ආගමික සහජීවනයේ අසිරිය මවන
ගඩලාදෙණිය රාජමහා විහාරය
ගඩලාදෙණිය රාජමහා විහාරය මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයකි.
මෙම සිද්ධස්ථානය වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින අංගසම්පූර්ණ ගල් විහාරය ලෙස සැලකේ.
මෙම පුණ්‍ය භූමියේ ඉතිහාසය ක්‍රි.ව. 14 වැනි සියවස පමණ දක්වා දිව යන බවයි සඳහන්
වන්නේ, ගම්පොළ යුගයේ ඉදිකළ ඉතා වැදගත් සිද්ධස්ථානයක් බව ද සැලකේ.
පැරැණි මූලාශ්‍රයන්ට අනුව මෙම විහාරය පළමුවැනි ධර්මකීර්ති හිමියන්ගේ අනුශාසනා පරිදි
හතරවැනි බුවනෙකබාහු රජතුමා විසින් ක්‍රි.ව. 1341 -1351 කාල පරාසය තුළ ඉදිකරන ලද්දක්
බව ඉතිහාස මූලාශ්‍රයන්හි සඳහන් ය. ඒ අනුව විස්තර කෙරෙන්නේ බුවනෙකබාහු රජු විසින්
මෙම විහාරයේ ඉදිකිරීම් තම ප්‍රධාන අමාත්‍ය සේනාධිලංකාර වෙත පැවරූ බව ය. ඔහු විසින්
දකුණු ඉන්දියානු වාස්තුවේදී ගණේශ්වරාචාරීන්ගේ සැලසුමකට අනුව විහාරය ගොඩනැංවා තිබේ.
ඒ වගේ ම මෙහි මූලික ඉදිකිරීම් ලක්ෂණ හා වාස්තු කලා ලක්ෂණ දකුණු ඉන්දීය විජයනගර්
සම්ප්‍රදායට සමානතා දක්වන බව ද සඳහන් ය. ක්‍රි.ව. 1344 අප්‍රේල් 28 බදාදා දිනයෙහි
දී විහාරය ගොඩනංවා අවසන් කරන ලද බව ගඩලාදෙණිය සෙල්ලිපියෙන් පැහැදිලි වේ.
ක්‍රි.ව. 1707 - 1739 යුගයේ රජ වූ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් වැලිවිට
සරණංකර මාහිමිපාණන් වහන්සේට සන්නසක් මඟින් මෙම විහාරය පවරා ඇතැයි ද සඳහන් ය.
බුවනෙකබාහු රාජ්‍ය සමයේ රාජ්‍ය අනුග්‍රහය ඇති ව ධර්මකීර්ති හිමියන් විසින් මෙම
විහාරස්ථානය දියුණු කළ හෙයින් මුල් කාලයේ දී “ධර්මකීර්ති” විහාරය නමින් ද මේ විහාරය
හඳුන්වන ලද බව ඉතිහාස මූලාශ්‍රයන් හි කියැවේ. ශ්‍රී සද්ධර්මයට තිලකයක් බඳු වූ යන
අදහසින් වර්තමානයේ ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රාජමහා විහාරය නමින් හඳුන්වා ඇත.
ස්වභාවික ගල් පර්වතයක් මත ඉදි වූ විහාර ගොඩනැඟිල්ල සුවිශේෂිී තැනක් ගනී. කළු ගලින්
මවා ඇති විහාරය එකක් පිටුපස එකක් සිටින පරිද්දෙන් කාමර දෙකකින් සහ පිට මණ්ඩපයකින්
යුක්ත වේ. එහි ඇතුල් කාමර තුළ රියන් 12ක් පමණ උස් වූ ඔත්පිළිම වහන්සේ නමක් හා හිටි
පිළිම වහන්සේ හතර නමත් වැඩ සිටිති. පිට මණ්ඩපය ඉදිරිපස ස්ථාපිත ගල් කුලුණු ද්විත්වය
විහාරයේ වූ සුවිශේෂී නිර්මාණයක් ලෙස සැලකේ.
එම ගල් කුළුණු දෙකෙන් වම් පස කුලුණ ගණේශ්වරාචාරී විසින් හින්දු ආභාසයටත්, දකුණු පස
කුලුණ ලාංකීය ගල් වඩුවකු විසින් බෞද්ධ ආභාසය අනුවත් කැටයම් කර තිබේ.
ශෛලමය බෝධිඝරයකින් වට වූ ගඩලාදෙණිය විහාරයේ වැඩ සිටින බෝධීන් වහන්සේ දඹදිව ආනන්ද
බෝධින් වහන්සේගෙන් රැගෙන ආ බෝධි අංකුරයක් යැයි ද විශ්වාසයක් පවතී. උන්වහන්සේ
පළමුවැනි ධර්මකීර්ති හිමියන් විසින් රෝපණය කරන ලද බව පැවසේ. අඩි 40ක් පමණ උසට
ගොඩනංවා ඇති චෛත්‍ය විජයෝත්පහය චෛත්‍ය ලෙස ජන වහරේ සඳහන් වේ. උස් වූ කුළුණු 4ක් මත
පියස්සක් යෙදීම මඟින් ඊට ආරක්ෂාව සලසා ඇත.
ගම්පොළ රාජධානි යුගයේ දී ගොඩනඟන ලද විහාර අතරින් අදටත් අපට දක්නට ලැබෙන්නේ
ගඩලාදෙනිය හා ලංකාතිලකය පමණක් බව ද කියැවේ.

දීපා පෙරේරා |