ඓතිහාසික යුග මෙහෙවරක උත්තරීතර නාමය කරගොඩ උයන්ගොඩ
මෛත්‍රීමූර්ති මහ නා හිමියෝ
ශාස්ත්‍රපති
බුදුගල සෝමරතන හිමි
අමරපුර සාමග්රි සංඝ සභාවේ අභිනව උත්තරීතර මහානායක නාහිමිපාණන් වහන්සේ ලෙස බළන්ගොඩ
ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශවයේ මහා නායක
අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති නාහිමියෝ, රාජගිරිය කළපලුවාව ශ්‍රී
තපෝවනාරාමයේ දි පැවැති අමරපුර මහා නිකායේ පාලක සංඝ සභාවේ දී පසුගියදා (26) තෝරා පත්
කර ගනු ලැබීය.
වර්ෂ 1948 ඔක්තෝබර් මස 01 වැනි දින දකුණු ලක කඹුරුපිටිය කරගොඩ උයන්ගොඩ නම් සුන්දර
ගම්මානයේ දී මෙලොව ජන්ම ලාභය ලැබු පින්වත් කුල කුමරු ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය
ලබා පසුව ද්විතීක අධ්‍යාපනය සඳහා කොළඹ මහා බෝධි විද්‍යාලයට ඇතුළත් ව ඇත. අනතුරුව
අග්ගමහා පණ්ඩිත අභිධජ මහා රට්ඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේගේ
සෙවණේ උගත මනා බණ දහම් හැදැරූ කුල කුමරු වර්ෂ 1962 ජුනි මස 18 වැනි දින බළන්ගොඩ
ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ දී උතුම් වූ ශාසනික පැවිද්ද
ලැබුයේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමුර්ති යන පැවිදි නාමයෙනි.
ඉක්බිති සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය, ඉංග්‍රීසි ආදි භික්ෂු ජීවිතයට
අත්‍යවශ්‍ය විෂයයන් පිළිබඳ මූලික දැනුම සිය ගුරු දේවයන් වහන්සේ වන ආනන්ද මෛත්‍රෙය
මහ නාහිමිපාණන් වහන්සේගෙන් ලබා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා දියතලාව සුධර්මාලංකාර
විද්‍යායත පිරිවෙනට ඇතුළත් ව ඇත. පිරිවෙන් අධ්‍යාපනයෙන් ඉහළට ගමන් කළ උන්වහන්සේ
අනතුරුව ප්‍රාචීන, ප්‍රාරම්භ මධ්‍යම ආදි විභාග හොඳීන් සමත් වූහ. අනතුරුව වර්ෂ 1962
දී අ.පො.ස. උසස් පෙළ විභාගය ඉහළන් සමත් වූ මෛත්‍රීමූර්ති හිමියෝ පේරාදෙණිය
විශ්වවිද්‍යාලයට තේරී පත්වීමෙන් පසු දර්ශන අධ්‍යයන අංශයෙන් දර්ශනය පිළිබඳ ගෞරව
උපාධිය ලබා ගත්හ. ඉක්බිති එම අධ්‍යයන අංශයේ මහාචාර්ය කේ.එන්.ජයතිලක මහතාගේ තේරීම
අනුව එම අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කිරීමට ද උන්වහන්සේ භාග්‍ය
සම්පන්න වූහ.
මේ අතර 1971 ජුලි මස 17 වැනි දින බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේගේ
අචාර්යත්වයෙන් උතුම් වූ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබු උන්වහන්සේ සිය ගුරු දේවයන්
වහන්සේගේ ඉල්ලීම පරිදි වසර තුනක සහකාර කථිකාචාර්ය ධුරයෙන් සමුගෙන බළන්ගොඩ ශ්‍රී
ධර්මානන්ද විද්‍යායතන පිරිවෙනෙහි පරිවෙනාධිපති ධුරය භාර ගන්නා ලදී. එතැන් සිට භෞතික
හා ගිහි පැවිදි මානව සම්පත දියුණු කරමින් වසරින් වසර බළන්ගොඩ අධ්‍යාපන කලාපයේ පමණක්
නොව රත්නපුර දිස්ත්‍රික්කයේ ද අධ්‍යාපන සංවර්ධන අංශයෙන් ඉහළ ස්ථානයක් ලබා ගැනීමට
සමත් වූයේ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය හා කැපවීමේ මෙන් ම සෘජුවූත්, නිවැරැදිවුත්
ප්‍රතිපත්ති නිසාවෙන් ම ය. ඒ බව උන්වහන්සේගෙන් ඉගෙනුම ලැබු පැවිදි ශිෂ්‍යයන් ලෙස
අපට සක්සුදක් සේ ප්රත්යක්ෂ ය.
