[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර අව අටවක පෝ දා 2024-09-24

ජීවිතයට අර්ථයක් දෙන්න

සාර්ථක ජීවිතයක හිමිකාරීත්වය ජීවිතයේ ලද හැකි භාග්‍යයකි. ඒ භාග්‍යය අර්ථාන්විත වන්නේ, වටිනාකමක් හිමි කර ගන්නේ මානුෂීය ගුණධර්මයන්ගෙන් සුපේෂිත වූ තරමට ය. බොහෝ අය සාර්ථකත්වය දකින්නේ ආර්ථික දියුණු ව මත ලබන ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, එසේත් නැතිනම් රැකියාවේ උසස් බව, සමාජ තත්ත්වයන් ආදී සාධක මත ය. එහෙත් බොරුවෙන්, වංචාවෙන්, අසාධාරණයෙන් උපයන කිසිවක් නිසා තමන් සාර්ථක යැයි කෙනකුට සතුටක් ලැබිය නොහැකි ය.

සතුට, සැනසුම, උරුම තමා අව්‍යාජ වූ තරමට ය. අවංක වූ තරමට ය. බෞද්ධයාට ඒ පරම ධනය ලැබිය හැකි අපූර්ව සදූපදේශ සම්බුද්ධ දේශිතයෙහි අපමණ ය. සිඟාලෝවාද සූත්‍රයේ දේශිත ශක්තිමත් සමාජ සම්බන්ධතා ක්‍රමවේදය වුව ද ඊට ප්‍රමාණවත් ය.

පවුලක් සාර්ථක වන්නේ නම් එහි විවිධ චරිතවලට පණ දෙන සියලු දෙනා තුළ අන්‍යොන්‍ය බැඳීම, සුහදත්වය, කැපවීම, වගකීම්වලට වගවීම, ආදි හැකියාවන් වර්ධනය විය යුතු ය. එහි නායකත්වය දරන මව්පියන් සිය දරුවන්ට නිසි මඟ යන්නට එහි කටුුකොහොල් මඟහරවා දිය යුතු ය. එසේ නැතිනම් මඟහරවා ගන්නා ආකාරය කියා දිය යුතු ය. චරිතවත් බව සේ ම ආදර්ශය ද එහිදී අත්‍යවශ්‍ය ය.

දරුවන් පවින් වළක්වා ගන්නා විට, යහපතෙහි නිරත කරවන විට, අනාගතය ගොඩනඟන්නට ශිල්ප ශාස්ත්‍ර ලබා දුන් කල, නිසි කල ආවාහ විවාහ කර දුන් කල, දේපළ වස්තුව නිවැරැදි ලෙස බෙදා දුන් කල ඒ දරුවන් මව්පියන්ට පිටුනොපානු ඇත. අද බොහෝ මව්පියන් මහලු නිවාසයන් හි තනිවන්නට ප්‍රධානතම හේතුව දරුවන්ට ශිල්ප ඥානය ම දෙන්නට දිවා රෑ වෙහෙසෙනවා හැර අන්‍යොන්‍ය බැඳීම්වල වටිනාකම, ඔවුනොවුන් කෙරෙහි සංවේදී වීමේ අගය දරුවන්ගේ සිත් තුළ රෝපණය නොකිරීම නිසා ය.

දරුවන් නැණැතියන් සේ ම ගුණැතියන් කරවීමෙහිලා ද සමබර විය යුතු ය. පවුලක් සාර්ථක වන්නේ එකල්හි ය. මව්පියන්ගෙන් දරුවන්ට, දරුවන්ගෙන් මව්පියන්ට යුතුකම් ඉටුවන පවුලක සාර්ථකත්වය නිතැතින් ම ගොඩනැඟෙනු ඇත.

අද බොහෝ නිවෙස් තුළ අඬදබර බහුල ය. ප්‍රශ්න ගැටලු අහස උසට ය. අඹුසැමියන් අතර ආදරය සෙනෙහස දුරස් වෙමින් පවතී. එහි බරපතළකම මව්පිය භූමිකාවේ දී ද ඔවුන් අසාර්ථක වීම ය. ඒ හැලහැප්පීම් මැද හැදෙන වැඩෙන දරුවන් ද නිවෙසේ පමණක් නොව පාසල තුළ, එසේත් නැතිනම් සමාජය තුළ ඉස්මතු කරන්නේ ඔවුන් ලද පීඩාව ය. මෙවැනි පරිසරයක ඔවුන් තුළ මව්පියන් පිළිබඳ ගෞරවය, ආදරය සෙනෙහස පවා සිඳී යෑම වැළැක්විය නොහැකි ය. මේ පිළිබඳ විශේෂ කතිකාවක් සමාජය තුළ නිර්මාණය විය යුතු කාලය එළඹ ඇති බව පෙනෙන්නේ අද අලුත විවාහපත් වන තරුණ තරුණියන් සේ ම ජීවිතයේ පරිනත වයස් මට්ටම්වල පසුවන අය පවා දික්කසාදවලට යොමුවීම බහුල බව වාර්තා වන නිසා ය. මෙවැනි පවුල් පසුබිම් සාර්ථක වන්නේ කෙසේද යන්න අපි හොඳින් විමසා බැලිය යුතු ය.

ධර්මයට අනුගත වීම, ජීවිතය තේරුම් ගැනීම, උතුම් මනුෂ්‍ය ධර්මයන්ට ගරු කිරීම තුළ මේ කඩා වැටීම් සිදුනොවනු ඇත. මේ, ඒ සාර්ථකත්වය උදෙසා කැපවිය යුතු කාලය යි.

බිනර අව අටවක

සැප්තැම්බර් 24 අඟහරුවාදා අ.භා. 12.45 අව අටවක ලබා 25 බදාදා අ.භා. 12.17 ගෙවේ.
24 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]