[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අගතියට නොයමු

අගතියට නොයමු

පිරිසක් සමඟ එකට වාසය කරන විට ඒ පිරිස සමසිතින් ඇසුරු කිරීමට අපට නොහැකි වනුයේ ඡන්දයෙන් අගතියට යෑම නිසයි

අපි, ජීවිතය සාර්ථක කර ගැනීමට කොතෙකුත් උත්සාහ, උපක්‍රම යොදා ගෙන තිබෙනවා. ව්‍යාපාර දියුණු කර ගැනීමට, එහෙම නැත්නම් තමන්ගේ පවුල් පරිසරය දියුණූු කර ගැනීමට අප නොයෙක් අන්දමින් ධනය, ශ්‍රමය, කාලය කැප කරමින් මූලික අවධානයක් ලබා දුන් අවස්ථා එමටයි.

අප බොහෝ අවස්ථාවල දී දන් දීලා ඇති, පොහොයට උපෝසථය රකින්නත් ඇති. මනා අලංකාර අන්දමින් පින්කම් කරන්නත් ඇති. ඒ ඒ දේ කිරීමේ දී අපට නොයෙකුත් වගකීම් ලැබෙන්නත් ඇති. අපි ඒ වගකීම් සාර්ථක ව ඉටු කරන්නත් ඇති.

හැබැයි ඒ කිසිදු දෙයක් සාර්ථක ව සිදු කර ගැනීමට නොහැකි අන්දමින් අපේ ජීවිතය තුළ කරුණු හතරක් පවතින බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. මෙන්න මේ කරුණූ හතර අපේ ජීවිතය තුළින් ප්‍රහාණය කිරීමට අප අපොහොසත් වුණොත් බොහෝ කරදර මධ්‍යයේ ජීවත්වීමටත්, සමාජයෙන් නින්දා අපහාස, ගැරහුම් ලැබීමටත්, පරලොව දුගතිගාමී වීමටත් සිදුවනු ඇති. ඒ වගේ ම අප විසින් සිදු කරන පින්කම් බාහිරට අලංකාරවත් ලෙස පෙනුනත් එයින් රැස්වෙන පින මහත්ඵල මහානිශංස ද නොවනු ඇති.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා.

“යමෙක් කැමැත්ත හේතුවෙනුත්, ද්වේෂය හේතුවෙනුත්, භය හේතුවෙනුත්, මෝහය හේතුවෙනුත් සත්පුරුෂ ධර්මය ඉක්මවා යයි ද, කළුවර පක්ෂයෙහි සඳක් මෙන් ඔහුගේ කීර්තිය පිරිහී යයි.”

මේ කරුණු හතර මුල් කරගෙන ඔහුගේ හෝ ඇයගේ හෝ ජීවිතය තුළ හතර ආකාරයකින් අකුසල් රැස් වෙනවා.

කොහොමද කෙනෙක් ඡන්දයෙන් අගතියට යන්නේ?

ඡන්දය කියන්නේ කැමැත්තට, හැබැයි ඒ කැමැත්ත තුළින් අප අගතිගාමී වුණොත් ( කැමැත්තෙන් අගතියට ගියොත්) අපට නොයෙකුත් ප්‍රශ්න, අර්බුද, කම්කටොලු, ඇති වනවා වගේම සතුටුදායක අවස්ථා එනකොට අපි කයෙන්, වචනයෙන්, සිතින් ක්‍රියා කරන ආකාරය අනුව අපට නොයෙකුත් පාපී අකුසල් රැස්වීමේ අවදානමක් තිබෙන බව අප වටහා ගත යුතුයි.

අපි උදාහරණයක් ගමු:– යම්කිසි කෙනකුට අප පි‍්‍රයමනාපයි. තවත් කෙනෙක් අපට අපි‍්‍රයයි, අමනාපයි. මේ නිසා අපි පි‍්‍රයමනාප කෙනා මොනවා කළත් අපි ඒ සෑම දෙයක් ම අනුමත කරනවා. ඔහුගේ යම් වැරැද්දක් ඇත්ද නිවැරැදි විය යුතු තැනක් ඇත්ද, හරියට වැලි අස්සේ දෙහි හංගනවා වගේ, අපි ඒ වැරැද්ද යට ගහනවා. හැබැයි අපිට අපි‍්‍රය අමනාප පුද්ගලයා යහපත් දෙයක් කළත් අපට ඒක පෙනෙන්නේ බරපතළ වරදක් හැටියටයි. මේ විදිහට බොහෝ වෙලාවට එකම කරුණක් මුල් කර ගෙන පුද්ගලයන් දෙදෙනකුට අපි ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස් වී තිබෙන්නේ (කෙනකුට යහපත් ලෙස කතා කරන්නේත්, කෙනකුට අයහපත් ලෙස කතා කරන්නේත්) අප ඡන්දයෙන් අගතියට ගොස් කටයුතු කරන නිසයි.

පිරිසක් සමඟ එකට වාසය කරන විට ඒ පිරිස සමසිතින් ඇසුරු කිරීමට අපට නොහැකි වනුයේ ඡන්දයෙන් අගතියට යෑම නිසයි.

ඡන්දයෙන් අගතියට ගොස් කටයුතු කිරීම නිසා කේලාම් කීමෙන්, සුදුස්සාට සුදුසු තැන නොදීමෙන්, නොයෙකුත් වංචනික ක්‍රමයන් අනුගමනය කිරීමෙන් අපේ ජීවිතයට නොයෙකුත් අපායගාමී පව් රැස්වෙනවා.