මේ අතර විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් ව සිය වෘත්තීය ගුරු ජීවිතයට අවශ්‍ය පන්නරය ලබා
ගත් අප නාහිමියෝ අධ්‍යාපනපති උපාධිය ද ලබා ගත්හ. බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද
විද්‍යායතන පිරිවෙන එකී සම්භාවනීය මට්ටමට ගෙන ඒමට කැප වූ මෛත්‍රිමූර්ති නාහිමියන්
වෙත අධ්‍යාපන ක්ෂේත්රයේ විවධ තනතුරු ගලා ආවේ ය. ඒ අනුව වර්ෂ 1992 දී සබරගමු පළාත්
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරයකු ලෙස රාජකාරි ආරම්භ කළ
උන්වහන්සේ සබරගමු පළාතේ පිරිවෙන් හා පාසල්හි ආගමික විෂයේ ගුණාත්මක සංවර්ධනයට ඉමහත්
සේවයක් ඉටු කළහ. එනිසා ම වැඩි කල් නො ගොස් සබරගමු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ
ධුරයෙන් ද උන්වහන්සේ පිදුම් ලැබුහ. වසර 14ක එකී අධ්‍යාපන සේවය තුළ දී උන්වහන්සේගෙන්
ගුරුහරුකම් හා අත්දැකීම් ලැබු ගුරුභවතුන්, විදුහල්පතිවරුන්, පරිවෙනාධිපති හිමිවරුන්
මෙන් ම අධ්‍යාපන ක්ෂේත්රයේ ඉහළ නිලධාරින් රැසකි.
වර්ෂ 2006 දී සිය රාජකාරි දිවියෙන් විශ්‍රාමලත් උන්වහන්සේ ශාසනික කටයුතු වෙනුවෙන්
වැඩි කාලයක් යෙදවූහ. ඒ නිසා ම අමරපුර රාස්සගල විහාර පාර්ශවයේ මහා ලේඛකාධිකාරි ධුරයේ
කටයුතු කරමින් නිකායාභිවෘද්ධිය සඳහා කැපී පෙනෙන සේවාවක් ඉටු කළහ. එමෙන් ම සමස්ත
ලංකා අමරපුර සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරි ධුරයත්, අනතුරුව උප සභාපති ධුරයත්, අප
නාහිමියන් වෙත ලැබෙන්නේ උන්වහන්සේගේ නිවැරදිවූත්, පිරිසුදුවූත් කාර්යශූර ශාසනික
කටයුතු නිසා ම ය. ඒ අතර 2004 වර්ෂයේ දී තත් නිකායේ මහානායක ධුරය අප නාහිමියන්ට
ලැබෙන්නේ කාරක සංඝ සභාවේ ඒකච්ඡන්දයෙනි. ඉක්බිති සමස්ත ලංකා අමරපුර සංඝ සභාවේ ගරු
සභාපති පදවියෙන් පිදුම් ලැබූ අප නාහිමියෝ එහි වැඩබලන උත්තරීතර මහානායක හිමියන් ලෙස
වසරකට අධික කාලයක් කටයුතු කළහ.
බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානය ද කාලීන ව සංවර්ධනය කළ අප
නාහිමියෝ එහි දිරාපත් වූ ගොඩනැඟිලි කිහිපයක් ප්‍රතිසංස්කරණය කරමින් පුස්තකාල
ශාලාවක් හා නේවාසික කුටි, නිර්මාණය කොට ඇත. එමෙන් ම චෛත්‍ය රාජයාණන් වහන්සේ සුවිශාල
ධර්මශාලා මන්දිරය ද, විහාරස්ථ පිවිසුම් මාර්ගය සහ දර්ශනීය වාහල්කඩ සහිත ප්‍රාකාරය ද
මෙහිලා පැසසිය යුතු නිර්මාණයෝ වෙති. තවද, සිව් දිගින් වඩින මහා සංඝරත්නයට සුව
පහසුවෙන් වැඩ සිටීම සඳහා කාලෝචිත ව ඉදිකළ දෙමහල් සංඝාවාසය ද මෑත කාලීන සංවර්ධනයේ මං
සලකුණු වේ. එමෙන් ම කරගොඩ උයන්ගොඩ මහ නාහිමියන්ගේ ධර්ම ශාස්ත්‍රීය සේවය ද මෙහිලා
අගය කළ යුතු ම ය. මනස පිළිබඳ බෞද්ධ විග්‍රහය,මානසික රෝග සුවපත් කරන අයුරු, සැනසිලි
දායක ජීවිතයකට මඟ, දැවෙන සිතට සමාධි සුවය, ඔබේ සිත දෙස බලන්න, මෙත් සිසිලෙන් සිත්
සැනසේ, කරණීයමෙත්ත සුත්‍රය, සමථයෙන් විදර්ශනාවට ආදි වශයෙන් කෘති 13 ක් හා දර්ශනය,
මනෝ විද්‍යාව, ප්‍රතිභා යන සඟරා ද අප මහ නාහිමියන්ගේ පන්හිදෙහි අරුමය ලොවට කියාපාන
කැඩපත් ය. තවද බොදු දන මනසට කතා කරන සාරගර්භ දහම් ලිපි රාශියක් ද වසර ගණනාවක සිට
බුදුසරණ පුවත්පතට රචනා කිරීම ද තවත් ශාසනික මෙහෙවරකි.
