[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උතුම් දේශයක පින්සරු උරුමය ජය සිරි මහ බෝ හාමුදුරුවෝ

ධර්මාශෝක අධිරාජයාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් භාරතයේ පවත්වන්නට යෙදුන තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ ශ්‍රී ලංකාවට බුදුසමය හඳුන්වා දුනි. එනම්, ශ්‍රී බුද්ධ වර්ෂ 236ක් වූ පොසොන් මස පුර පසළොස්වක පොහෝ දිනයේ දී ය.

එදින ලක්දිව ජාතික උත්සවයකි. දඩ කෙළියට මුවකු පසුපස හඹා යන රජුට මිහිඳු හිමියෝ ‘තිස්ස’ යනුවෙන් ආමන්ත්‍රණය කොට තමන් වහන්සේ පමණක් පෙනීමට සැලැස්වූහ. ඉන්පසු තමා ඇතුළු පිරිස හඳුන්වා දුන්හ.

මහ රජුනි, අපි සර්වඥ ශ්‍රාවක වූ ශ්‍රමණයම්හ. තොප කෙරෙහි අනුකම්පාවෙන් ජම්බුද්වීපයෙහි සිට මෙහි ආවෙමු.

ඉන් අනතුරුව තමන් වහන්සේ සමඟ පැමිණි අනෙක් පිරිස හඳුන්වා දීමෙන් පසු රජුගේ ප්‍රඥාව විමසීම සඳහා අඹ හා ඥාති ප්‍රශ්න අසන ලදී. රජතුමා ප්‍රශ්න විසඳන ආකාරය ගැන පැහැදී ධර්මය අවබෝධයට සුදුසු නුවණක් ඇති හෙයින් චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කොට හතළිස් දහසක් පුරුෂයන් සමඟ රජතුමා තිසරණ සහිත පන්සිල් සමාදන් කරවූහ.

සාමාන්‍ය ජනතාව ද තමන් වැළඳගෙන සිට් මිථ්‍යාදෘෂ්ට්ක ආගම් අතහැර නව දහම කෙරේ සිය අවධානය යොමු කළහ. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට වැඩම කරන ලද්දේ රජයේ උත්සව දිනයෙක ය. අනුරාධපුර ජනතාව පමණක් නොව එකල ජනාවාස වී තිබූ සෑම ප්‍රදේශයකින් ම මේ රාජකීය උත්සවයට සහභාගී වී ඇත. රජතුමා ඇතුළු හතළිස් දහසකට ධර්මය දේශනා කිරීමෙන් ම ඒ බව ගම්‍ය වන අතර, මේ පිරිස තමන් ශ්‍රවණය කරන ලද ධර්මය ගැන ඒ ඒ ප්‍රදේශවල ජනතාවට හඳුන්වා දෙන්නට විය. ඒ නිසා ශීඝ්‍රයෙන් ශ්‍රී ලංකාව පුරා බුදුදහම ව්‍යප්ත වී තිබේ.

ධර්මය ශ්‍රවණය කර පැහැදුණු රජතුමා, මිහිඳු හිමියන්ගේ අනුශාසනා පරිදි මහාවිහාර සීමා ලකුණු කොට සිය පුරය ඇතුළත් ව (රාජ්‍ය මාලිගාව)ද මහා සීමාවට යටත් ව ද පිහිටවන ලෙස ඉල්ලා සිටි බව මහාවංසයේ සඳහන් වේ.

මෙ මඟින් පෙනීයන්නේ රජය හා බුදුදහම අතර අභේදනීය සම්බන්ධයක් පවත්වා ගෙන යාමට රජතුමාගේ අදහස වූ බව යි. මීට හේතු වූයේ තමාට රාජ්‍ය පාලනය සඳහා යහපත් උපදෙසක් පෙර නො ලැබූ බැවිනි. ඒ අනුව මහාවිහාරය අංග සම්පූර්ණ විහාරාංගයන්ගෙන් සමන්විත ව ගොඩනංවන්නට විය. සුමන හිමියන් ලවා සර්වඥධාතු වැඩමවා ගෙන ථූපාරාම ස්තූපය ගොඩනැංවීය.

