මවුපිය වැඩිහිටි උතුමන් පුදනා
දෙලොව ම සැප සේ සුව සේ හිඳිනා
මවුපිය උපස්ථානය....
දරුවනට මවුපියන් තරම් ශ්‍රේෂ්ඨ පුද්ගල කොටසක් ලෝකයේ වෙනත් නොවේ. ගෙදර සිටින බුදුන්
හැටියට සාමාන්‍ය ලෝකයා හඳුන්වනුයේ මවුපිය දෙදෙනා ය. බුදුරජාණන් වහන්සේ විසින්
මවුපියන් මහාබ්‍රහ්ම, පුබ්බ දේව, පුබ්බචරිය, ආහුන්‍යෙය යන ගුණපදවලින් හඳුන්වා තිබේ.
“බ්‍රහ්මාති භික්ඛවෙ මාතාපිතුන්නං එතං අධිවචනං. පුබ්බා චරියාති භික්ඛවෙ
මාතාපිතුන්නං එතං අධිවචනං. පුබ්බ දෙවාති භික්ඛවෙ මාතාපිතුන්නං එතං අධිවචනං.
ආහුනෙය්‍යාති භික්ඛවෙ මාතාපිතුන්නං එතං අධිවචනං. තං කිස්ස හෙතු? බහුකාරාභික්ඛවෙ
මාතාපිතරො පුත්තානං ආපාදකා පෙයකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරොති.”
(අං.නි.චතුක්ක නිපාතය)
“මහණෙනි, පූර්ව මවුපියනට ‘බ්‍රහ්ම යන මේ නමකි. මහණෙනි, මවුපියනට ‘පූර්වාචාර්ය’ යන
මේ නමකි. මහණෙනි, මවුපියනට ‘පූර්වදේව් යන මේ නමකි. මහණෙනි, මවුපියනට ‘ආහුනෙය්‍ය’ යන
මේ නමකි. ඒ කවර හෙයින්ද යත්? මහණෙනි, මවුපියෝ දරුවනට බොහෝ උපකාරයහ. හදා වඩා මෙලොව
එළිය දක්වන්නෝ වෙති. යනු එහි අදහස ය.
බ්‍රහ්ම.....
‘බ්‍රහ්ම’ යනු මවුපියනට කියන නමකි. ‘බ්‍රහ්ම’ යනු ලෝකයාගේ ගෞරව නමස්කාරයට පත්
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බඹ විහරණයන්ගෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වූවකි.
මේ ධර්ම සතර බ්‍රහ්මයා ලෝකවාසී සත්ත්වයන් විෂයයෙහි පවත්වයි. එමෙන් ම මවුපියෝ ද
ස්වකීය දරුවන් විෂයයෙහි මේ ධර්ම සතර පතුරුවති. එබැවින් මවුපියෝ දරුවන්ගේ මහා
බ්‍රහ්මයෝ වෙති. දරුවා මවුකුස වසන කාලයේ සිට ම අපගේ දරුවා නීරෝගී සම්පන්න පිරිපුන්
අඟ පසඟ ඇති ව කවදා දකිමු දැයි මවුපියනට මෙත් සිත උපදී. උපන් දරුවා මැසි මදුරු ආදී
සතුන්ගෙන් පීඩා ලැබ හෝ ආහාරපානාදිය නොලැබීමෙන් හෝ හඬන කල්හි ඒ හඬ ඇසුණු මවුපියනට
කරුණාව පහළ වෙයි. දරුවා ක්‍රමයෙන් වැඩෙන විට, කෙළි සෙල්ලම් දකින විට, සුරතල් බස්
කියන විට, මවුපියනට ඒ පිළිබඳ ව බලවත් සතුටක් ඇති වේ. එය මුදිතාව නමි.
දරුවා තරුණ වියට පත් ව ආවාහ විවාහ ජීවිතයට ඇතුළත් ව මවුපියන්ගෙන් වෙන්ව ස්ව
ශක්තියෙන් ජීවත්වන කල්හි එය දකින මවුපියනට දැන් අපගේ උදව් නැතුවාට ඔහුට ජීවත් විය
හැකි යයි සිතමින් දරුවා කෙරෙහි මධ්‍යස්ථතාව නම් උපේක්ෂාව පහළ වෙයි. මෙසේ මවුපියෝ
සිය දරුවන් කෙරෙහි මේ සිවු බඹ විහරණ දහම් පතුරුවති.
