සය වැදෑරුම් සුවිශේෂී උපත්
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සමයේ අග්‍ර උපස්ථායක ආනන්ද
ස්වාමීන් වහන්සේ විසින් ෂට් ශාස්තෘවරුන් අතර සිටි පූරණකස්සප විසින් පනවන ලද විශේෂ
උපත් හයක් පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූ අවස්ථාවේ එම කරුණ මූලික කර
ගනිමින් ඡළාභිජාති සූත්‍රය දේශනා කළ සේක.
ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක්
උපදවයි.
ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ ඇති දෙයක්
උපදවයි.
ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ නොවූත්, සුදු
පැහැ නොවූත් නිර්වාණය උපදවයි.
ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක්
උපදවයි.
ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ ඇති දෙයක්
උපදවයි.
ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ නොවූත්, කළු
පැහැ නොවූත් නිර්වාණය උපදවයි.
මෙම විශේෂ උපත් හය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ මේ අයුරින් දේශනා කළ සේක.
ආනන්දයෙනි, ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවන්නේ
කෙසේ ද? ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් නීච කුලයේ උපන්නේ වෙයි. එනම් සැඩොල් කුලයේ වේවා,
වැදි කුලයේ වේවා, කුළුපොතු කුලයේ වේවා, රථකාර කුලයේ වේවා, පුක්කුස කුලයේ හෝ වේවා
උපන්නේ වෙයි.
දිළිඳු වූයේ, අල්ප වූ ආහාරපාන ඇති ව, දුක සේ දිවි ගෙවෙන, දුක සේ කුසගිනි නිවා
ගන්නා, වස්ත්‍ර ලබා ගන්නා කුලයෙහි උපන්නේ වෙයි. එමෙන් ම ඔහු දුර්වර්ණ වූයේ වෙයි.
දැකීමට අප්‍රසන්න වූයේ වෙයි. ඉතා මිටි වූයේ වෙයි. බොහෝ රෝගාබාධ ඇත්තේ වෙයි. එකැස්
ඇත්තේ වෙයි. වකුටු අත් පා ඇත්තේ වෙයි. කොර වූයේ හෝ වෙයි. පිළු හෝ වෙයි. ආහාරපාන,
වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්, සයනාසන, නිවාස, පහන් ආදී ගෘහෝපකරණ නැත්තේ වෙයි.
ඒ තැනැත්තා කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. මනසින්
දුසිරිතෙහි හැසිරෙයි. කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, මනසින්
දුසිරිතෙහි හැසිර, කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදියි.
ආනන්දයෙනි, මෙසේ කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවන්නේ
වෙයි.
ආනන්දයෙනි, ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ ඇති දෙයක් උපදවන්නේ
කෙසේ ද? ආනන්දයෙනි මෙහිලා ඇතැමෙක් නීච කුලයේ උපන්නේ වෙයි. (පෙර විස්තරය) එමෙන්ම ම
ඔහු දුර්වර්ණ වූයේ වෙයි. (පෙර විස්තරය) ආහාර පාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්,
සයනාසන, නිවාස, පහන් ආදී ගෘහෝපකරණ නැත්තේ වෙයි.
ඒ තැනැත්තා කයින් සුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් සුසිරිතෙහි හැසිරෙයි. මනසින්
සුසිරිතෙහි හැසිරෙයි. කයින් සුසිරිතෙහි හැසිර, වචනයෙන් සුසිරිතෙහි හැසිර, මනසින්
සුසිරිතෙහි හැසිර, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි.
ආනන්දයෙනි මෙසේ කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ ඇති දෙයක් උපදවන්නේ
වෙයි.
ආනන්දයෙනි, ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ නොවූත්, සුදු පැහැ
නොවූත් නිර්වාණය උපදවන්නේ කෙසේද? ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් නීච කුලයේ උපන්නේ වෙයි.
එනම් සැඩොල් කුලයේ වේවා, (පෙර විස්තරය) එමෙන්ම ඔහු දුර්වර්ණ වූයේ වෙයි. දැකීමට
අප්‍රසන්න වූයේ වෙයි. ඉතා මිටි වූයේ වෙයි. (පෙර විස්තරය) ආහාර පාන, වස්ත්‍ර, යාන,
මල්, සුවඳ විලවුන්, සයනාසන, නිවාස, පහන් ආදී ගෘහෝපකරණ නැත්තේ වෙයි.
ඒ තැනැත්තා කෙස් රැවුල් බා, කහවත් දරා, ගිහි ගෙයින් නික්ම, බුදු සසුනෙහි පැවිදි
වෙයි. හේ මෙසේ පැවිදි වූයේ සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන්නා වූ පංච නීවරණයන්
ප්‍රහාණය කොට සතර සතිපට්ඨානයන්හි මනා ලෙස පිහිටුවා ගත් සිතින් යුතු ව සප්ත
බොජ්ඣංගයන් ඒ වූ අයුරින් ම දියුණු කොට" කළු පැහැ නොවූත්, සුදු පැහැ නොවූත් නිර්වාණය
උපදවයි.