පිරිමි පාර්ශ්වය වැඩි වශයෙන් පැවිදි දිවියට ඇතුළත් වෙද්දී දේවානම්පියතිස්ස රජතුමාගේ සහෝදර මහානාග යුවරජුගේ අගබිසව වන අනුලා දේවිය අතුළු අන්තඞපුර ස්ත්‍රීන් පන්සියයක් දෙනා භික්ෂුණී පැවිද්ද ඉල්ලා සිටි අවස්ථාවේ ස්ත්‍රීන් පැවිදි කිරීම අපට කැප නැති බවත්, මාගේ සහෝදරිය වන බහුශ්‍රැත සංඝමිත්තා රහත් මෙහෙණිය පැළලුප් නුවර වැඩ වාසය කරන බවත්, මහාබෝධි වෘක්ෂයේ දක්ෂිණ ශාඛාව ද ඒ උත්තම වූ භික්ෂුණීන් ද සමඟ මෙහි එවන ලෙස අප මහරජුට දන්වා යවන ලෙසත් දේවානම්පියතිස්ස රජතුමාට උපදෙස් දුන් බව සඳහන් වේ.

රජමැදුරේ දොරකඩට වැඩ මල් අටමිටකින් එතැන පිදූහ. ඉන්පසු පොළොව කම්පා වූ හෙයින් ඊට හේතුව රජතුමා විමසූ අවස්ථාවේ මිහිඳු හිමියන් වදාළේ මේ කල්පයෙහි තුන් බුදුවරුන්ගේ (කකුසඳ, කෝණාගම, කාශ්‍යප) බෝධි වෘක්ෂයන්ගෙන් දක්ෂිණ ශාඛාව ගෙනවිත් මෙහි රෝපණය කළ බවයි. එබැවින් අප ගෞතම බුදුරදුන්ගේ ජය ශ්‍රී මහාබෝධි වෘක්ෂයේ දක්ෂිණ ශාඛාව ද මෙහි රෝපණය කරන ලෙස ය.

මේ ආකාරයට සිව් බුදුවරු ධ්‍යාන සුවයෙන් වැඩ සිටි අති පූජනීය ස්ථානවලට මල් පිදූ බවත්, එම ස්ථානවල ස්තූපාදිය ගොඩනංවන්නටත් තවදුරටත් උපදෙස් දෙන ලදී.

ඒ අනුව දේවානම්පියතිස්ස රජතුමා සිය අමාත්‍යයන් හා කතා කොට තමන්ගේ බෑනා වූ අරිට්ඨ නම් අමාත්‍යවරයා කැඳවා මාගේ යහළු වූ ධර්මාශෝක රජතුමා හමු වී මහාබෝධිය හා ආර්ය වූ සංඝමිත්‍රා නම් ස්ථවිරාවන් කැඳවා ගෙන එන්නට පුළුවන් දැයි විමසූහ. තමාට එහි ගොස් පැමිණි පසු පැවිදි වීමට අවසර තිබේ නම් එය ඉටුකළ හැකි බව කීමෙන් පසු සංඝමිත්‍රා තෙරණිය මෙරටට වැඩමවීමෙන් පසුව මහණ වීමට අවසර දෙන බව කීමෙන් අනතුරුව අරිට්ඨ කුමරු රජුගේ හා තෙරුන් වහන්සේගේ ද අවසර ගෙන, වැඳ සමුගෙන වප් මස පුර දියවක පිරිවර හා සමඟ දඹුලු තොටට (දඹකොළ පටුනට) ගොස් නැවට නැඟී සමුද්‍රයෙන් එතෙර ව මිහිඳු හිමියන්ගේ අධිෂ්ඨාන බලයෙන් එක දවසින් පැළලුප්නුවරට පැමිණ තිබේ.

