උඳුවප් අව අටවක පෝ දා
2024-12-22
බැබළෙන ජීවිතයක ඇරඹුම
සම්බුදුදහම මේ ජීවිතයට නොව මරණින් මතුවට බව සමහරු සිතති. එසේ කියති. එහෙත් ඒ
සිතිවිල්ල ම ඔවුන් ධර්මයෙන් ඈත් කරන්නට සමත් ය. පුද්ගලයාගේ මෙලොව ජීවිතය සතුටින් ගත
කරන්නට ඇවැසි මිල කළ නොහැකි, ප්‍රමාණ කළ නොහැකි ධර්ම කරුණු සම්බුද්ධ දේශිතයේ
අන්තර්ගත ය.
එක් අවස්ථාවක අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමන් වහන්සේගේ ශ්‍රී
සද්ධර්මය ඥානවන්තයින්ට මිස අඥානයින්ට නොවන බව ය. යම් කෙනෙක් තථාගත දහම මේ ජීවිතයට
නොව පරලොවට පමණෙකැයි සිතීම් මාත්‍රයක් හෝ දරන්නේ නම් ඔහු අඥානයෙකි. මිත්‍යා
දෘෂ්ඨිකයින්ගේ අදහස් දරන්නෙකි.
බෞද්ධ ජනතාව අසීමිත ශ්‍රද්ධාවෙන් උදේ, සවස තෙරුවන් නමැද, තුන් සූත්‍රය සජ්ඣායනය
කිරීමට අමතක නොකරති. දවසකට එක් වරක් හෝ දෙවරක් මේ සූත්‍ර දේශනා සිහිපත් කරති. එහි
එන පළමු සූත්‍රය, මහා මංගල සූත්‍රය ම ජීවිතය බබළවන මහඟු මිණකි. එහෙත් ඒ බව දන්නේ
අල්ප පිරිසකි. වැඩි පිරිසක් සූත්‍රය කටපාඩමින් කියවාගෙන යති. අර්ථය නොවිමසති. මහා
මංගල සූත්‍රය විමසා බැලීමට, තේරුම් ගැනීමට, වටහාගත් ධර්මය ජීවිතයට පුරුදු පුහුණු
කරන්නට සෑම පුද්ගලයකු ම උත්සුක වන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ හෝ දිවිමඟ බලා සිටිය දී ම
පුර පස සඳ සේ වැඩෙන්නේ ය. එහෙත් මැණික් ගලේ පය හැපුණත් කණා එය අහුලා නොගන්නා සේ මේ
මාහැඟි ධර්මය ජීවිතයට උකහා ගන්නට බොහෝ දෙනෙක් අසමත් වෙති.
මහා මංගල සූත්‍රයේ පුද්ගල දියුණුවට අදාළ කරුණු තිස් අටක් දේශිත ය. අනුවණයින් ඇසුරු
නොකිරීම, නුවණැත්තන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම, සුදුසු ප්‍රදේශයක වාසය
කිරීම, පෙර කරන ලද පින් ඇති බව, සීලාදී ගුණධර්මයන්හි පිහිටීම, බොහෝ ඇසූ පිරූ තැන්
ඇති බව, ශිල්ප ශාස්ත්‍රයෙහි ප්‍රගුණ බව, විනයගරුක බව, පි‍්‍රයමනාප වචන කතා කිරීම,
මවුපියන්ට උපස්ථාන කිරීම, දරුවන්ට සංග්‍රහ කිරීම, භාර්යාවට සංග්‍රහ කිරීම, නිවැරැදි
කාය කර්මයන්හි යෙදීම, දන් දීම, ධර්මානුකූලව හැසිරීම, ඥාතීන්ට සංග්‍රහ කිරීම,
නිවැරැදි ජීවන වෘත්තීන්හි යෙදීම, පාපයෙහි නො ඇලීම, මදයට හා ප්‍රමාදයට හේතුවන
මත්ද්‍රව්‍ය පානය නොකිරීම, කුසලයෙහි අප්‍රමාදී වීම, තෙරුවන් මවුපියන් හා
වැඩිහිටියන් කෙරෙහි ගෞරව කිරීම, යටහත් පැවතුම් ඇතිව විසීම, ලද දෙයින් සතුටුවීම,
කළගුණ දන්නා බව, සුදුසු කාලයෙහි ධර්ම ශ්‍රවණය කිරීම, ඉවසීම, උතුම් පුද්ගලයන්ගේ
අවවාද පිළිගැනීම, ශ්‍රමණයන් වහන්සේ දැකීම, සුදුස කල්හි ධර්ම සාකච්ඡා පැවැත්වීම,
තපස, බ්‍රහ්ම චර්යාව, ආර්ය සත්‍ය දැකීම, නිවන පසක් කිරීම, ලෝක ධර්මයන්හි ගැටෙන විට
කම්පා නොවීම, ශෝක රහිත බව, කෙලෙස් නැති බව, නිර්භය වීම යනාදී උතුම් කරුණු ය.
වචනාර්ථයෙන් කටපාඩම් කිරීම නො ව පුංචි දරුවාගේ සිට ම මේ ගුණධර්ම ජීවිතයට ප්‍රායෝගික
කරවීමේ වැඩපිළිවෙළක් සකසන්නට පාසල තුළ, දහම්පාසල තුළ, නිවෙස තුළ කරුණු සැකසෙන්නේ
නම් එවැනි රටක පිබිදීම කිසිවකුට වැළැක්විය නොහැකි ය. |