සසරේ මුණගැසෙන උතුම් සත්පුරුෂ ගුණ කතාව

සසරේ මුණගැසෙන උතුම් සත්පුරුෂ ගුණ කතාව

සත්පුරුෂයා බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ ගිය අයෙකි. සිල්වත් වූ කල්‍යාණ ධර්ම ඇත්තෙකි. බොහෝ අයට උපකාර ඇත්තෙකි. හේ සත්පුරුෂ ඇසුරට ම පි‍්‍රය කරයි. ධර්ම ශ්‍රවණයට ආසා කරයි. ඔහු සෑම විට ම ධර්මයට ම සත්කාර කරමින්, ගරු කරමින් ධර්මය ම පුදයි

මහා මේඝය යම් සේ පරිසරය සුවපත් කරන්නේ ද එසේම, දෙව් මිනිස් ලෝකයාගේ ජීවිතය සුවපත් කරන්නේ ද, අවිදු අඳුර දුරලන්නේ ද, ආලෝකය ලබා දෙන්නේ ද අන් කිසිවකුත් නොව, ඒ මේ ලොව පහළ වන ශාන්ත සත්පුරුෂයෝ ම ය.

මෙත් කරුණා ගුණ පෙරදැරි ව යහපත - අයහපත, කුසල් - අකුසල්, ධර්මය - අධර්මය, විනය - අවිනය, සත් පුරුෂබව - අසත් පුරුෂ බව තෝරා බේරා දී අභය, අවෛරය ලොවට දන් දී මේ මුළු මහත් ලෝකය ම සුවපත් කරන්නෝ ඒ සත්පුරුෂයන් වහන්සේ ම ය.

සියලු ලොව අවබෝධ කර ගත් ඒ බුදුරජාණෝ වැසි දිය දහරත්, සත්පුරුෂයාත් එකිනෙකා සසඳමින් මෙසේ දේශනා කොට වදාළ සේක.

“මහණෙනි, එය මෙබඳු දෙයකි. මහ වැස්ස සියලු ගොවිබිම් සරු කරන්නේ බොහෝ ජනයාට හිතසුව පිණිස වෙයි ද, එසෙයින් ම මහණෙනි, සත්පුරුෂයා යම් පවුලක උපදින්නේ, බොහෝ දෙනාට යහපත, හිතසුව පිණිස ම වේ. මවුපියන් හට යහපත, හිතසුව පිණිස වේ. අඹු දරුවන් හට යහපත ම, හිත සුව පිණිස වේ. දාස කම්කරු පුරුෂයන් හට යහපත, හිත සුව පිණිස වේ. යහළු මිත්‍රයින් හට යහපත, හිතසුව පිණිස වේ. මිය පරලොව ගිය ඥාතීන්ට යහපත හිතසුව පිණිස වේ. රජු හට යහපත, හිතසුව පිණිස වේ. දෙවියන් හට යහපත, හිතසුව පිණිස වේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට යහපත, හිතසුව පිණිස වේ.”

සත්පුරුෂයා බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ ගිය අයෙකි. සිල්වත් වූ කල්‍යාණ ධර්ම ඇත්තෙකි. බොහෝ අයට උපකාර ඇත්තෙකි. හේ සත්පුරුෂ ඇසුරට ම පි‍්‍රය කරයි. ධර්ම ශ්‍රවණයට ආසා කරයි. ඔහු සෑම විට ම ධර්මයට ම සත්කාර කරමින්, ගරු කරමින් ධර්මය ම පුදයි. විශේෂයෙන් ම සත්පුරුෂයා කෙළෙහි ගුණ දන්නා, දකිනා අයෙකි. දෙමවුපියන්ට සලකයි. ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගෞරව සත්කාර දක්වයි. තම වගකීම් යුතුකම් මනා කොට තේරුම් ගෙන ඒවා පැහැර නො හරී. ඔහු තමා තුළ ඇති කිසියම් ම ගුණයක් කරණකොට ගෙන තමා ව හුවා නො දක්වයි. අනුන් හෙළා නො දකී. සත්පුරුෂයා, සත්පුරුෂයා ද හඳුනා ගනී. අසත්පුරුෂයා හඳුනා ගැනීමට ද දක්ෂ වෙයි. සත්පුරුෂයා අනුන්ගේ දියුණුව පතයි. පිරිහීමට අකැමැති වෙයි. සත්පුරුෂයා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට ගිජු නො වෙයි. සත්පුරුෂයා තමාගේ ගුණ කීමට කුසීත වෙයි. අනුන්ගේ ගුණ කීමට පසුබට නො වෙයි. සත්පුරුෂයා තමාගේ අගුණ කීමට පසුබට නො වෙයි. අනුන්ගේ අගුණ කීමට කුසීත වෙයි. ජීවිතයේ අර්ථයත්, යහපතත් දැකීමට නිතර ම කල්පනා කරයි. ඒ සත්පුරුෂ ධර්මතාව යි.