ආනන්දයෙනි, මෙසේ කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ නොවූත්, සුදු පැහැ
නොවූත් නිර්වාණය උපදවන්නේ වෙයි.
ආනන්දයෙනි, ඇතැමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවන්නේ
කෙසේද? ආනන්දයෙනි මෙහිලා ඇතැම් පුද්ගලයෙක් උසස් කුලයෙහි උපන්නේ වෙයි. ක්ෂත්‍රිය
මහාසාර කුලයෙහි හෝ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි හෝ ගෘහපති මහාසාර කුලයෙහි හෝ උපන්නේ
වෙයි. ආඪ්‍ය වූයේ, මහත් ධනය ඇත්තේ, මහත් භෝග ඇත්තේ වෙයි. බොහෝ රන් රිදී ඇති, බොහෝ
ධන ධාන්‍ය ඇති, බොහෝ වස්තූපකරණ ඇත්තේ වෙයි. හේ අභිරූප සම්පන්න වෙයි. ඉතා ලස්සන
වෙයි. දුටුවන් පහදින්නේ වෙයි. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වූයේ වෙයි. ආහාරපාන,
වස්ත්‍ර, යාන, වාහන, මල්, සුවඳ විලවුන්, සයනාසන, නිවාස, පහන්, ගෘහෝපකරණ ලබන සුළු
වෙයි.
ඒ තැනැත්තා කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. මනසින්
දුසිරිතෙහි හැසිරෙයි. කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර , මනසින්
දුසිරිතෙහි හැසිර, කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදියි.
ආනන්දයෙනි, මෙසේ සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවන්නේ
වෙයි.
ආනන්දයෙනි, ඇතැමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ ඇති දෙයක් උපදවන්නේ
කෙසේද? ආනන්දයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් උසස් කුලයෙහි උපන්නේ වෙයි. ක්ෂත්‍රිය
මහාසාර කුලයෙහි හෝ (පෙර විස්තරය) ආහාරපාන, වස්ත්‍ර යාන වාහන, මල්, සුවඳ විලවුන්,
සයනාසන, නිවාස, පහන් ගෘහෝපකරණ ලබනසුලු වෙයි.
ඒ තැනැත්තා කයින් සුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් සුසිරිතෙහි හැසිරෙයි. මනසින්
සුසිරිතෙහි හැසිරෙයි. කයින් සුසිරිතෙහි හැසිර, වචනයෙන් සුසිරිතෙහි හැසිර, මනසින්
සුසිරිතෙහි හැසිර, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි.
ආනන්දයෙනි, මෙසේ සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ ඇති දෙයක් උපදවන්නේ
වෙයි.
ආනන්දයෙනි, ඇතැමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ නොවූත්, කළු පැහැ
නොවූත් නිර්වාණය උපදවන්නේ කෙසේද? ආනන්දයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් උසස් කුලයෙහි
උපන්නේ වෙයි. ක්ෂත්‍රිය මහාසාර කුලයෙහි හෝ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි හෝ ගෘහපති
මහාසාර කුලයෙහි හෝ උපන්නේ වෙයි. ආඪ්‍ය වූයේ, මහත් ධනය ඇත්තේ" මහත් භෝග ඇත්තේ වෙයි.
බොහෝ රන් රිදී ඇති බොහෝ ධන ධාන්‍ය ඇති, බොහෝ වස්තූපකරණ ඇත්තේ වෙයි. හේ
අභිරූපසම්පන්න වෙයි. ඉතා ලස්සන වෙයි. දුටුවන් පහදින්නේ වෙයි. උතුම් වර්ණ
සෞන්දර්යයෙන් යුක්ත වූයේ වෙයි. ආහාරපාන, වස්ත්‍ර, යාන වාහන, මල් සුවඳ විලවුන්,
සයනාසන, නිවාස, පහන්, ගෘහෝපකරණ ලබනසුලු වෙයි.
ඒ තැනැත්තා කෙස් රැවුල් බා කහවත් දරා, ගිහි ගෙයින් නික්ම, බුදු සසුනෙහි පැවිදි
වෙයි. හේ මෙසේ පැවිදි වූයේ සිතට උපක්ලේශ වූ , ප්‍රඥාව දුර්වල කරන්නා වූ, පංච
නීවරණයන් ප්‍රහාණය කොට සතර සතිපට්ඨානයන්හි මනා ලෙස පිහිටුවා ගත් සිතින් යුතු ව සප්ත
බොජ්ඣංගයන් ඒ වූ අයුරින් ම දියුණු කොට කළු පැහැ නොවූත්, සුදු පැහැ නොවූත්, නිර්වාණය
උපදවයි. ආනන්දයෙනි, මෙසේ සුදුු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ නොවූත්, කළු
පැහැ නොවූත් නිර්වාණය උපදවන්නේ වෙයි.
“ඉමං ඛෝ ආනන්ද ඡළාභිජාතියෝති.”
ආනන්දයෙනි, මේ වනාහී සය වැදෑරුම් විශේෂ උපත් ය. |