[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අනුන්ගේ දුක මඟ හැර නොයන්න සැප විපාක පසු පස ම එනවා

අනුන්ගේ දුක මඟ හැර නොයන්න සැප විපාක පසු පස ම එනවා

අතීත ලංකා ද්වීපයේ රුහුණු රටේ හැම ප්‍රදේශයක ම පාහේ පිරිවෙන්, විහාරස්ථාන පිහිටුවා තිබුණා. ඒ කාලේ ‘තිස්ස’ කියන පිරිවෙන් විහාරයට වැඩි වශයෙන් සාමණේර භික්ෂූන් වහන්සේ වැඩම කළේ ත්‍රිපිටක අධ්‍යාපනය හොඳින් ලබා දෙන නිසයි.

මේ විහාරයට වැඩම කළා ‘තිස්ස’ නමින් ම සාමණේර හාමුදුරුවන් වහන්සේ නමක්. වත්පිළිවෙත් කරමින්, ගුරුවරුන්ට කීකරු ව හොඳීන් අධ්‍යාපන කටයුතුත් කළා. පිණ්ඩපාතයේ වැඩම කිරීම මේ පුංචි හාමුදුරුවන්ගේ පුරුද්දක් වුණා. හැමදා ම උදෙන් ම අවදිවෙලා කටයුතු සියල්ල අවසන් කර පාත්‍රා සිවුරු ගෙන සංවර ඉඳුරන්ගෙන් යුක්තව ගමට වැඩම කරනවා. දවසක් එහෙම සූදානම් ව වැඩම කළේ ‘පාණව’ කියන ගමට. වැඩම කරන්නේ වියගහක් තරම් දුර බලා ගෙන පමණයි. වටපිට බලන්නේ නැහැ. වෙනත් අය එක්ක කතා කර කර යන්නේ නැහැ. පුරාණ මහ තෙරවරුන් වැඩම කළ ආකාරයට වගේ ම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ විදිහට ම සංසුන් ඉඳුරන් ඇතිව පිණ්ඩපාතයේ වැඩම කරනවා. පුංචි වයසේ දී එසේ වැඩම කිරීම ගැන මිනිසුන්ට පැහැදීමක් ඇති වුණා. උන්වහන්සේගේ ඉඳුරන් තවදුරටත් සංවර වුණා.

‘පාණව’ කියන ගමට ‘තිස්ස’ පොඩි හාමුදුරුවෝ පිණ්ඩපාතයේ වැඩම කරනවා කියලා අහපු ගමන් ගමේ හැමෝම බලන් ඉන්නවා පුංචි හාමුදුරුවන්ට දානය පිළිගන්වන්න. ගෙවල් කිහිපයක් යනකොට ම පාත්‍රය ආහාරවලින් පිරී ගියා. පොඩි පාත්‍රයක් නිසා එතරම් ආහාර අල්ලන්නෙත් නැහැ.

ගුරුවරුන්ගේ මඟ පෙන්වීමෙන් නිතර ම මේ පොඩි හාමුදුරුවන්ට අසන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආහාර පිළිබද වත් පිළිවෙත්. ඒ නිසා අපතේ දාන්න නම් ආහාර ගන්නේ ම නෑ. බඩේ ප්‍රමාණයට පිණ්ඩපාතය ගෙන ආපහු ‘තිස්ස’ විහාරයට වැඩම කරන්න පටන් ගත්තා. ටික දුරක් යන කොට බොහෝම වෙහෙස යි. දහදිය දාලා ඇඟ තෙත්වෙලා, ටිකෙන් ටික දහවල් කාලයත් එළඹෙනවා දුටුවා. හිතුවා දානය වළඳලාම විහාරයට වඩින්න ඕන කියලා. ඒත් එක්කම හිතුණා ඇඟ, අත්, පා හෝදගෙන, දාහය නිවා ගෙන පිණ්ඩපාතය ගන්න තියෙනවා නම් තවත් හොඳයි කියලා. ඉතිං මඟ දිගට හමුවෙන මිනිසුන්ගෙන් පැන්සනහා ගන්න හොඳ දිය පාරක්, ඇළක් දොළක් තියෙන තැනක් ඇහුවා. එතකොට දැන ගන්න ලැබුණා ‘කුඹුබන්‘ කියන දිය ඇල්ලක් තියෙන තැනක් ගැන. කියපු මං සලකුණුවලින් එතැනට වැඩම කරලා සීතල වතුරෙන් ඇඟ, අත්, පා හෝදාගෙන ලස්සන වැලි පිරුණු ගහක් යට ඉඳගෙන පිණ්ඩපාතය වළඳන්න පාත්‍රය අතට ගත්තා.