මෙහි සඳහන් වෙන අරිට්ඨ නම් අමාත්‍යවරයා හා අරිට්ඨ කුමරු දෙදෙනකු නොව එක් අයකු බව සාහිත්‍ය මූලාශ්‍ර සියුම් ව පරිශීලනය කිරීමෙන් පෙනී යයි. අරිට්ඨ කුමරුට අමාත්‍ය තනතුරක් ප්‍රදානය කොට තිබෙන බවත්, ඔහු රාජ සභාවේ අමාත්‍යවරයකු ලෙස සේවය කළ බවත් තහවූරු වන්නේ භාරත සංචාරයට පෙර සියලු ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කොට අරිට්ඨ අමාත්‍යවරයා රජු ළඟට කැඳවා කැමැත්ත විමසීම හා ඉන්පසු සංචාරය ආරම්භයේ දී අරිට්ඨ අමාත්‍යවරයා ව අරිට්ඨ කුමරු වශයෙන් හඳුන්වා තිබීමෙන් ය. තවද රාජකීය සංචාරයක් සඳහා සාමාන්‍ය කුමාරයකු නොයදවන අතර, ඒ සඳහා නිසැකයෙන් ම රාජ්‍ය අමාත්‍යවරයා වන අරිට්ඨව යොදවන්නට ඇත.

මෙසේ පැමිණි අරිට්ඨ අමාත්‍යවරයා අනුලා දේවිය අතුළු අන්තඞපුර ස්ත්‍රීන් පන්සියයක් දෙනා භික්ෂුණී පැවිද්ද අපේක්ෂාවෙන් දසසිල් සමාදන් ව, කාසායවස්ත්‍රධර ව පැවිද්ද අපේක්ෂාවෙන් සිටින බවත්, ඒ සඳහා සංඝමිත්තා හා දක්ෂිණබෝධි ශාඛාව ද ශ්‍රී ලංකාවට එවන ලෙසත් කරන ලද ඉල්ලීමට අනුව සංඝමිත්තා තෙරණියට දැනුවත් කිරීමෙන් පසුව, ධර්මාශෝක රජතුමා දැනුවත් කළේය. ඒ අවස්ථාවේ තමාගේ පුත් වූ මහින්ද තෙරුන් ද, මුණුබුරු වූ සුමන තෙරුන් ද, තමා හැර යාමෙන් වූ පාලුව මඟහරවා ගත්තේ ඔබ වහන්සේගේ දැකීමෙන් බව පවසා රජතුමා මුලදි අකැමැත්ත පලකොට සිටිය ද සඟමිත් තෙරණිය, මහින්ද තෙරුන්ගේ වචනය ඉතා වටිනා බවත්, අනුලා දේවිය ඇතුළු ස්ත්‍රීන් දහසක් දෙනා පැවිද්ද අපේක්ෂාවෙන්, තමාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පෙරමඟ බලා සිටින බැවින් ශ්‍රී ලංකාවට යන බව පිය රජතුමා දැනුවත් කරන්නට විය.

එබැවින් ශ්‍රී මහාබෝධීන් වහන්සේ ද රැගෙන වැඩම කරන ලෙස අවසර දී තිබේ. රජතුමා මුලදී අකැමැති වුව ද පසුව එයින් සිදුවන්නා වූ යහපත ගැන සිතා සංඝමිත්තා තෙරණියගේ ලංකා ගමනට අවශ්‍ය කටයුතු සූදානම් කොට තිබේ.

ධර්මාශෝක රජතුමා බෝධි ශාඛාව ආයුධයකින් කපන්නට නුසුදුසු බව කල්පනා කරන්නට විය. එනම්, බුදුරදුන්ගේ පාරිභෝගික චෛත්‍ය වන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නොව එහි ශාඛාවක්වත් කපා ඉවත් කිරීමට පසුබට වූයේ ජීවමාන බුදුරදුන්ගේ ලේ සෙලවීමක් වැනි ආනන්තරීය පාප කර්මයක් සේ සිතා ක්‍රියා කළ බවයි. එහෙත් බෝධි ශාඛාවක් කපා ඉවත් කිරීමට පහත කාරනා තුන සම්පූර්ණ වූයේ නම් සිදු කළ හැකි ය.