පූර්වාචාර්ය.........
“පූර්වාචාර්ය” යනු ද මවුපියනට ව්‍යවහාර කරන නාමයකි. දරුවාට මුල් ඉගෙනීම ලැබෙන්නේ
මවුපියන්ගෙනි. යන එන සැටි, කන බොන සැටි, අඳින පලඳින සැටි, නෑකම් කියන සැටි, ආදී
කුලසිරිත් පිළිබඳ මූලික කරුණු සියල්ල ම කියා දෙනු ලබන්නේ මවුපියන් විසිනි. මෙසේ
මූලික හැඩ ගැසීම පිළිබඳ සිරිත් විරිත් ආදියත් සදාචාර ගුණ ධර්ම ආදියත් පිළිබඳ උපදෙස්
මාර්ගය කියා දී දරුවන් හික්මවා සුමඟෙහි යොදවන නිසා මවුපියෝ පූර්වාචාර්යයෝ වෙති.
පූර්වදේව........
‘පූර්වදේව‘ යනු ද මවුපියනට කියන නමකි. ලෝකයේ දෙවිවරු ද කොටස් තුනක් සිටිති.
උත්පත්ති දේව, සම්මුති දේව, විසුද්ධි දේව යන මොවුහු වෙති. උත්පත්තියෙන් ම දෙව්ලෝ
වැසි වූ දෙවියෝ උත්පත්ති දේව නම් වෙති. රටවැසියා විසින් දේවයන් වහන්ස, යනුවෙන්
සම්මත කරන ලද රජවරු සම්මුති දේව නම් වෙති. කෙලෙස්වලින් මිදුණු බුදු, පසේ බුදු,
මහරහත් උතුමෝ විසුද්ධි දේව නම් වෙති. උන්වහන්සේට එසේ ව්‍යවහාර කරන්නේ තමන්ට අපරාධ
කළවුන් කෙරෙහි නො කිපී, පළි ගන්නේ නැති ව ඔවුනට යහපතක් ම සිදු කරන බැවිනි.
මවුපියෝ ද ස්වකීය දරුවන් තද වැරැදි කළ විට, තමන්ගේ අවවාදයනට කීකරු නො වූ විට තදින්
දොස් නඟති. එහෙත් ඔවුන්ගෙන් පළි ගැනීමේ චේතනාවක් මවුපියන් තුළ නොමැත. ඔවුන්ගේ
දියුණුවට වැඩ සලසති. මෙසේ හෙයින් මවුපියෝ විසුද්ධි දේව නම් වෙති.
ආහුනෙය්‍ය.......
මවුපියෝ ආහුනෙය්‍ය යන නමින් ද හඳුන්වති. ආහුනෙය්‍ය යනු පූජා සත්කාර ලැබීමට සුදුසු
උතුමෝ ය. මවුපියවරු දරුවන්ගේ පූජා සත්කාර ගෞරව ලැබීමට සුදුස්සෝ වෙති. දරුවන්ගේ
සියලු කටයුතු ඉතාමත් ආදරයෙන් ඉටුකරන, මුළු හදවතින් ම දරුවන්ගේ අභිවෘද්ධිය නිරතුරු
අපේක්ෂා කරන මවුපියන් වෙත දුර බැහැර සිටින දූ දරුවන් අවුත් ආහාර පාන වස්ත්‍රාදිය
පුදා ගෞරව භක්තිය දක්වන්නේ ඔවුන් මේ ආහුනෙය්‍ය ගුණයෙන් යුක්ත නිසා ය.
මවුපියෝ දරුවන්ට බොහෝ උපකාර ඇති කොටසකි. දරුවන්ගේ ජීවිත රකින්නෝ වෙති. පෝෂ්‍ය
කරන්නෝ වෙති. මේ ලෝකයේ එළිය ලබා දෙන්නෝ වෙති. මෙසේ අනන්ත වූ ගුණයන්ගෙන් ඔවුහු යුක්ත
වෙති.
බ්‍රහ්ම, පුබ්බ දේව, පුබ්බාචාරිය - ආහුනෙය්‍ය යන ගුණයන්ගෙන් යුත් මවුපියනට දරුවන්
විසින් සැලකිය යුතු ආකාරය ධර්මයෙහි සඳහන් වන්නේ මෙසේ ය.