ද්වේෂයෙන් අගතියට යන්නේ කවුද?

යම් යම් කරුණු මුල් කර ගෙන අපට තරහ ගිය අවස්ථා ඔබට බොහෝ මතක ඇති. හැබැයි ඒ අවස්ථා වැලිවල ඇඳපු ඉරක් වගේ, දියේ ඇඳපු ඉරක් වගේ අපට ප්‍රහාණය කර ගන්න බැරි වුණොත්, හරියට ගලේ කොටපු දෙයක් වගේ සටහන් වෙනවා. එසේ අපේ හිතට ක්‍රෝධය, බද්ධ වෛරය යන පාපී අකුසල් ඇතිවන්නේ ද්වේෂයෙන් අගතියට යෑම නිසයි.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා

“කිපෙන්නා යහපත නොදනි යි. කිපෙන්නා ධර්මය නොදකියි යම් ක්‍රෝධයක් මිනිසකු මැඬගෙන යයි ද, එකල්හි ඔහු අඳුරට පිවිසි අන්ධයෙක් වැනි ය.

සේරිවාණිජ ජාතකයේ සඳහන් වන අයුරින් එදා දේවදත්ත වැලි මිටක් අතට ගෙන දිවුරා සිටියේ උපදින උපදින ආත්මයක්, ආත්මයක් පාසා බෝසතාණන් වහන්සේගෙන් පළිගන්නා බවයි. එහි විපාකය වූයේ දේවදත්තයන් නොයෙක් ආත්ම භවයන්හි පෙරුම් දම් පුරන්නා වු බෝසතුන්ගෙන් පළිගැනීමයි. ඒ නිසා ඔහුට අද නිරයේ අනන්ත අප්‍රමාණ ලෙස දුක් විඳීමට සිදුව තිබෙනවා. එසේ ඔහු දුකට පත්ව තිබෙන්නේ ද්වේෂයෙන් අගතියට ගොස් කටයුතු කිරීම නිසයි.

මේ නිසා නොයෙකුත් අවස්ථාවන්හි දී අපේ සිතේ ඇති වන්නා වූ මේ තරහ සිතිවිලි අපට හඳුනාගෙන ප්‍රහාණය කිරීමට නොහැකි වුවහොත් එහි ප්‍රධාන ම හානිය සිදුවන්නේ අනුන්ට නොව තමන්ට ම බව අප තරයේ වටහා ගත යුතුයි.

බයෙන් අගතියට යනනේ කෙසේද?

තමන්ට තියෙන තැන නැති වෙලා යයි, තමන්ට තියෙන කීර්තිය, ප්‍රශංසාව, නැතිවෙයි. මගේ රස්සාව මට නැති වෙයි යන ළාමක අකුසල් ස්වභාවයන් නිසා අපි භයෙන් අගතියට ගොස් කටයුතු කළ අවස්ථා කොතෙක්ද?

උදාහරණයක් ලෙස අපි හිතමු ඔබ කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක් කියලා. දවසක ඔබටත් වඩා පළපුරුදු ඇති, දක්ෂ සේවකයෙක් ඒ ආයතනයට බඳවා ගන්නවා. එතකොට අපේ හිතට විශාල භයක් ඇති වෙනවා. මට තියෙන තනතුරු, ලාභ සත්කාර මේ පුද්ගලයා විනාශ කරයි කියලා.

ඒ නිසා ම ඒ පුද්ගලයා කෙරෙහි ඇති කර ගත් භයෙන් අගතිගාමී වීම නිසා අපේ ජීවිතයට වචනයෙන් පව් රැස්කර ගන්නවා. කයින් මෙන් ම සිතෙන් ද පව් කර ගන්නවා.

මෝහයෙන් අගතියට යන්නේ මෙලෙසයි

මෝහය කියන්නේ මුළාව. මෝහයෙන් අගතියට ගියාට පස්සේ එයාට හරි වැරැද්ද තේරෙන්නේ නෑ. යහපත - අයහපත තේරෙන්නෙ නෑ. ඒ වගේම මධ්‍යස්ථ ව නුවණින් යුක්ත ව කල්පනා කරලා තීරණ ගන්න හිත නැමෙන්නේ නෑ. ඒ නිසා ම තමන් හරි කියන මාන්නය එයා තුළ ඇති වෙනවා. එතකොට තමන්ගේ අඩුපාඩු හඳුනාගෙන, ඒ අඩුපාඩු නිවැරැදි කර ගෙන ජීවිතයේ නිසි ආකාර දියුණුවක් ලබා ගැනීමට අපොහොසත් වෙනවා.

ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

“යමෙක් කැමැත්ත හේතුවෙනුත්, ද්වේෂය හේතුවෙනුත්, භය හේතුවෙනුත්, මෝහය හේතුවෙනුත්, සත්පුරුෂ ධර්මය ඉක්මවා නොයයි ද, මෝරන පක්ෂයෙහි සඳක් මෙන් ඔහුගේ කීර්තිය, පැතිරී යයි” යනුවෙනි.

දුර්ලභ මිනිසත් බව ලැබූ අපි, දුර්ලභ ක්ෂණ සම්පත්තිය ද ලැබූ අපි සතර අගතියට යට නොවී කටයුතු කරන්නේ නම්, අපගේ ජීවිත සාර්ථක ව ගත කිරීමට හැකියාව ලැබෙනු ඇත.

බිනර අව අටවක

සැප්තැම්බර් 24 අඟහරුවාදා අ.භා. 12.45 අව අටවක ලබා 25 බදාදා අ.භා. 12.17 ගෙවේ.
24 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]