එනම්,

බෝධි ශාඛාව සර්වඥධාතු සහිත පිළිමයකට අවහිර නම්,

සර්වඥධාතු සහිත ස්තූපයකට අවහිර නම්,

බෝ අත්තක වාඩිවන කපුටන් වැනි සත්තු ඊට යටින් පිහිටි ස්තූපයකට වසුරු හෙළයි නම්

බෝධි ශාඛාව ඉවත් කිරීමට අවසර තිබේ. මෙවැනි කරුණුවලට අමතර ව විසිඑක්වන සියවස වන විට බෝධි ශාඛා පමණක් නොව සම්පූර්ණයෙන් ම බෝධීන් වහන්සේ ම කපා ඉවත් කරන අයුරු දක්නට ලැබේ. මාර්ග සංවර්ධනයේ දී, ආවාසගෙට හෝ බෝධිය ආශ්‍රිත නිවාසවලට අවහිර නම්, විවිධ දිලීර හටගැනීම, බෝධින් වහන්සේ අපවත් වුවහොත් සම්පූර්ණ ම බෝධිය ද, ශාඛාවක් අපවත් වුවහොත් එම ශාඛාව ද ඉවත් කළ හැක.

කෙසේ නමුත් අශෝක රජතුමාට පැනනැඟුණු උක්ත ගැටලුවට අමාත්‍ය මණ්ඩලයේ සිටි මහාදේව නම් ඇමැතියාගේ උපදෙස් අනුව රජතුමා මහා සංඝයා වහන්සේට දන් පිළිගන්වා ශ්‍රී ලංකාවට මහා බෝධි ශාඛාව යැවිය යුතු දැයි අසා තිබේ. එය යහපත් බව සඳහන් කොට මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මහා අධිෂ්ඨාන පහ රජතුමාට දේශනා කළහ.

අශෝක නම් රජු විසින් ගනු ලබන මහාබෝධි දක්ෂිණ ශාඛාව තොමෝ ම සිඳී රන්කටාරමෙහි පිහිටාවා.

ඒ ශාඛාව එසේ පිහිටා ඵල පත්‍රයන්ගෙන් ෂඩ් වර්ණ රශ්මි විහිදාවා.

ඒ ශාඛාව රන් කටාරම සමඟ අහසට නැඟී වළා ගබෙක්හි හත් දවසක් නොපෙනී සිටීවා.

ථූපාරාමයෙහි පිහිටන මාගේ අකුධාතුව අහසට නැඟී යමාමහ පෙළහර කෙරේවා.

ලංකාවට ආභරණ වන ස්වර්ණමාලී චෛත්‍යයෙහි පිහිටන ද්‍රෝණයක් පමණ මගේ ධාතූහූ බුද්ධ වේශධාරී ව අහසට නැඟී යමා මහා පෙළහර කෙරේවා යනුවෙනි.

රජතුමා එය අසා සතුටු වී විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් මවා දෙන ලද රන්කටාරම රැගෙන මහා පෙරහරින් බෝධීන් වහන්සේ වෙත ගිය බව සඳහන් වේ.

මෙ මඟින් කාරණා කිහිපයක් පෙනී යයි. එනම්, බුදුරදුන්ගේ පාරිභෝගික චෛත්‍යය කිසිදු ආයුධයකින් කැපීම අකටයුත්තක් බවත්, එම චාරිත්‍රය පුරාණයේ සිට පැවැත එන්නක් බවත් ය.

තව ද බුදුරදුන්ගේ පංචමහා අධිෂ්ඨානයන්ගෙන් මුල් තුන ම බෝධිය සම්බන්ධයෙන් වීමෙන් පෙනීයන්නේ බුදුන් වහන්සේ පවා අනුමත කොට ඇත්තේ බෝ ශාඛාව ආයුධයකින් නො කපා ආධ්‍යාත්මික ව ලබා ගන්නා ලෙසත්, තමන් වහන්සේ පිරිනිවන් පා සිටිය ද එය අඩුවක් කොට නොපෙන්වා, බෝධීන් වහන්සේ ප්‍රාතිහාර්ය පා පෙන්වා දෙන්නේ බෝධීන් වහන්සේ හෝ ධාතූන් වහන්සේ හෝ යම් තැනක වේ ද, තමන් වහන්සේ ජීවමාන ව වැඩ ඉන්නවා සේ සලකා එයට වත්පිළිවෙත් කොට, පුදපූජා පවත්වා, සිය ආධ්‍යාත්මික සුවය ළඟා කර ගන්නා ලෙස යි.