“අන්නෙන අථ පානෙන වෙත්‍ථන සයනෙනච උච්ඡාදනෙ නහාපනෙ පාදානං ධොවනනෙච තායං නං පරිචරියාය
මාතාපිතූසු පණ්ඩිතා ඉධ වෙව නං පසංසන්ති පෙච්ච සග්ගෙ ච මොදති“
“ආහාරයෙන් ද, පානයෙන් ද, වස්ත්‍රයෙන් ද, සයනයෙන් ද, ඇඟ ඉලීමෙන් ද, නෑවීමෙන් ද, පා
සේදීමෙන් ද, සත්කාර කරන්නේ ය. මවුපියන් කෙරෙහි කරනු ලබන ඒ වතාවත් කරණ කොට ගෙන
පණ්ඩිතයෝ මෙලොවදීත් ඔවුන් පසසත්. පරලොව ගොස් ස්වර්ගයෙහි ද සතුටු වෙයි.” යන මේ
දේශනාවෙන් එය පැහැදිලි වෙයි.
මේ සඳහන් කරන ලද උවටැන්වලින් වැඩි කොටසක් කරන්නට හැකි වන්නේ ධන සැපයීමෙහි යෙදුණු
වැඩිවිය පත් දූ දරුවන් හට පමණකි. ඉගෙන ගන්න, ළමා විය නො ඉක්ම වූ දරුවනට එය කළ
නොහැකි ය. එහෙත් වැඳුම් පිදුම් කිරීමට, මවුපියන්ගේ වැඩවලට ආධාර කිරීමට ආදී වශයෙන්
කළ හැකි කටයුතු කොටසක් ඇත. එය ඉටුකිරීම කුඩා දරුවන්ගේ යුතුකමකි.
වැඩිවිය පැමිණි දූ දරුවන් විසින් නම් මවුපිය උපස්ථානය නො අඩුව කළ යුතු ය. දරුවන්
හැම දෙනා ම මවුපියන්ගෙන් ලත් උපකාරවලට ණයකාරයෝ වෙති. ඒ ණය බරින් නිදහස් වීමට නම්
මවුපිය උපස්ථානය නිසි ලෙස ඉටු කළ යුතු ය. ගිහි දරුවනට පමණක් නොව, පැවිදි වූ දරුවනට
පවා මවුපිය උපස්ථාන කිරීමට බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරා තිබේ.
ප්‍රත්‍යුපකාරය...........
මවුපියන් තරම් දරුවන්ගේ දියුණුවට හා වර්ධනයට උපකාර කරන වෙන කොටසක් ලොව නොවේ. මාතෘ
පිතෘ ගුණ සූත්‍රයේ දී තමන්ගේ මුළු ජීවිත කාලය ම වුව ද මවුපිය උපස්ථානයේ යෙදී
සිටියත්, සියක් වසක් මුළුල්ලෙහි සියුලු ම උවටැන් ආදිය කිසිදු අඩුවෙක් නැති ව
සම්පූර්ණ කළත්, බොහෝ සත්රුවනින් පිරුණු මේ මහ පොළොවට අධිපති වූ සක්විති රජයෙහි
පිහිටුවා ක්‍රියා කළත් මවුපියන් කළා වූ උපකාරයට ප්‍රත්‍යුපකාර කළා නො වන්නේ යැයි
වදාරා තිබේ. එසේ වූවද යම්කිසි දරුවෙක් කරුණු සතරකින් උපකාර කෙරෙයි නම් හේ
ප්‍රත්‍යුපකාර කළා වන්නේ යැයි ද එම සූත්‍රයෙහි ම සඳහන් කර තිබේ.
