[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

දෑ අභිමානය ලොවට ම පෙන්වන මාම්පිට රාජ මහා විහාර පින්බිම

සතර කෝරළයේ අභිමානය ලොවට විදහාපාන තවත් එක් අසිරිමත් සිද්ධස්ථානයක් පිළිබඳ ව සටහනක් තබන්නේ එහි වර්තමානයෙහි තත්ත්වය පරිපූර්ණ ව අනාගතයට ද දායාද විය යුතු නිසාවෙනි. මේ පින්බිම නමින් මාම්පිට රාජ මහා විහාරය ලෙස ගම් වැසියන්ගේ ගෞරවයට පාත්‍ර ව ඇත. කන්ද උඩරට රාජ්‍යයේ නෙළුම්දෙණියට යාබද ව පිහිටා ඇති මෙම විහාරස්ථානය තුළ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත බොහෝ අංග සුරක්ෂිත ය. බැලූ බැල්මට කඳු කපොලු අතරෙහි පිහිටා තිබෙන මෙම විහාරස්ථානයේ බොහෝ සුවිශේෂතාවන් වේ. කඳු ගැටයක පිහිටා තිබෙන මෙම ගල් ලෙනෙහි ඇතුළු ගෘහයෙහි මනස්කාන්ත සිතුවම් බොහෝ සිත්තරුන්ට කරන්නට තබා සිතන්නටවත් නොහැකි ඒවා බැව් පැවසිය හැකි ය. පළා පෙති මෝස්තර හා නෙළුම් මල් වර්ණ පූර්ණිත වනුයේ බොහෝ විට රතු, රෝස, කහ පැහැයෙනි. මෙහි සිතුවම්වලට නුවර කලා ආභාසය ලැබී ඇති බව බොහෝ විදුවත්හු පෙන්වා දෙති. මෙම ගල්ලෙන අභ්‍යන්තරයට පිවිසෙන දොරටුවට ඉහළින් කොටා ඇති කටාරම මෙහි ඇති පුරාවිද්‍යාත්මක හරය මැනවින් ඉස්මතු කරන්නකි. ඊට ඉහළින් බ්‍රාහ්මීය අක්ෂර යොදාගනිමින් කරන ලද ලෙන් ලිපියක් දක්නට ලැබේ. මෙම ලෙන් ලිපිය ක්‍රිස්තු පූර්ව 3 සිට ක්‍රිස්තු වර්ෂ 1 දක්වා කාල පරාසයට අයත් බව පුරාවිද්‍යාත්මක සාධක මඟින් සනාථ වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තහවුරු කොට තිබේ. මෙම ලෙන් ලිපියෙන් අවධාරණය වන්නේ වාරිමාර්ග ඛටයු කරන ලද උත්තරගේ කහවණු දෙකක් ද, මණිකාර සේවයේ යෙදුණු ඵුස්සගේ කහවණුවක් ද යනුවෙනි. මෙම ලිපියෙහි සඳහන් ඇතැම් අක්ෂර කාලයාගේ ඇවෑමෙන් ගෙවී ගොස් ඇති හෙයින් මෙයින් එන පණිවිඩය පිළිබඳ මෙය ඉක්මවා යන අදහසක් ගත නොහැකි ය. නුවර යුගයේ කලා ලක්ෂණවලින් පිරිපුන් සඳකඩ පහණක් ද මෙම ස්ථානයෙහි දැකගත හැකි වේ.

ඉල් පුර අටවක

 නොවැම්බර් 08 සිකුරාදා අ.භා. 11.55 පුර අටවක ලබා 09 සෙනසුරාදා අ.භා. 10.43 ගෙවේ.
09 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 09

Full Moonපසළොස්වක

නොවැම්බර් 15

Second Quarterඅව අටවක

නොවැම්බර් 23

Full Moonඅමාවක

නොවැම්බර් 30

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]