දහස් ගණන් රහතන් වහන්සේ ද, අභිෂේකලත් රජ දරුවන් දහසකට වැඩි ගණනක් ද, අප්‍රමාණ ජන සමූහයක් ද, බෝධීන් වහන්සේ වෙත රැස්ව සිටිය දී රජතුමා බෝධීන් වහන්සේ තිරයකින් අවුරා ඇඟිලි බැඳගෙන ශ්‍රී මහාබෝධිය දෙස බලා තිබේ. දක්ෂිණ ශාඛාව සම්බන්ධ වූ සතර රියන් තැන හා ස්කන්ධය ද තබා සියලු ශාඛාවෝ අන්තර්ධාන වූ බවත්, මේ ප්‍රාතිහාර්යයෙන් අතිශය ප්‍රීතියට පත් රජතුමා රාජ්‍යයෙන් මහාබෝධිය පුදා, රාජ්‍යයෙහි අභිෂේක කර මල් ආදිය පුදා බෝධිය ප්‍රදක්ෂිණා කරමින් අටතැනක දී නමස්කාර කොට, ශාඛාව දක්වා උස් වූ රන් පුටුවක රන් කටාරම තබා නැඟී රන් තෙල්ලෙන් රන් සිරියෙල් ගෙන රේඛාවක් ඇඳ’මේ බෝධි ශාඛාව ශ්‍රී ලංකාවට යා යුතු නම්, මා සර්වඥ ශාසනයෙහි විමති රහිත නම්, මේ ශාඛාව තමා ම සිඳී බඳුනෙහි පිහිටාවාමයි සත්‍ය ක්‍රියා කරන්නට විය.

ඒ අනුව බෝධි ශාඛාව තමා ම සිඳී රන් කටාරමෙහි පිහිටන්නට විය. එයින් අතිශයින් ප්‍රීතියට පත් රජතුමා හා රැස්ව සිටි පිරිස ද ප්‍රීති ඝෝෂා කරන්නට විය. භික්ෂූන් වහන්සේ සාධුකාර දී ඇත.

මෙසේ නන් අයුරින් ප්‍රාතිහාර්ය පාන ලද ශ්‍රී මහාබෝධියට ධර්මාශෝක රජතුමා සිය රාජ්‍යයෙන් පිදූ බවත්, තවත් සත් දවසක් බෝධි පූජා කරවමින් එහි ම වාසය කළ බවත් සඳහන් වන අතර, සති දෙකක් ඉක්ම ගිය පසු වප් මස පුරපසළොස්වක දින රජතුමා බෝධිය එතැනින් වඩමවා වප් මස කෘෂ්ණ පක්ෂයෙහි චතුර්දර්ශී වූ පොහෝ දවස් රජතුමා බෝධිය ඉතා අලංකාරවත් රථයක තබා ගෙන ඒ දවස ම තම නගරයට වැඩමවා මනෝඥ මණ්ඩපයක් කරවා මහා බෝධිය එහි තබා දෛනික ව නොයෙක් පූජා පවත්වා තිබේ.

බෝධිය ග්‍රහණය කළ දවසින් සතළොස් වන දවසෙහි ම එකවිට ම බෝ අංකුර නවයක් උපන් නිසා ඉතා ප්‍රීතියට පත් වූ රජතුමා නැවතත් බෝධිය රාජ්‍යයෙන් පුදා රාජාභිෂේක කොට මහා බෝධි පූජාවක් පවත්වා තිබේ.