“යොච ඛො භික්ඛවෙ? මාතා පිතරො අස්සද්ධෙ සද්ධා සම්පදාය සමාදපෙති නිවෙසෙහි
පතිට්ඨාපෙති, දුස්සීලෙ සීල සම්පදාය, මච්ඡරී චාග සම්පදාය, දුප්පඤ්ඤෙ පඤ්ඤා සම්පදාය
සමාදපෙති නිවෙසෙති පතිට්ඨාපෙති, ඵත්තාවතා ඛො මාතා පිතුන්නං කතඤ්ච හොති. පතිකතඤ්ච,
අතිකතඤ්චාති”
(සුප්පතිකාර සූත්‍රය)
“මහණෙනි, යම්කිසි දරුවෙක් අශ්‍රද්ධාවත් මවුපියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි සමාදන්
කරවයි ද, ඇතුළත් කරවයි ද, පිහිටුවයි ද, දුශ්ශීල මවුපියන් ශීල සම්පත්තියෙහිත්, මසුරු
මවුපියන් ත්‍යාග සම්පත්තියෙහිත්, ප්‍රඥාව නොමැති මවුපියන් ප්‍රඥා සම්පත්තියෙහිත්
සමාදන් කරවයි ද, ඇතුළත් කරවයි ද, පිහිටුවයි ද, එපමණකින් හෙතෙමේ මවුපියනට උපකාර කෙළේ
ද, ප්‍රත්‍යුපකාර කෙළේ ද, අධික කොට උපකාර කෙළේ ද වෙයි.” යනුවෙන් එය විස්තර වෙයි.
මේ සඳහන් කරන ලද කරුණු සතරින් එකකින් නමුත් මවුපියනට උපකාර කරයි නම් එය ලොකු ම
සංග්‍රහය වන්නේ ය.
සමහර මවුපියෝ අශ්‍රද්ධාවන්තයෝ ය. මෙලොවක් පරලොවක්, කර්මයක්, විපාකයක් විශ්වාස
නොකරන්නෝ වෙති. සමහරු දුශ්ශීලයෝ ය. යටත් පිරිසෙයින් පඤ්ච ශීලයවත් නො රකින්නෝ වෙති.
තවත් සමහරු තද මසුරු අය වෙති. තමන්ගේ ප්‍රයෝජනය පිණිස හෝ දූ දරුවන්ගේ දියුණුව පිණිස
හෝ ආගමික හා ජාතික කටයුතු පිණිස හෝ ධනය වියදම් නොකරන තද මසුරෝ වෙති. තවත් කෙනෙක්
මහා මෝඩයෝ ය. කළ යුතු නො කළ යුතු දේ, ගත යුතු, නො ගත යුතු දේ මොනවාදැයි තේරුම් කර
ගැනීමෙහි අවබෝධයක් නැති අනුවණයෝ වෙති. මෙබඳු ගති ඇති මවුපියන් යම්කිසි දරුවකු
විසින් යහමඟට යොමු කරවන ලද්දේ නම් ඔහු ප්‍රත්‍යුපකාර කළා වනු ඇත. සිඟාලෝවාද
සූත්‍රයෙහි දී හැම නුවණැති මවුපිය කෙනකු ම දූදරුවන්ගෙන් බලාපොරොත්තු වන කරුණු පහක්
දක්වා තිබේ. එයට අනුව දරුවෝ ක්‍රියා කරත් නම් අවසාන කාලයේ මවුපියන්ගේ ජීවිත ඉතාමත්
දුක්ඛිත අසරණ තත්ත්වයට කිසිසේත් පත් නොවනු ඇත.
යුතුකම......
බුදුරජාණන් වහන්සේ විසින් ද සිය පියාණන් වූ සුද්ධෝදන රජුටත්, සුළු මෑණියන් වූ
මහාප්‍රජාපතී ගෝතමියටත් අවසාන මොහොතේ දී පවා කළගුණ සලකා තිබේ. දරුවන්ගේ ජීවිත
දියුණු කර ගැනීමට හැම ආශීර්වාදයක් ම ලැබෙනුයේ මවුපියන්ගෙනි. මවුපියන්
ආහාරපානාදියෙන් පෝෂණය කිරීම, මවුපියන්ගේ කාර්යයන්ට සහාය වීම, මවුපියන්ගේ
කුලපරම්පරාව ආරක්ෂා කිරීම, මවුපියන් සතු වස්තුව ආරක්ෂා කිරීම, මිය පරලොව ගිය
මවුපියන්ට පින් පෙත් දීම යන ඉහත දැක්වෙන කරුණු පහෙන් දරුවන් විසින් දෙමවුපියන්
වෙනුවෙන් කළ යුතු යුතුකම් මාලාවක් විස්තර වෙයි. පොදුවේ එකී යුතුකම් සියල්ලන්ගෙන් ම
පැහැදිලි ව ප්‍රකාශ වන්නේ තම දෙමවුපියන් හොඳින් රැක බලා ගෙන, ඔවුන් හොඳින් පෝෂණය
කිරීමෙන්, ස්වකීය පරපුරට කැලළක් නොවන සේ පැවතෙමින්, වස්තුව විනාශ වී යන්නට නොදී ඒවා
රැක බලා ගෙන වැඩිදියුණු කර ගනිමින්, දෙමවුපියන් මළපසු ද ඔවුන්ට පින්පෙත්දීම දරුවන්ට
අයිති යුතුකම බව ය. දෙමව්පියන් පිදීම යනුවෙන් අදහස් කරන්නේ එයයි.
