[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නා හිමිපාණෝ උත්තරීතර මහානායක පදවියෙන් සම්භාවනාවට පාත්‍රවෙති

කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නා හිමිපාණෝ උත්තරීතර මහානායක පදවියෙන් සම්භාවනාවට පාත්‍රවෙති

අමරපුර සාමග්‍රි සංඝ සභාවේ අභිනව උත්තරීතර මහානායක නාහිමිපාණන් වහන්සේ ලෙස බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමියෝ,රාජගිරිය කළපලුවාව ශ්‍රී තපෝවනාරාමයේ දී පැවැති අමරපුර මහා නිකායේ පාලක සංඝ සභාවේ දීි පසුගිය දා (26) තෝරා පත් කරගනු ලැබීය.

අග්ගමහා පණ්ඩිත අභිධජ මහා රට්ඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේගේ සෙවණේ උගත මනා බණ දහම් හැදැරූ කුල කුමරු වර්ෂ 1962 ජුනි මස 18 වන දින බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ දී උතුම් වු ශාසනික පැවිද්ද ලැබුයේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති යන පැවිදි නාමයෙනි.

සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය ඉංග්‍රිසි ආදි භික්ෂු ජීවිතයට අත්‍යවශ්‍ය විෂයයන් පිළිබඳ මුලික දැනුම සිය ගුරු දේවයන් වහන්සේ වන ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේගෙන් ලබා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා දියතලාව සුධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනට ඇතුළත් වූහ. ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම ආදි විභාග හොඳීන් සමත් වුහ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ගෞරව උපාධිය ලබා ගත්හ.ඉක්බිති එම අධ්‍යයන අංශයේ මහාචාර්ය කේ.එන්.ජයතිලක මහතාගේ තේරිම අනුව එම අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කිරිමට ද උන් වහන්සේ භාග්‍ය සම්පන්න වුහ.

1971 ජුලි මස 17 වැනි දින බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේගේ අචාර්යත්වයෙන් උතුම් වු අධිශිල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. උන් වහන්සේ සිය ගුරු දේවයන් වහන්සේගේ ඉල්ලීම පරිදි බළන්ගොඩ ශ්‍රි ධර්මානන්ද විද්‍යායතන පිරිවෙනෙහි පරිවෙනාධිපති ධුරය භාර ගත්හ. එතැන් සිට භෞතික හා ගිහි පැවිදි මානව සම්පත දියුණු කරමින් වසරින් වසර බළන්ගොඩ අධ්‍යාපන කලාපයේ පමණක් නොව රත්නපුර දිස්ත්‍රික්කයේ ද අධ්‍යාපන සංවර්ධන අංශයෙන් ඉහළ ස්ථානයක් ලබා ගැනීමට සමත් වුයේ, උන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය හා කැපවීමේ මෙන් ම සෘජු වූ ත්, නිවැරැදි වූ ත්, ප්‍රතිපත්ති නිසාවෙන් ම ය.

අමරපුර රාස්සගල විහාර පාර්ශවයේ මහා ලේඛකාධිකාරි ධුරයේ කටයුතු කරමින් නිකායාභිවෘද්ධිය සඳහා කැපී පෙනෙන සේවාවක් ඉටු කළහ. එමෙන් ම සමස්ත ලංකා අමරපුර සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරි ධුරයත්, උප සභාපති ධුරයත්, අප නාහිමියන් වෙත ලැබෙන්නේ උන් වහන්සේගේ නිවැරැදි වූ ත්, පිරිසුදු වූ ත් කාර්යශූර ශාසනික කටයුතු නිසා ම ය. 2004 වර්ෂයේ දී තත් නිකායේ මහානායක ධුරය අප නාහිමියන්ට ලැබෙන්නේ කාරක සංඝසභාවේ ඒකච්ඡන්දයෙනි. සමස්ත ලංකා අමරපුර සංඝ සභාවේ ගරු සභාපති පදවියෙන් පිදුම් ලැබු අප නාහිමියෝ එහි වැඩබලන උත්තරීතර මහානායක හිමියන් ලෙස වසරකට අධික කාලයක් කටයුතු කළහ.

අප උත්තරීතර මහ නාහිමියෝ අධ්‍යාපනික, ආගමික, ශාසනික සංස්කෘතික, සහ සාමාජිය ලෙස මෙරට සිදු කළ සේවාව අගයමින් ගෞරව නාම රැසකින් පිදුම් ලබා ඇත. ඒ අතර ආනන්ද මෛත්‍රෙය මහා වංශාවතංශ මහෝපාධ්‍යාය, ප්‍රවචන කීර්ති ශ්‍රි සද්ධර්මාචාර්ය, සම්බුද්ධ ශාසන කීර්ති ශ්‍රි, ත්‍රිපිටක විශාරද,පරියාප්ති ශාසන ධර්මධ්වජාග්‍ර, සිරි සුගත ශාසන වංශාලංකාර සද්ධර්ම විභූෂණ යන ගෞරව නාම සුවිශේෂි වේ.

උත්තරීතර මහානායක පදවියෙන් සම්භාවනාවට පාත්‍ර වු අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහ නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත්, උතුම්, රත්නත්‍රයේ ආශිර්වාදයත් ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

අප මහ නාහිමිපාණන් වහන්සේ පිළිබඳ තවදුරටත් සවිස්තරාත්මක තොරතුරු සහිතව මෙහි සම්පූර්ණ ලිපිය උඳුවප් අව අටවක පෝදා අන්තර්ජාල කලාපයේ පළවේ

උඳුවප් පුර පසළොස්වක

 දෙසැම්බර් 14 සෙනසුරාදා අ.භා. 05.02 පුර පසළොස්වක ලබා
15 ඉරිදා අ.භා. 02.36 ගෙවේ.
14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]