන් අලව් භවනට වැඩියා. එය ආරංචි වූ
අලව් යකු හෙන හඬ දීගෙන, මහා ගර්ජන කරමින් පැමිණ මහා ඝෝෂා කළා. බැරිම තැන “ශ්‍රමණය,
මෙතැනින් පිට වෙනු” කිව්වා. සකල ලෝකය ම අළු කර දමන්නට තරම් ඍද්ධි තිබූ නමුත් කුරා
කුහුඹුවෙක්ට තරම්වත් හිංසා නො කරන අපගේ භාග්‍යවතුන් වහන්සේ යක්ෂයා දමනය කිරීම පිණිස
ඔහුගේ තරහ සිත පහව යනතුරු තුන් වතාවක් අලව් යකුගේ භවනෙහි ඇතුළටත්, පිටටත් වැඩම කළා.
සතරවැනි වර යකුගේ කේන්තිය තරමක් අඩු වුණා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා තමන්
වහන්සේ පිටතට නො වඩින බවත් කළ හැකි දෙයක් කරන ලෙසත්. එවිට යකු පවසනවා
“ශ්‍රමණය, මම අසන ප්‍රශ්නවලට පිළිතුරු නො දුන්නොත් ඔබගේ සිත මම උමතු කරනවා. හදවත
පළා දමනවා. දෙපයින් අල්ලා ගඟින් එතෙරට වීසිකර දමනවා”යි කිව්වා.
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිය පුදුම යි. එතරම් දේ කියූ යක්ෂයා ඇසූ ප්‍රශ්නවලට
පිළිතුරු ගාථා ලැබෙද්දී ආලවක ඒවායේ අර්ථ මෙනෙහි කරමින් සතර අපායෙන් එතෙර වුණා මිස
භාග්‍යවතුන් වහන්සේට සිදුකළ හිරිහැර ගැන සිත සිතා පසුතැවුනේ නැහැ. අපට වුණා නම්
“අනේ මම මෙබඳු උත්තමයකුට ද හිරිහැර කළේ” සිතමින් සිතේ නීවරණ බලවත් කර ගනිමින්
පසුතැවීම නම් අකුසලය උපදවා ගන්නවා. සෝතාපන්න වූ අලව් යකු දැන් යක්ෂ ආත්මයෙන් මිදී
ආලවක දෙව් රජු ලෙස දෙව්ලොව උපත ලබා සිටිනවා. ඒ දෙව් රජු බුදු සසුන රකින සෙන්පති
දෙව් කෙනෙක්.
එලෙස ම අංගුලිමාලගේ කතා පුවත අප හැමෝම දන්නවා. ඔහුට ඇඟිලි මාලය සම්පූර්ණ කිරීමට එක්
ඇඟිල්ලක් අඩුව තිබෙද්දී භාග්‍යවතුන් වහන්සේ මහ වනයට වැඩියේ. භාග්‍යවතුන් වහන්සේ
දුටු ඔහු කඩුව අමෝරාගෙන දිව එන්නට පටන් ගත්තා. ඒ දිව යාම කෙතරම් ද? යොදුන් තුනක්
හෙවත් කිලෝමීටර් 30 දුර දිව්වා. බැරිම තැන කෑගසා කිව්වා “ඒයි ශ්‍රමණය, නැවතියන්.”
භාග්‍යවතුන් වහන්සේ වදාළා ‘අංගුලිමාල, මම නැවතිලයි ඉන්නේ. ඔබ නවතින්න” ඒ වදන ඇසූ
විට අංගුලිමාලට ඒ වචනවල අර්ථය වැටහුණා.
සියලු පසුතැවීම් පසෙක ලා බුදු බණ පදයක අර්ථ සොයා සිත දිව ගියා. කසාවත දැවටුණා. සතර
අපායෙන් නිදහස් වුණා.
පසු කලෙක උන්වහන්සේ වදාළා” කවුරුහරි කෙනෙක් තමන් කලින් කළපව් පසුව උපදවාගත් කුසල්
බලයෙන් වසා දැම්මොත් ඔහු මේ ලෝකය එළිය කරන්නේ වළාකුළකින් මිදුණූ පුන්සඳක් වගෙයි”
කියා. (අංගුලිමාල සූත්‍රය - ම.නි. 02)
නයනා නිල්මිණී |