අටවැනි අග්බෝ රජුගේ මාතෘ පූජාව........
අපේ පැරැණි සිංහල රජදරුවන් පවා මවුපියන් පිදූ අයුරු විස්තර කෙරෙන සිද්ධියක් මහා
වංශයෙහි අටවන අග්බෝ රජුගේ චරිත කතාවෙහි මෙසේ දැක්වේ.
මේ රජතෙම දිවා රෑ මෑණියන්ට උපස්ථාන කිරීමෙහි ඇලුනේ විය. උදෑසන ම රජතෙම මෑණියන්
උපස්ථානයට ගොස් හිස තෙල් ගා ඇඟදූවිලි ආදිය උලා, නිය ශුද්ධ කොට ආදර සහිත ව නාවා,
සුවපහස් ඇති අලුත් වස්ත්‍ර තමා ම හඳවා, ඉවත් කළ වස්ත්‍ර ගෙන තමන් ම සෝදා මිරිකා ඒ
වස්ත්‍රයේ ජලයෙන් ඔටුනු සහිත ව තමා හිස තෙමා ඒ මෑණියන් සුවඳමලින් චෛත්‍යයක් මෙන්
පුදා ඇය ප්‍රදක්ෂිණා කොට තුන් වරක් වැඳ ඇයගේ සේවකයනට වස්ත්‍රාදිය ත්‍යාග කොට මාහැඟි
වූ බොජුන් මෑණියන්ට සියතින් වළඳවා, ඉතිරි වූ දෙය තෙමේ ම අනුභව කොට මෑණියන්ගේ සේවක
පිරිසට ද උතුම් වූ රාජ භෝජන වළඳවා, වාසය කරන ගෙය ද සුවඳ කවා, එහි යහනක් මනාකොට,
පනවා පාදයන් සෝදා සිනිඳු කොට සුවඳ තෙල් ගල්වා මිරිකමින් හිඳ ඇය නිද්‍රාවට පමුණුවා
ඇය පැදකුණු කොට තුන්වරක් වැඳ මෙහෙකරුවන්ට ඇය ආරක්ෂා කරන සේ නියෝග කොට ඇය දෙසට පිටු
නොපා පිටිපසින් ම ඉවත්ව නො පෙනෙන තැන්හි සිට නැවත වරක් වැඳ රාජ සේවයට නික්ම ගියේ
ය.”
අටවැනි අග්බෝ රජතුමාගේ මේ දින චර්යාව දෙස බැලීමේ දී එදා අපේ සිංහල බෞද්ධ රජවරුන්
ඇතුළු මහාජනයා තම තම මවුපියවරුන්ට පිදූ හැටි ආශ්චර්යජනක සේ සැලකේ.
යෝ මාතරං වා පිතරංවා -
ජිණ්ණකං ගත යොබ්බනං
පහුසන්තෝ න හරති -
තං ජඤ්ඤා වසලෝ ඉති
යමෙක් මව්පිය උපස්ථානය කිරීමට පුළුවන්කම තිබියදී යොවුන් විය ඉක්මවා මහලු වියට
පැමිණි මව්පියන්ට උපස්ථාන නොකෙරේ නම් ඔහු වසලයකු බව වසල සූත්‍රයෙහි වදාළ සේක.
“යෝ මාතරං වා පිතරං වා ජිණ්ණකං ගත යොබ්බනං පහුසන්තො න හරති තං පරාභවතො මුඛං”
“යමෙක් මව්පිය උපස්ථානය කිරීමට පුළුවන්කම තිබියදී මහලු වූ මව්පියනට උපස්ථාන නො කෙරේ
නම් එය ඔහුට දෙලොව පරිහානියට හේතුවක් යැයි පරාභව සූත්‍රයේ වදාරා ඇත.
