ඉල් පුරඅටවක පෝ දා
2024-11-09
සත්පුරුෂ ඇසුර ම තෝරා ගන්න
සුගති, දුගති ලෝකයන්හි උපත කර්ම ශක්තිය අනුව තීරණය වන්නකි. කළ කම් අනුව සැප හෝ,
දුක් විපාක හෝ හිමි වීම ලෝක ස්වභාවය යි. කෙනෙක් යහපත් කර්ම කළේ නම් එහි අනුසස් ද
යහපත් ය. අයහපත් කර්ම කළේ නම් විපාක ද ඒ හා සමාන ය. එය තේරුම් ගන්නට නොහැකි නුනුවණ
දනෝ සුගති ලෝක මඟ පෙනි පෙනී දුගතියෙහි වැටෙති.
සසර මඟ සුඛිත මුදිත කර ගන්නටත්, සසර දිගු කරන සියලු කෙලෙස් දුරු කර ගන්නටත් සිත
දියුණු කර ගන්නට මිනිස් බවයක් ලද අපට හැකියාව ඇත. මනසින් උසස් නිසා අපි මනුස්ස යන
නාමය ලබා ඇත්තෙමු. කෙනෙක් ඒ මනස අවභාවිත කරමින් පව් කඳු ගොඩගසා ගන්නේ නම් ඒ
පුද්ගලයාට ඝොර සසර මඟ දිගු ය.
එකල දෙලොව යහපත කැමැති දෙවියෝ ද, මිනිස්සු ද මංගල සම්මත කරුණු මොනවාදැයි සිතූහ.
බුදුරදුන් වෙත පැමිණ තමන්ට අනුකම්පාවෙන් ඒ උතුම් ධර්මය දේශනා කරන ලෙස ඉල්ලා සිටියහ.
අද අපි උදේ, සවස තෙරුවන් නමැද තුන් සූත්‍රය සිහිපත් කරමු. එසේ සජ්ඣායනය කරමින්
ආශිර්වාදය, සෙත ප්‍රාර්ථනා කරන්නෙමු. තුන්සූත්‍රය නොදන්නා, වනපොත් කර නැති බෞද්ධයකු
දුලබ ය. එහෙත් ඒ උතුම් රත්නයන්හි අන්තර්ගත ධර්මෝපදේශ ජීවිතයට පුරුදු කරන්නේ කීයෙන්
කී දෙනාද යන ප්‍රශ්නය අද සමාජය හමුවේ පවතී. පරලොවට තබා තමන් අත්දකින මේ මොහොත ගැන
හෝ සිතා වැරැදි නිවැරැදි කර නොගන්නා, අයහපත් කර්ම රැස්කරන මිනිසුන් බොහෝ බැවිනි
එලෙස කිව හැකි වන්නේ.
‘මැණික් ගලේ පය හැපුණත් කණා අහුලලා ගනී දැ’යි ජනවහරේ එන කියමන් ගැලපෙන්නේ මෙවැනි
අඥානයින්ට ය. මසැස පෙනුණ ද අන්ධයන් සේ කරන රංගනයෙන්, රැවටීමෙන් එළියට එන්නට දැන්
කාලය පැමිණ තිබේ.
අඳුරෙන් ආලෝකයට යන්නට, ආලෝකයෙන් ආලෝකයට යන්නට උතුම් ධර්මෝපදේශ අපට ඕනෑතරම් තිබේ.
බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් උදෙසා දේශිත ඒ මංගල කරුණුූ යම් කෙනෙක් තමන්ගේ
ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්නේ නම්, ඒ පුද්ගලයාට මේ ජීවිතය ගැන හෝ පරලොව ගැන හෝ
බියක් ඇති කර ගත යුතු නැත. ඔහු අතීතයේ කළ වරදින් මිදී නිවැරැදි පුද්ගලයෙක් බවට
පත්වේ. සම්බුද්ධ දේශනාවේ ම සඳහන් ලෙස වළාකුලෙන් මිදුණ සඳ සේ ඔහුගේ ජීවිතය බැබළීමට
පත්වේ. ඒ මඟ දෙලොව ම යහපත සදන්නේ ය.
බාලයන් සේවනය නොකිරීම උතුම් මංගල කරුණකි. ඇසුර, ජීවිතයේ හොඳට, නරකට බලපාන ප්‍රබල
සාධකයකි. ජීවිතය ඉහළට ඔසවා තබන්නට සේ ම ඉන්නා තැනිනුත් පහළට ම ඇද දමන්නට තරම් එය
බලවත් ය.
බාලයන් යනු වයසින් බාලයන් නොව, අනුවණයින්, අසත්පුරුෂයින් ම වන බව අප දත යුතු ම ය.
අසත්පුරුෂ අඥානයා කරන තරමක් කරනුයේ පව්කම් ය. අසාධාරණ ලෙස සොරකමින්, වංචාවෙන්,
බොරුවෙන් ජීවත්වන හෙතෙම තමා සමඟ ඇසුරට වැටෙන්නෝ ද ඒ තැනට ම ඇද දමති.
සමාජයේ කුඩා ම ඒකකය මෙහෙයවන මව්පියන්ගේ සිට මහා සමාජයේ විවිධ අංශ මෙහෙයවන,
නායකයින්, පාලකයින් ද අසත්පුරුෂයින් වේ නම් ඒ සමාජයේ අන්‍ය සාමාජිකයින්ට යන කල
දුර්භාග්‍ය සම්පන්න ය. එහෙයින් බෞද්ධ සමාජය සත්පුරුෂයන් ම ඇසුරට යොමුවිය යුතු ය. ඒ
සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයකි මේ.
|