[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දිවියාගහ යසස්සි නාහිමිපාණෝගෞරව නාමයෙන් පිදුම් ලබති

දිවියාගහ යසස්සි නාහිමිපාණෝ ගෞරව නාමයෙන් පිදුම් ලබති

මාතර දිස්ත්‍රික්කයේ දිවියාගහ නම් සොඳුරු ගම්මානයේ පදිංචි ව සිට පරලොව සැපත් ඩී.එන් රත්නායක මැතිතුමාගේ සහ ඩී.එල්.ඩී. ප්‍රැන්සිනා මැතිනියගේ පුත්‍ර රත්නයක් වශයෙන් 1935 ජනවාරි 02 දා ජන්මලාභය ලැබීය.

දීයගහ බටහිර කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ කඹුරුපිටිය ඊරියතොට රජයේ විද්‍යාලයෙන් ගිහි අධ්‍යාපනය ලබමින් සිටිය දී මේ පින්වත් කුල කුමරුවාගේ පූර්වකෘත පුණ්‍ය මහිමය අනුව ගණේගම අත්ථදස්සි, දිවියාගහ විපුලතිස්ස මහා ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1947 ඔක්තෝබර් මස 08 වන දින දිවියාගහ යසස්සි නමින් උතුම් පැවිදි බිමට පත්විය.

මාතර සුදර්ශී පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා කොළඹ මාළිගාකන්ද විද්‍යොදය මහ පිරිවෙනින් සිංහල, පාලි, සංස්කෘත, ත්‍රිපිටක ධර්මය, ඉංග්‍රීසි ආදී ප්‍රාචීන ප්‍රතිචීන භාෂා ශාස්ත්‍ර හදාරා මහත් පඬිරුවනක් ලෙස සමාජගත විය. අනතුරුව විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාවත්, මැලේසියාවේ ලන්කන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් හිමි කර ගැනීමට දක්ෂ වූහ.

1962 වසරේ දී මාතර සුදර්ශී පිරිවෙනෙහි ආචාර්ය ස්වාමීන් වහන්සේ නමක් ව, අනතුරුව හක්මන කෝංගල මහා විද්‍යාලය, පාලටුව ගුණරතන මහා විද්‍යාලය, කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයන්හි සේවය කොට 1970 දී කොළඹ ආනන්ද විද්‍යාලයට ගුරු සේවය සඳහා එක් වූහ. එම විද්‍යාලයේ පුරා විසි එක් වසරක් ආචාර්යවරයකු වශයෙන් ද, සහකාර විදුහල්පති වශයෙන් ද කළ සේවය අමරණීය යි.

පාසල් දිවියෙන් විශ්‍රාම ගැනීමත් සමඟ ම රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කළ සේවය ද ප්‍රශංසාර්හ ය.

1983 වසරේ දී වටරප්පල පාරේ බෞද්ධායතනය නමින් විහාරස්ථානයක් ආරම්භ කරන්නට යෙදුණි. 1991 වසරේ දී බෞද්ධායතන ධර්ම විද්‍යාලය ඉංග්‍රීසි සිංහල මාධ්‍ය දෙකින් ම ආරම්භ කිරීම සුවිශේෂී ය.

දස වසරක් පුරාවට ගවයින් දහසකට අධික සංඛ්‍යාවකට අභය දානය සඳහා නායකත්වය ලබා දුන්හ. ඇස් කණ්ණාඩි, රෝද පුටු පරිත්‍යාග කිරීම මෙන් ම වෛද්‍ය සායන පැවැත්වීම ද යහපත් ය.

ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන දූ දරුවන් තෝරා ගෙන මාස්පතා ශිෂ්‍යත්ව දානය කිරීම ප්‍රශස්ත ය.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වීය කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයත්, උපාධ්‍යාය ධූරයත් හොබවන උන්වහන්සේ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උප සභාපති ධුරය හෙබවූ අතර, වර්තමානයේ ප්‍රධාන අනුශාසක ධුරය හොබවති.

සදහම් ග්‍රන්ථ රැසක් සමාජගත කර ඇති උන්වහන්සේ විවිධ පුවත්පත් සඟරා ආදියට සාරවත් ලිපි සපයන ජනප්‍රිය ලේඛකයකු හැටියට ද හැඳීන්විය හැකි ය.

අතිගරු දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙම ආගමික, ජාතික, සාමාජික, අධ්‍යාපන සේවාව කෙරෙහි සුපැහැදුණු ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක සානුනායක වරප්‍රමුඛ ගරුතර කාරක සංඝ සභාව වෙතින් මෙම 21 දා “ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්ම ජෝතික” යන ගෞරව නාමයෙන් පුදනු ලබයි. අතිගරු දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සසුන් කෙත අස්වද්දන්නට, තුණුරුවනේ සූවිසි ගුණ බලයෙන් කායික, මානසික ශක්තිය ලැබේවා'යි මෙත් සිතින් ප්‍රාර්ථනා කරම්හ.

උඳුවප් පුර පසළොස්වක

 දෙසැම්බර් 14 සෙනසුරාදා අ.භා. 05.02 පුර පසළොස්වක ලබා
15 ඉරිදා අ.භා. 02.36 ගෙවේ.
14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]