පසුව ධර්මාශෝක රජතුමා බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීම සඳහා විවිධ කුලවලට භාර කොට ගංගා නදියේ සරසන ලද නැවට බෝධීන් වහන්සේ නංවා, සංඝමිත්තා තෙරණිය ඇතුළු තෙරණිවරු ද, එසේ ම මහා අරිට්ඨ ඇමතිවරයා ඇතුළු පිරිස ද නැව් නංවා නුවරින් තාම්‍රලිප්ත තොටට පැමිණ තිබේ. එහි දී බෝධීන් වහන්සේ දෙවි මිනිසුන්ගේ නොයෙක් පුද පූජාවලට ලක්විය. බෝධීන් වහන්සේ ඔසවාගෙන රජතුමා ග්‍රීවය දක්වා ජලයෙහි බැස උඳුවප් මස ශුක්ල පක්ෂයේ පෑලවිය දිනයෙහි බෝධිය නැවෙහි තැන්පත් කළහ. පෙර සඳහන් කරන ලද ලංකාගමනයට ආ සියලු පිරිස ද නැවට නංවා, ධර්මාශෝක රජතුමා මෙබඳු ප්‍රකාශයක් කොට තිබේ.

’මම තුන්වරක් මහා බෝධියට රාජ්‍ය පිදූවෙමි. මාගේ මිත්‍ර රජතුමා ද එසේ ම කෙරෙත්වාමයි. මෙසේ කියූ රජතුමා, බෝධීන් වහන්සේ දෙසට වැඳගෙන ඉවුරේ සිට කඳුළු සලා තිබේ. බෝධීන් වහන්සේගෙන් වෙන්වීමේ ශෝකයෙන් දුකට පත් රජතුමා හඬා තිබේ.

මෙහි දී රජතුමා හඬන්නට ඇත්තේ කාරණා දෙකක් මුල් කර ගෙන විය හැක.

ප්‍රාතිහාර්ය පාන ලද බෝධීන් වහන්සේට තමන් තෙවරක් ම සිය රාජ්‍ය පූජා කළ ද, තමාට එම පූජනීය වස්තුව තබා නොගෙන පිටරටකට යැවීම හේතුකොට ගෙන එයින් වෙන්වීමේ දුකට.

තම (මහින්ද හිමි හා සංඝමිත්තා තෙරණිය) දරුවන් බුදුසසුනට ඇතුළු වී ආර්යඵලයන් ලබා කරන්නා වූ ශාසනික මෙහෙවර ගැන සිතා සතුටු කඳුළු ද මේ අවස්ථාවේ වඟුරුවා ඇත.

ධර්මාශෝක රජතුමා මුල් කරුණට අනුව බෝධීන් වහන්සේ තමාට අවශ්‍ය ම නම් සිය රාජ්‍යයේ තබා ගැනීමට හැකියාව තිබුණ ද එයින් ලක්දිව ජනතාවට සිදුවෙන ලෞකික හා ලෝකෝත්තර සුභසිද්ධිය සිතමින් තම දරුවන් (මහින්ද හිමි හා සංඝමිත්තා තෙරණිය) ද ඒ සඳහා මුල් වී ක්‍රියා කරන හෙයින් මේ ආර්යාගමනයට ඉඩප්‍රස්තා සලසා දී ඇත.

ඒ අනුව මුලින් ම දුකටත්, දෙවනුව සතුටටත් රජතුමා හඬා ඇති බව පෙන්වා දිය හැක.

දේවානම්පියතිස්ස රජතුමා බෝධිය පිළිගැනීම සඳහා වෙරළේ සිටින විට මහ සෘද්ධි බලයෙන් මුහුදෙහි එන නැවෙහි බෝධිය දැක සමුද්දාසන ශාලාව (වර්තමානයේ කඳුරුගොඩ, තන්තරෝදය යන නම්වලින් හඳුන්වයි.) කරවා නැව වෙරළට එනතුරු බලා සිට, ග්‍රීවය තෙක් ජලයට බැස, බෝධීන් වහන්සේ හිසින් දරාගෙන වෙරළට පැමිණ, එහි අලංකාර වූ මණ්ඩපයෙහි වඩා හිඳුවා, ලක්දිව රාජ්‍යය පුදා තිබේ.

බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කොට පරිභෝග කළ ස්ථානයන්හි ද, තිවක්ක නම් බ්‍රාහ්මණ ග්‍රාමයාගේ ගම්දොර ද ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩා හිඳුවා දිවා රෑ දෙකෙහි ම පුද පූජා පවත්වමින් පිළිවෙළින් ගොස් තුදුස්වක දින අනුරාධපුර සමීපයට බෝධීන් වහන්සේ වැඩමවා සවස් කාලයේ උතුරු දොරටුවෙන් නගරයට ඇතුළු වී බෝධීන් වහන්සේ වැඩමවා ගෙන දකුණු දොරින් නික්මුණු රජතුමා ප්‍රධාන මහා පෙරහර මේ කල්පයේ සිව් බුදුවරුන්ගේ පරිභෝජනයට ලක් වූ ස්ථානය වන මහමෙව්නා උයනට පැමිණ සුමන රහතන් වහන්සේ විසින් මනා ලෙස සරසන ලද පූර්ව බෝධීන් වහන්සේ වැඩ සිටි පුණ්‍ය භූමියට පැමිණීමෙන් අනතුරුව එහි රෝපණය කිරීම සඳහා සූදානම් වූ අවස්ථාවේ බෝධීන් වහන්සේ අසූ රියනක් පමණ අහසට නැඟී සවනක් රැස් විහිඳුවා තිබේ. එය දකින ලද දස දහසක් පමණ පුරුෂයෝ විදර්ශනාව වඩා රහත් ඵලයට පත් වී තිබේ.

එදින සවස් කාලයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෙහෙන නැකතින් මහමෙව්නා උයනෙහි තැන්පත් කළ පසු පොළොව කම්පා විය. මහජනයා සුවඳ මල් ආදියෙන් බෝධීන් වහන්සේ පිදීමෙන් අනතුරුව මහා මේඝයක් ද වැස්ස බවත්, බෝධීන් වහන්සේ හිම වළාකුළින් වැසී ගොස් අනතුරුව දෘශ්‍යමාන වී තිබෙන බවත් සඳහන් ය.

මිහිඳු මහරහතන් වහන්සේ ද, සංඝමිත්තා තෙරණිය ද සපිරිවරින් පැමිණෙන අතර, රජතුමා ද විශාල පිරිසක් සහිත ව පැමිණ තිබේ. දේවානුභාවයෙන් එම අවස්ථාවට පැමිණි අතිවිශාල පිරිස ප්‍රාතිහාර්ය දැකීමෙන් පුදුමයට පත්විය. රජතුමා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රෝපණය කිරීිමෙන් අනතුරුව රැස්ව සිටි සියලු දෙනා බලා සිටිය දී ම එයින් අංකුර අටක් පැන නැඟී තිබේ. එය දැක අතිසෙයින් විශ්මයට පැමිණ, සේසතින් පුදා අභිෂේකය කරන්නට විය.

මේ බෝ පැල අටෙන් එකක් මහා බෝධීන් වහන්සේ නැවෙන් ගොඩට වැඩම කළ ස්ථානය වන දඹකොළ පටුනෙහි රෝපණය කළ බවත්, ඉතිරි හත පිළිවෙළින්, තිවක්ක බ්‍රාහ්මණ ග්‍රාමේ, ථුපාරාමේ ,ඉසුරුමුණියේ, පළමුවැනි සඳමන්‍දාවේ, සඳගිරි වෙහෙර, කතරගම , සඳුන්ගම යන ස්ථානවල රෝපණය කළ බවත් අනෙක් පැළ සතරින් උපන් තිස් දෙකක් වූ බෝ පැල ද ලංකාවේ යොදුනෙන් යොදුන විහාරස්ථානවල රෝපණය කළ බවත් මහාවංශයේ තවදුරටත් සඳහන් වේ.

සිංහල බෝධිවංශයෙහි අෂ්ටඵල බෝධි හා දෙතිස්ඵල බෝධි පිහිටි ස්ථාන පිළිවෙළින් පහත සඳහන් වේ.