මේත් එක්ක ම කෑමවල සුවඳ වැකුණු බැල්ලක් ඈතින් වෙව්ල වෙව්ලා පොඩි හිමියන්ගේ දෙසට හෙමින් හෙමින් එනවා දැක්කා. හොඳට ශරීරය දිහා බැලුවා. එතකොට හිතාගන්න පුළුවන් වුණා.

කැලේ ගල්ලෙනක හෝ ගස් බෙනයක හෝ පැටවුන් දාලා කන්න නැති ව කුසගින්නෙන් පෙළෙන බැල්ලක් තමයි කියලා. කරුණා සිතිවිලි උපදවා ගෙන ගහෙන් වැටුණු කොළ ටිකක් අහුලාගෙන ඒ මතට පාත්‍රයේ තිබුණු ආහාර හොඳීන් අනලා බත් ගුලි කර කර හදලා කන්න දුන්නා. කුස පිරෙනකම් වගේම පාත්‍රයේ ආහාර ඉවර වෙනකම් ම කෑම ටික දුන්නා. මේ පුංචි හාමුදුරුවන්ට ඉතිරි වුණේ නැහැ. එතරම්ම කුසගින්නකින් තමයි අර සතා ඉදලා තියෙන්නේ. කෑම ඔක්කොම ඉවර වුණහම පාත්‍රය හොඳට සෝදලා තෙත ඉවත් කරලා පාත්‍ර පසුමිබියේ දාගෙන ආයෙත් විහාරයට පිටත් වුණා. බැල්ල ශරීර ශක්තිය ලැබුණායින් පස්සේ ගමට ගිහින් කෑම හොයාගෙන ඇවිත් පැටවුන් රැක බලා ගත්තා. කාලයාගේ ඇවෑමෙන් මේ සතා මිය ගියා. බුදු දහමේ පුනරුත්පත්තිය අනුව වගේම සංසාර ගමන අනුව ආයෙත් දඹදිව දේවපුත්‍ර නුවර අධිපති රජතුමාගේ දියණිය විදිහට තමයි ඉපදුණේ.

ඉපදෙන කොට ඒ කුමරියගේ කොණ්ඩය හරිම ලස්සනයි. අක්බඹරු හැඩැති කොණ්ඩයක් තමයි ලැබුණේ. ඒ නිසා ම දෙමාපියන් තීරණය කළා ‘කුණ්ඩලී‘කියලා නම් තියන්න. එදා ඉඳලා ‘කුණ්ඩලී කුමරිය‘ නමින් ප්‍රසිද්ධ වුණා.

මෙහෙම ටිකෙන් ටික වැඩි වියට පත් වුණා. ලංකාවේ වැඩ සිටිය ‘තිස්ස‘ සාමණේරයන් වහන්සේ විසිවයස් පිරිලා උපසම්පදා සීලයේ පිහිටලා දැන් ගොඩාක් වයසට ගිහින් මහ තෙරනමක් බවට පත් වෙලා. මේ මහ තෙරුන්ට හිතුණා දඹදිවට වැඩම කරලා ශ්‍රී මහාබෝධීන් වහන්සේ වන්දනා කර ගන්න. ඉතිං ඒ නිසා එහේ වැඩම කර පිණ්ඩපාතයේ යෙදෙමින් සිද්ධස්ථාන වැඳපුදා ගන්න ගමින් ගමට වැඩම කරනවා. දේවපුත්‍ර නුවරට වැඩම කළ දවසේ මාළිගාවේ උඩමහලේ සිට සීමැදුරු කවුළුවෙන් වීථිය දිහා බලා ගෙන ඉන්න ‘කුණ්ඩලී කුමරියට දැක ගන්න ලැබුණා සංවර ගමනින් මහ තෙරනමක් පාරේ වැඩම කරනවා. පෙර ආත්මයක පහන් හා තෙල් දන් දීමේ කුසලයේ බලයකින් ඒ මොහොතෙම පහළවුණා ජාතිස්මරණ නුවණ. එතකොට දැක්කා තමන්ට මේ සම්පත් ලැබෙන්න හේතුවුණු පුවත. වහාම සේවකයන් යවා තෙරනමට ආරාධනා කර මාලිගාවට ගෙන්වා ගෙන රාජභෝජනවලින් සංග්‍රහ කළා. වළඳා අවසානයේ දී කුමාරිකාව අහනවා