වත්මන් සමාජයට උචිත ලෙසත්, පැහැදිලි හා නිරවුල් ලෙසත්, ශ්‍රාවක සිත් වශී කරන මධුර
පෞරුෂවත් හඬින්, විචිත්‍රවත් අයුරින් රට පුරා ධර්ම දේශනා පවත්වන උන්වහන්සේ ගුවන්
විදුලි හා රූපවාහිනි මාධ්‍යයෙන් දහම් දේශනා කරමින් බොදු දන සිත් දිනා අවසන් ය.
එමෙන් ම අප නාහිමියන්ගේ විදෙස් ධර්ම දුත සේවාවන් අතර ඉන්දියාව තායිලන්තය,
සිංගප්පුරුව, මැලේසියාව මියන්මාරය හා චීනය ආදි රටවල් වෙත වැඩම කරමින් භාෂා කිහිපයක්
නිවැරැදි ව හසුරවමින් සිදු කරන ආගමික ශාසනික මෙහෙවර අතිශය ප්‍රශංසනීය ය.
කෙතරම් ආගමික, ජාතික, ශාසනික කටයුතුවල නිරත ව සිටියත් උන්වහන්සේ තම විහාරස්ථ දායක
දායිකාවන්ගේ කුදු මහත් ආගමික කටයුතු මැනවින් ඉටු කිරීමට ද අමතක නොකරති. දුප්පත්,
පොහොසත් කිසිදු භේදයකින් තොරව, කරුණා, මෛත්‍රියෙන් යුතු ව, ඒ සියල්ල ඉතා මැනවින්,
නිහතමානි ව ඉටුකිරීම කාටත් ආදර්ශයකි. අඩු ආදායම්ලාභි පවුල්හි දරුවන් වෙනුවෙන් පාසල්
උපකරණ ලබා දීම, වියළි ආහාර පරිත්‍යාගය, ගැබිනි මව්වරුන් සඳහා උපකරණ පරිත්‍යාගය ආදි
සාමාජීය කටයුතු ද මෙහිලා අගය කළ යුතු ම ය.
ඉදිරියටත් තමන්ගේ ආගමික, ශාසනික, සාමාජිය සේවාව පවත්වා ගනිමින්, ශාසනික අභිවෘද්ධිය
වෙනුවෙන් පැවිදි ශිෂ්‍යයන් මෙම සම්බුද්ධ ශාසනයට දායාද කිරීමේ යුතුකම ද උන්වහන්සේ
වෙතින් ඉටුවී ඇත. දැනට අමෙරිකාවේ ආගමික හා අධ්‍යාපනික මෙහෙවරක නිරත ව සිටින ආචාර්ය
බළන්ගොඩ මෙත්තානන්ද හිමියන් හා අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක
ගොඩකුඹුරේ පඤ්ඤාදේව හිමියන් අප නාහිමියන්ගේ පැවිදි ශිෂ්‍යයෝ වෙති. තවද ත්‍රිපිටක
සංරක්ෂණ මණ්ඩලයේ, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ සාමාජිකත්වය දැරීමත්,
ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාල පාලක සභාවේ සාමාජිකත්වය
දැරීමත්, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයේ සාමාජිකත්වය දැරීමත්,
උන්වහන්සේගේ අනුශාසකත්වයේ මහිමය අපිට කියාපාන්නකි.
යතෝක්ත ලෙස අප උත්තරීතර මහ නාහිමියෝ අධ්‍යාපනික, ආගමික, ශාසනික, සංස්කෘතික සහ
සාමාජීය ලෙස මෙරට සිදු කළ සේවාව අගයමින් ගෞරව නාම රැසකින් පිදුම් ලබා ඇත. ඒ අතර
ආනන්ද මෛත්‍රෙය මහා වංශාවතංශ මහෝපාධ්‍යාය ,ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්මාචාර්ය,
සම්බුද්ධ ශාසන කීර්ති ශී‍්‍ර, කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද, පරියාප්ති ශාසන
ධර්මධ්වජාග්ර, සිරි සුගත ශාසන වංශාලංකාර සද්ධර්ම විභූෂණ යන ගෞරව නාම සුවිශේෂි වේ.
උත්තරීතර මහානායක පදවියෙන් සම්භාවනාවට පාත්‍ර වූ අභිනව කරගොඩ උයන්ගොඩ මෛත්‍රි
මුර්ති මහ නාහිමියන් වෙත දෙස් විදෙස් ආගමික, ශාසනික, ජාතික, සංස්කෘතික මහා යුග
මෙහෙවරක් ඉටු කිරීමටත්, මෙරට රාජ්‍ය පාලකයන් වෙත නිවැරැදි අනුශාසකත්වය ලබා දීමටත්,
ශාසනික අර්බුද හමුවේ විසඳුම් ලබා දීමටත්, ලක්දිව බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික
සංවර්ධනය සඳහා කැපවීමත් අත්‍යවශ්‍යයෙන් ම සිදුකළ යුතු වැදගත් මෙහෙවර යි.
මෙම ඓතිහාසික යුග මෙහෙවර නිවැරැදි ව, ඵලදායි ව ඉටු කරන්නට උත්තරීතර මහානායක
අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමුර්ති මහ නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිර
ජීවනයත්, උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයත් ලැබේවා'යි ප්‍රාර්ථනා කරමු. |