දඹුලුතොට, තිවක්ක බ්‍රාහ්මණ ග්‍රාමයේ, ථූපාරමයේ, කසුන්ගිරි වෙහෙර, ප්‍රථමක චෛත්‍යයස්ථානයේ, සෑගිරියේ, කතරගම, සඳුන්ගම මහාවංශයේ සඳහන් තිස් දෙකක් වූ බෝ පැළ ද ලංකාවේ යොදුනෙන් යොදුන විහාරස්ථානවල රෝපණය කරණ ලද ස්ථාන බෝධිවංශයේ මෙසේ සඳහන් වේ.

මල්වැස්සා වෙහෙර, තන්ත්‍රිමාල වෙහෙර, මුහුදුබඩ මහාජල්ලික නම් කෙවුල්ගම, කොට්ටියාරම, පොලොන්නරුව,මාතලේ රුසීගම, රුහුණුරට මාගම, විල්වල, මහියංගණය, සේරුවිල සමීපයේ නයින්ගේ විල්ගම්වෙහෙර, ඌව බදුල්ලේ මුතියංගණය, බුත්හල හප්පෝරු වෙහෙර, රුහුණුරට සිතුල්පව් වෙහෙර, තංගලු වෙහෙරට බටහිර වනවාස වෙහෙර,වැලිගම් වෙහෙර, පරගොඩ, මැද්දේගම, ගණේගම, කොත්මලේ පුසුල්පිටිය,මායා රට වතුරේ, බෙලිගල, බෙල්ලන්විල, වඳුරව, වට්ටාරම රජ මහා විහාරය, සුලුගල්ලේ, රැස්වේරුවේ, කටියාවෙහි, ගිරිබා වෙහෙර, යාපහුව සුන්දරගිරි පව්වේ, කසාගලු වෙහෙර, ඇඹලව රහත්ගල් වෙහෙර, මෙම හතළිහක් වු බෝධීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන කළ ආකාරයට ම ශ්‍රී ලංකා ද්වීපයෙහි පිහිටා තිබේ.

දේවානම්පියතිස්ස රජතුමා විසින් බුදුරදුන් සන්තක ලක්දිව බුදුරදුන්ට ම අයිති බව හඟවමින් දාගැබ්, මහා බෝ පිහිටුවා ශ්‍රී ලංකාව ම, ශ්‍රී මහාබෝධීන් වහන්සේට පූජා කොට හතළිහක් වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේට හා ඒ ඒ වෙහෙර විහාරවලට ගම් දුන් බවත්, ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව හා හතළිහක් වූ සෙසු ඵල බෝධීන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමා විසින් ම පිහිට වූ බවත් සඳහන් වේ.

මෙ මඟින් පෙනී යන්නේ ශ්‍රී මහා බෝධිය ලක්දිවට වැඩම කිරීම නිසා මිහින්තලා පව්වෙන් ආරම්භ වෙන සදහම් නදිය ගම්දනව් සිසාරා ශ්‍රී ලංකා ද්වීපයෙහි විශාල භූමි භාගයක රාජ්‍ය අනුග්‍රහ ඇතිව (බුදු දහම) ව්‍යාප්ත වූ බව යි. රාජ්‍ය අනුග්‍රහ ඇතිව මේ ආගමික උත්සවය පැවැත්වූ නිසා විශාල වශයෙන් සාමාන්‍ය ජනතාව තෙරුවන් සරණ ගොස් බෞද්ධ උපාසක උපාසිකවන් ව බුදුදහමේ උන්නතියට කටයුතු කොට තිබෙන බව බෝධීන් වහන්සේ රෝපණය කරවූ ඇතැම් ඓතිහාසික ස්ථාන අද වනවිටත් සාක්‍ෂ්‍යය දරයි.

උඳුවප් අව අටවක

 දෙසැම්බර් 22 ඉරිදා අ.භා. 02.36 අව අටවක ලබා 23 සඳුදා
අ.භා 05.10 ගෙවේ.
 22 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

Full Moonපසළොස්වක

ජනවාරි 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]