මේ ලෝකයට පහළ වූ සත්පුරුෂයන් අතර අග්‍ර වන්නේත්, පරම ශ්‍රේෂ්ඨ වන්නේත්, අසමසම වන්නේත් ඒ බුදුරජාණන් වහන්සේ ම ය. ලොවේ සත්පුරුෂ ගුණ දහම් බිජු වපුරා සත්පුරුෂ බව දන් දුන්නෝ උන්වහන්සේ ම ය. සත්පුරුෂ දෙව් මිනිසුන් බිහි කළෝ උන්වහන්සේ ම ය. සත්පුරුෂ බවේ ආරක්ෂාවත්, අසත්පුරුෂ බවේ අනතුරත් ලොවට වදාළෝ උන්වහන්සේ ම ය.

පුන් පොහෝ දවසක, පුන්සඳ පායා ඇති රාත්‍රියේ භික්ෂු සංඝයා පිරිවරා ගෙන සැවැත්නුවර මිගාර මාතු ප්‍රාසාදයේ ඉදිරිපිට එළිමහනේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයාගේ සත්පුරුෂ ලක්ෂණ පිළිබඳ ව මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ ගතිගුණවලින් යුක්තයි. සත්පුරුෂ සේවනයෙන් යුක්තයි. ඒ වගේ ම සත්පුරුෂ සිතිවිලි ම යි සිතන්නේ. සත්පුරුෂ සාකච්ඡාවන් ම යි කරන්නේ. සත්පුරුෂ වචනයි කතා කරන්නේ. සත්පුරුෂ කටයුතුයි කරන්නේ. ඒ වගේ ම සත්පුරුෂ දැක්මෙන් යුක්තයි. සත්පුරුෂයා දන් දෙනවා.”

“පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ ගතිගුණවලින් යුක්ත වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගනියි. පව් කිරීමෙහි ලජ්ජා වෙයි. පව් කිරීමෙහි බිය සහිතයි. බොහෝ දහම් දැනුමෙන් යුක්තයි. උපන් අකුසල් ප්‍රහාණය කිරීමට පටන් ගත් වීරියෙන් යුක්තයි. සිහිය පිහිටුවා ගෙන ඉන්නවා. ප්‍රඥාවන්තයි. පින්වත් මහණෙනි, සත්පුරුෂයා ඔය ආකාරයෙනුයි සත්පුරුෂ ගතිගුණවලින් යුක්ත වන්නේ.”

“පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ ආශ්‍රයෙන් යුතු වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහි ලා යම් යම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ශ්‍රද්ධාවෙන් යුක්ත නම්, පවට ලජ්ජා ඇත්නම්, පවට බිය ඇත්නම්, බොහෝ දහම් දැනුමෙන් යුක්ත නම්, පටන්ගත් වීර්යයෙන් යුක්ත නම්, මනාව පිහිටුවා ගත් සිහියෙන් යුක්ත නම්, ප්‍රඥාවන්ත නම්, ඒ උදවිය තමයි සත්පුරුෂයාගේ යහළුවන් වන්නේ. උදව්කාරයන් වන්නේ, සත්පුරුෂයා සත්පුරුෂ ආශ්‍රයෙන් යුක්ත වන්නේ ඔය විදිහටයි.”

“පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ සිතුවිලි සිතන්නේ කොහොමද? පින්වත් මහණෙනි, සත්පුරුෂයා තමාට විපත පිණිස පවතින දේ සිතන්නේ නෑ. අනුන්ට විපත පිණිස පවතින දේ සිතන්නේත් නෑ. දෙපක්ෂයට ම විපත පිණිස පවතින දේ සිතන්නේත් නෑ. මහණෙනි, ඔය විදිහටයි සත්පුුරුෂයා සත්පුරුෂ සිතිවිලි සිතන්නේ.”

“පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ සාකච්ඡා කරන්නේ කොහොමද? පින්වත් මහණෙනි සත්පුරුෂයා තමාට විපත පිණිස පවතින දේ සාකච්ඡා කරන්නේ නෑ. අනුන්ට විපත පිණිස පවතින දේ ගැනත් සාකච්ඡා කරන්නේ නෑ. දෙපක්ෂයට ම විපත පිණිස පවතින දේ ගැනත් සාකච්ඡා කරන්නේ නෑ.

පින්වත් මහණෙනි, ඔය විදිහටයි සත්පුරුෂයා සත්පුරුෂ සාකච්ඡා කරන්නේ.”

“පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ වචනවලින් යුක්ත වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා බොරු කීමෙන් වැළකී සිටිනවා. කේළාම් කීමෙන් වැළකී සිටිනවා. පරුෂ වචන කීමෙන් වැළකී සිටිනවා. හිස් වචන කීමෙන් වැළකී සිටිනවා. මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ බස් පවසන්නේ ඔය ආකාරයට ම යි.”

“පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ කටයුතුවලින් යුක්ත වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහි ලා සත්පුරුෂයා සතුන් මැරීමෙන් වැළකී සිටිනවා. නුදුන් දේ ගැනීමෙන් වැළකී සිටිනවා. කාම මිථ්‍යාචාරයෙන් වැළකී සිටිනවා. පින්වත් මහණෙනි, ඔය විදිහටයි සත්පුරුෂයා සත්පුරුෂ කටයුතුවල යෙදෙන්නේ.”

“පින්වත් මහණෙනි, සත්පුරුෂයාගේ සත්පුරුෂ දැක්ම පවතින්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා මෙබඳු ආකාරයේ දැක්මකින් යුතු වෙයි. ඒ කියන්නේ ‘දුන් දෙයෙහි විපාක තියෙනවා. පුද පූජාවෙහි විපාක තියෙනවා. සේවයෙහි විපාක තියෙනවා. හොඳ නරක කර්මයන්ගේ පල විපාක තියෙනවා. මෙලොව කියා දෙයක් තියෙනවා. පරලොව කියා දෙයක් තියෙනවා. මවක් ඉන්නවා. පියෙක් ඉන්නවා. ඕපපාතික සත්ත්වයන් ඉන්නවා. මෙලොව පරලොව ස්වකීය ප්‍රඥාවෙන් සාක්ෂාත් කොට දේශනා කරන යහපත් මඟෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි ඉන්නවා’ කියලා. මහණෙනි, සත්පුරුෂයා සත්පුුරුෂ දැක්මෙන් යුතු වන්නේ ඔය විදිහටයි.”

“පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ දන් දෙන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා ඉතා හොඳින් සකස් කොට දන් දේ. සිය අතින් දන් දේ. ආදර ගෞරව සහිත ව දන් දේ. පිරිසුදු දෙයින් දන් දේ. ‘තමා දෙන දානයෙහි විපාක නැවත තමාට ලැබේ ය’ යන අදහසින් දන් දේ. මහණෙනි, ඔය විදිහටයි සත්පුරුෂයා සත්පුරුෂ දන් දෙන්නේ.”

“පින්වත් මහණෙනි, ඔය සත්පුරුෂයා මේ විදිහට සත්පුරුෂ ගුණවලින් යුක්ත වෙලා, මේ විදිහට සත්පුරුෂයන් ඇසුරු කරලා, මේ විදිහට සත්පුරුෂ සිතුවිලි සිතලා, මේ විදිහට සත්පුරුෂ සාකච්ඡාවන් කරලා, මේ විදිහට සත්පුරුෂ වචන කියලා, වේ විදිහට සත්පුරුෂ වැඩ කරලා, මේ විදියට සත්පුරුෂ දැක්මෙන් යුක්ත වෙලා, මේ විදිහට සත්පුරුෂ දන් දීලා කය බිඳී මරණින් මතු යම් තැනක සත්පුරුෂයන්ගේ උපතක් ඇද්ද අන්න එතැනයි උපදින්නේ. පින්වත් මහණෙනි, සත්පුරුෂයන් උපදින්නේ කොහේද? ආනුභාවසම්පන්න දිව්‍යත්වයක් හෝ ලැබෙනවා.

ආනුභාවසම්පන්න මනුෂ්‍ය ආත්මභාවයක් හෝ ලැබෙනවා.”

ජීවමාන බුදු සසුනක් පවතින යුගයක පමණක් ම සුලබ වූ මේ උතුම් සත්පුරුෂ ඇසුර, මේ උතුම් සත්පුරුෂ ගුණ කථාව සසරේ මුණ ගැසෙන තවත් එක්තරා අතිශයින් දුර්ලභ වටිනා කාරණයකි.

ඒ නිසා සත්පුරුෂ ගුණදහමින් සුපෝෂිත ඒ සත්පුරුෂ උතුමන් ගැන හිත පහදවා ගන්නටත්, ඒ සත්පුරුෂ ගුණ දහම් අප තුළ පුරුදු පුහුණු කර ගන්නටත් අප සැමට වාසනාව ලැබේවා.

දුරුතු අව අටවක

  ජනවාරි 28 අඟහරුවාදා අ.භා 07.33 අමාවක ලබා 29 බදාදා අ.භා 06.04න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 29

First Quarterපුර අටවක

පෙබරවාරි 05

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]