මව්පිය පාදාභිවන්දනාව
දස මාසේ උරේකත්වා
පෝසේසි වුද්ධිකාරණං
ආයුදීඝං වස්සසථං
මාතුපාදං නමාමහං
යම් මවක් දස මසක් උසුලා (මතු) අභිවෘද්ධිය පිණිස හෙවත් ශත
වර්ෂයක් ජීවත් වීම පිණිස පෝෂ්‍ය
කළා ද ඒ මෑණියන්ගේ පා වඳිමි.
වුද්ධිකාරෝ ආලිංගිත්වා
චුම්බිත්වා පිය පුත්තකං
රාජමජ්ඣං සුපතිට්ඨං
පීතු පාදං නමාමහං
අපගේ පියාණෝ පි‍්‍රය පුත්‍ර (දුහිතෘ) වූ මා වැලඳ ගෙන සිඹ සනසා ආහාර පානාදිය දීමෙන්
පෝෂ්‍ය කළේ ද, රාජ මහාමාත්‍යාදීන් අතර ප්‍රකට කළේ ද ඒ පියතුමාගේ පා මම වඳිමි.
වැඩිහිටියන්ට - ගුරුවරුන්ට සලකමු.........
වැඩිහිටියන්ට සලකමු.
“අභිවාදන සීලිස්ස
නිච්චං වද්ධා පචායිනො
චත්තාරො ධම්මා වඩ්ඪන්ති
ආයුවණ්ණො සුඛං බලං”
යන ගාථාවෙන් සඳහන් වෙයි.
තමන්ට වඩා වයසින්, ගුණයෙන්, නුවණින්, තපසින්, සීලයෙන් ආදී වශයෙන් වැඩිහිටිකම්වල
නොයෙක් ප්‍රභේදයෝ වෙති. ඒ වැඩිහිටි අයට ගෞරවාදර දැක්වීම උදාර මනුෂ්‍ය ධර්මයකි.
පිදියයුත්තන් පිදීම උතුම් මංගල කරුණක් වශයෙන් “පූජාච පූජනීයානං” යන්නෙන් මංගල
සූත්‍රයෙහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
නිතර සිල්වතුන්, ගුණවතුන් පුදන, ගරුබුහුමන් කරන උදවියගේ ආයුෂ, වර්ණ, සැප, බල යන
චතුර්විධ සම්පත් වර්ධනය වන බව කිව හැකි ය.
වත්මන් සමාජයෙහි බොහෝ සෙයින් ඈත් වී ඇති කරුණක් වශයෙන් මෙය දැක්විය හැකි ය.
මවුපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටි සහෝදර සහෝදරියනට, දයාබර ඤාතීන්ට තමන්ට වඩා සීලයෙන්
ගුණයෙන් නුවණින් උසස් උතුමනට නොසලකන, ගෞරව නො දක්වන තත්ත්වයක් අද අපේ සමාජයේ දක්නට
තිබේ. මෙය වහා ම ඉවත් කළ යුතු දුර්ගුණයකි.
වැඩිහිටියන් පිදීම දෙලොව දියුණුව පිණිස හේතුවන යහපත් ක්‍රියා මාර්ගයකි. එය මෙලොව
නුවණැතියන්ගේ ප්‍රශංසාවටත්, පරලොව සුගති ලෝකයේ උපත ලැබීමටත් හේතු වන බව,
“ය වුද්ධ මපචායන්ති
නරා ධම්මස්ස කොවිදො
දිට්ඨෙව ධම්මෙ පාසංසා
සම්පරා යෙව සුග්ගති”
යන මේ දේශනාවෙන් පැහැදිලි වෙයි. කුල දෙටුවන් පිදීම, ආර්ය චාරිත්‍ර ධර්මයක් වශයෙන් ද
සැලකිය හැකි ය. මේ උතුම් ගුණ ධර්මය බුද්ධාදී උතුමන් විසින් ද පුරුදු පුහුණු කරන
ලද්දකි.
විශේෂයෙන් බෞද්ධයන් විසින් සිදු කළ යුතු ඔවුන්ගේ ජීවිත තුළින් ඉටුවිය යුතු උතුම්
ගුණ ධර්මයකි.
ගුරුවරුන්ට සලකමු......