‘ස්වාමිනි, මාව අඳුනන්නේ නැද්ද? නුඹ වහන්සේ නිසයි මම මේ තරම් ආශ්චර්යවත් සැප සම්පත් විඳින්නේ. නුඹ වහන්සේගේ සංවර ඉඳුරන්ටත්, මා කෙරෙහි දුන් දානයත් සිහිපත් කරලා‘යි මට මේ සියල්ල ලැබුණේ. ස්වාමිනි, ඔබ වහන්සේට මතක ද? දිය කඳුරක් ළඟදී දරුවන් වැදූ, කුසගින්නෙන් පෙළෙමින්, ඇවිද ගන්නවත් බැරිව ආපු බැල්ලක් ව. ඒ මම තමයි. මටයි ඔබ වහන්සේ කුස පිරෙන්න කෑම දුන්නේ. මම තෙරුවන් කෙරෙහි එයින් පැහැදුණා. ඒ පැහැදීමෙන් තමයි මෙතරම් සැප සම්පත් ලැබුණේ.’යි අතීත පුවත් සියල්ල කියා සිටියා.

‘ස්වාමිනි, ඔබ වහන්සේ ආයෙත් ලංකා ද්වීපයට වඩින්න එපා. මම ඔබ වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන්නම්. මම හැමදාම දන් පුදන්නම්‘යි ආරාධනා කරමින් ඉල්ලා සිටියා. තෙරුන් වහන්සේත් ආරාධනාව ඉවසා සිටියා.

කුමරිය රාජපුරුෂයන් හා ශිල්පීන් කැඳවලා සංඝාවාස, සක්මන්මළු, විහාර මන්දිර, දාගැබ් මළු, බෝ මළු ආදි සියලු විහාර අංගවලින් පිරුණු දිව්‍ය විමානයක් මෙන් සුන්දර ආරාමයක් හදලා පූජා කළා. තෙරුන් වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ ඒ ආරාමයේ වැඩහිඳුවා ගනිමින් බොහෝ කලක් ශාසනික සේවය සලසා දුන්නා. අර්හත් බවට පැමිණ පිරිනිවන් පෑවා‘යි ලස්සන කතා පුවතක් සද්ධර්මාලංකාරයේ තේභාතික වග්ගයේ සඳහන් වෙනවා.

බලන්න පින්වතුනි, තිරිසන් ආත්ම භාවයක ඉඳලාත්, භික්ෂුවක් කෙරෙහි පැහැදුණු පමණින් හිමිවුණු සැපසම්පත් හා ආශ්චර්යය. ඒ නිසා තමන්ගේ සුවය හා සැපය පමණක් බලන්නේ නැති ව, අන් අයගේ සැප හා සතුට මෙන් ම පරලොව සුගතිය වෙනුවෙන් ද දන් දෙන්න. සිල් රැකීම් ආදි කටයුතුවල යොදවන්න. එය මෙලොව දී හෝ පරලොව දී හෝ සැපසම්පත් මෙන් ම සතුට හිමිවීමටත් හේතුවක් වෙනවා. දෙපිරිසට ම යහපතක් ම වෙනවා.

දුරුතු අව අටවක

  ජනවාරි 21 අඟහරුවාදා අ.භා 12.41 අව අටවක ලබා 22 බදාදා අ.භා. 03.18න් ගෙවේ.
21 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 21

Full Moonඅමාවක

ජනවාරි 29

First Quarterපුර අටවක

පෙබරවාරි 05

Full Moonපසළොස්වක

පෙබරවාරි 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]