දුරුතු අව අටවක පෝ දා
2025-01-21
ජය මංගල්‍යය පිණිස
ජයමංගල ගාථා සැදැහැ සිතින්, ගෞරවයෙන් ශ්‍රවණය කිරීමටත්, සජ්ඣායනය කිරීමටත් බොදු දන
මහත් රුචිකත්වයක් දක්වති. සුමධුර වාග් විලාශය හා සජ්ඣායනයේ දී උපදින සුපහන් හැඟීම
ඊට ප්‍රධාන හේතුවකි.
තථාගතයන් වහන්සේගේ උතුම් ගුණ කියැවෙන මෙම ජයමංගල ගාථාවන්හි අර්ථය යම් කෙනෙක් තමන්ගේ
ජීවිතයට ගළපා ගන්නට අප්‍රමාදී වන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ හෝ ජීවිතය යහපත් තැනක ඔසවා
තබන්නට එය ම වුව ප්‍රමාණවත් ය.
විශේෂයෙන් ගිහි බෞද්ධයන් තම විවාහ මංගල්‍ය අවස්ථාවන් හි උතුම් ම අවස්ථාව ලෙස සලකන
පෝරුවේ චාරිත්‍රයේ දී ජය මංගල ගාථා සජ්ඣායනය මහත් භක්තියෙන් සිදු කරයි. ඒ විවාහ
පත්වන යුවලට ආශිර්වාද හා ජය මංගල්‍යය පිණිස ය. එහෙත් බොහෝ දෙනෙක් එය චාරිත්‍රයට
පමණක් සීමා කරති. ඒ ජය මංගල ගාථාවන් හි අර්ථය නොවිමසති.
ගිහි ජීවිතය තුළ විවාහය සැබැවින් ම අභියෝගයකි. ඒ අභියෝගය ජය ගෙන ඉතා යහපත් වූත්,
සුන්දර වූත්, ආදරණීය වූත්, ජීවිතයක් ගෙවන්නට නම් සැමියා බිරිඳ යන දෙදෙනා ම
බුද්ධිමත් ව, කැපවීමෙන් ක්‍රියා කළ යුතු ය. තමන් හමුවට එන බාධක හමුවේ ඔවුනොවුන්
කෙරෙහි මෙත් සිත පතුරා ප්‍රශ්න ගැටලු විසඳා ගන්නට දෙදෙනා ම පොහොසත් විය යුතු ය.
විවාහ වන මොහොතේ ම ජය මංගල්‍යය ප්‍රාර්ථනා කරමින් ඔවුන් දෙදෙනාට ලබා දුන් ධර්මෝපදේශ
අනුව ම ප්‍රශ්න, ගැටලු, අභියෝග කලමනාකරණය කර ගන්නට සමත් විය යුතු ය.
නාලාගිරිං ගජවරං අතිමත්ත භූතං
දාවග්ගිචක්කමසනීව සුදාරුණංතං
මෙත්තම්බුසේක විධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි
නාලාගිරි නම් දරුණු හස්තියා සුරාවෙන් මත් කොට තථාගතයන් වහන්සේ වඩින පෙරමඟට එවන්නේ
උන්වහන්සේ විනාශ කරන්නට ය. එහෙත් තමන් වහන්සේ ඉදිරියට දිව එන ඒ දරුණු ඇත් රජු
තථාගතයන් වහන්සේ ඉදිරියේ වැඳ වැටෙන්නේ උන්වහන්සේගේ මෙත් සිසිල් ගුණ කඳ ඉදිරියේ ය.
උන්වහන්සේ ඒ දරුණු ඇත් රජු දිනුවේ මෛත්‍රී ගුණ තේජසනි. ඒ උතුම් ශාස්තෘන් වහන්සේගේ
ධර්ම මාර්ගයේ ගමන් ගන්නා අප ද ඒ ගුණ කඳ මෙනෙහි කරමින් අංශු මාත්‍රයකින් හෝ ඒ ගුණය
ජීවිතයට ළං කර ගන්නට උත්සාහ කරනවා නම් අපිට බොහෝ ප්‍රශ්න පහසුවෙන් විසඳා ගත හැකි ය.
මෛත්‍රී කරනවා යනු මට සතුරුකම් කරන මේ පුද්ගලයා නිදුක් වේවා, නිරෝගි වේවා, සුවපත්
වේවා යනුවෙන් කලබලකාරී ව වචනයෙන් පමණක් කියවාගෙන යෑම නොවේ. ඒ පුද්ගලයාගේ දුර්වලකම්
කෙරෙහි අනුකම්පාවෙන්, තමන්ගේ සිතට එකඟව ම කළ යුතු ප්‍රාර්ථනයකි.
මෛත්‍රී සිත නොවැඩූ පුද්ගලයාට එය එකවර ම කළ හැකි ද නොවේ. ටිකෙන් ටික සිතිවිලි
පිරිසුදු කරමින් වර්ධනය කර ගත හැකි යහපත් හැඟීමකි.
උතුම් ත්‍රිවිධ රත්නය අවබෝධයෙන් සරණ ගොස් සිල් ආරක්ෂා කරන පුද්ගලයාට මෙත් සිත වැඩීම
අපහසු නැත.
එහෙත් අද ජයමංගල ගාථා සජ්ඣායනය මධ්‍යයේ යුග ජීවිතයට පිවිසෙන බොහෝ යුවතිපතීහු
ඔවුනොවුන් නොරිස්සති. වෛරී සිතින් අඬ දබර වෙති. ඒ තුළ ම යුග ජීවිතය අභාග්‍ය සම්පන්න
ය. පරිහානී ය. එහෙත් ඔවුනොවුන්ගේ දුර්වලකම්, අඩුපාඩු මෙත් සිතින් දිනා ගන්නට උත්සාහ
කරන්නේ නම්, එකිනෙකාට ගෞරවයෙන්, අනුකම්පාවෙන්, සැලකිල්ලෙන්, සෙනෙහසින් ජීවත් වන්නේ
නම් එසේ යන ගමන පීඩාකාරී නැත. වෙහෙසකර නැත. ඒ සහනශීලී බව ජීවිතය ඔසවා තබනු නිසැක ය.
අප උත්සාහ කළ යුතු ඒ තැනට අපගේ සිත හසුරුවා ගැනීමට ය. |