සමාජයේ පිදිය යුතු පුද්ගලයින් අතර තමන්ට පාඩම් ඉගැන්වූ ගුරුවරු වෙති. අපි ගුරුවරුන්
ගුරුදෙවි නමින් හඳුන්වමු. ඒ ඔවුන්ගේ සම්භාවනීයත්වය නිසා ය. ගුරුවරයා රජයෙන් වේතනයක්
ලබන බවත් සැබෑ ය. එහෙත් එපමණකින් අපි ඔවුන් පහත් කොට නොසලකමු. ගුරුවරයා අපගේ නුවණැස
පාදයි. අප උසස් පුරවැසියන් මෙන් සමාජයේ නංවා තැබීමට ඔහුගේ උපකාරය අපට අවශ්‍ය වෙයි.
ගුරු භක්තියෙන් යුතු ශිෂ්‍යයෝ මනා හික්මීමක් ඇති ව උසස් ලෙස අධ්‍යාපනය ලබති. එවැනි
ගුරු භක්තියක් නැති ශිෂ්‍යයා පිරිහෙයි. බුදුරජාණන් වහන්සේ පැවිදි වූ ශිෂ්‍යයා තමාගේ
දරුවා ය යන සංඥාවෙන් ද, ශිෂ්‍යයා තම ගුරුහිමියන් පියාය යන සංඥාවෙන් යුතු ව ජීවත්විය
යුතු බව වදාරා ඇත්තේ භික්ෂු ජීවිතයේ මනා පැවැත්මට එය ඉවහල් වන නිසා ය. ගිහි
ගුරුවරුන් ද, ශිෂ්‍යයන් තමන්ගේ දරුවන් මෙන් ද, ශිෂ්‍යයන් ගුරුවරුන් පියවරුන් මෙන් ද
සලකා කටයුතු කිරීමෙන් හොඳ යහපත් පුරවැසියන් සමාජයට බිහි කළ හැකි ය.
ආචාර ධර්ම පහක්.....
බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයෙහි ගුරුවරුන් දකුණු දිසාව වශයෙන් හඳුන්වා දුන්
සේක. දක්ෂිණා ශබ්දයෙහි පූජනීය අර්ථයක් ද ඇත. එහෙයින් ගුරුවරයා දක්ෂිණාර්හ පුද්ගලයකු
වශයෙන් ගණන් ගනු ලැබේ. මව්පියන් තමාගේ ජීවිතයට බලපාන තරමට ම ගුරුවරයා ද අපගේ
ජීවිතයට බලපායි. එබඳු ගුරුවරයා කෙරෙහි පැවැත්විය යුතු ආචාර ධර්ම පහක් බුදුරජාණන්
වහන්සේ සිඟාල ගෘහපතියාට දේශනා කොට ඇත.
එනම්, ගුරුවරයා දුටු විට ආසනයෙන් නැඟී සිටිය යුතු ය. ගුරුවරයාට අවශ්‍ය උවටැන් කළ
යුතු ය. ගුරුවරයාට හොඳින් ඇහුම්කන් දිය යුතු ය. ගුරුවරයාට අවශ්‍ය දේ සපයා දිය යුතු
ය. මනාකොට ශිල්පය උගත යුතු ය.
මේ ආචාරධර්ම පහ මැනවින් ඉටු කරන ශිෂ්‍යයා කෙරෙහි ගුරුවරයා තුළ මහත් වූ භක්තියක් හා
ආදරයක් ඇති වෙයි. ඒ ආචාර ධර්ම ඉටුකරන ශිෂ්‍යයාට ද ගුරුවරයා කෙරෙහි මහත් වූ ගෞරවයක්
හා භක්තියක් ඇති වෙයි. තමාට ඉගැන්වූ ගුරුවරයා කෙරෙහි දක්වන ගෞරවය අනිකුත් ගුරුවරුන්
කෙරෙහි ද දැක්විය යුතු ය. තමන්ට ඉගැන්වුවත් නො ඉගැන්වූවත් ගුරුවරයා වනාහි සමාජයෙහි
ගෞරවනීය පූජනීය සම්භාවනීය පුද්ගලයකු හෙයින් සියලු ගුරු භවතුන්ට එකසේ සැලකීම හැමගේ ම
යුතුකමකි. ගුරු සමාජයේ එක්කෙනකු දෙන්නකුගේ අඬුලුහුඬුකම් බලා මුළු ගුරු සංහතිය ම
හෙළා දැකීම බරපතළ වරදකි. |