[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ජීවිතයට වින කරන ප්‍රබල අකුසල සිතිවිල්ල දුරු කරන පහසු මඟ

ජීවිතයට වින කරන ප්‍රබල අකුසල සිතිවිල්ල දුරු කරන පහසු මඟ

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය මිනිසාගේ බාහිර ස්වරූපය සකස් කර ගැනීමට වඩා අභ්‍යන්තර ස්වරූපය සකස් කර ගැනීමට ය. එම නිසා බුදුරජාණන් වහන්සේ මනස මුල් කර ගත් දහම්පරියායක් දේශනා කළහ. ඇසට නොපෙනෙන, කයින් ස්පර්ශ කළ නොහැකි සිත නිබඳව ම මිනිසා විවිධ වූ දිශානතීන්ට යොමු කරනු ලබයි.

එය හොඳ සහ නරක වශයෙන් දෙයාකාර ය. මෙසේ ගොඩනැඟෙන ප්‍රබල අකුසල සිතිවිල්ලක් ලෙස ද්වේශය හැඳින්වේ. සිතෙහි හටගෙන, සිත ආවරණය කර ගනු ලබන තරහව දණ්ඩෙන් පහර කෑ සර්පයකු සේ අනුන් විනාශ කිරීමට, නැසීමට ප්‍රබල ව සිත තුළ ක්‍රියාත්මක ය. එය කෙනකුට සාංසාරික ව බද්ධ වෛරයක් සේ ඇතිවී නොදැනුවත් ව ම භෞතික සහ ආධ්‍යාත්මික වශයෙන් බලා සිටියදී ම පිරිහීමට පත් වේ. එසේ ආවේගයට, ද්වේශයට තම සිතට පරාජය වීමට ඉඩ නොදී, සිත ඉවසීමෙන් පාලනය කර සමාජය දෙස, පුද්ගලයින් දෙස සමානාත්මතාවෙන් හා උපේක්ෂා සහගත ව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ව සැරියුත් මහ රහතන් වහන්සේ ආඝාත පඨිවිනය සූත්‍රය තුළ මැනමින් දේශිත ය. එය වත්මන් සමාජයට අතිශය ප්‍රායෝගික හා කාලෝචිත වේ.

පඤ්චිමේ ආවුසො ආඝාත පටිවිනයා යත්ථ භික්ඛුනෝ උප්පන්නෝ ආඝාතෝ සබ්බසෝ පටිවිනේතබ්බෝ

මහණෙනි, යම් ද්වේශ සහගත අරමුණක් මුල් කර ගනිමින් යමකුට තරහව උපදී ද, එය සියලු ආකාරයෙන් දුරු කර ගත යුතු ආකාරය කාරණා පහක් යටතේ දේශනා කරමි.

ඇවැත්නි මේ ලෝකයේ විවිධ වූ පුද්ගලයින් ආශ්‍රය නිශ්‍රය කරන්නට ලැබෙනවා. ඒ අතර ඇතැම් පුද්ගලයින් සිටිනවා ‘අපරිසුද්ධ කාය සමාචාරෝ.’ මෙම පුද්ගලයා කයින් සිදුකරන කිසිදු ක්‍රියාවක් අන් අයට හිතකර වන්නේ නෑ. අන් අය පීඩාවට ම පත්කරන, හිංසාවට පත් කරන, ක්‍රියාවන් පමණයි මෙම පුද්ගලයා කය මුල් කර ගනිමින් සිදු කරනු ලබන්නේ.

එහෙත් ‘පාරිශුද්ධ වචී සමාචාරෝ’ ඔහු වචනයෙන් අන් අයට අතිශය ප්‍රසන්නය පුද්ගලයෙක්. කතාබහ කිරීමේ දී අන් අයගේ සිත් ගන්නා සුළු කෙනෙක්. කතා කිරීමේ දී අන් අයට හොඳ නරක කියා දෙනවා. එහෙත් ක්‍රියා කරන්න ගියා ම අන් අයට සිදු වන්නේ ම අනර්ථයකි. විපතකි. කරදරයකි. මෙබඳු වූ පුද්ගලයනුත් සමාජය තුළ ඔබට බොහෝ විට ඇසුරු කරන්නට සිදු වෙනවා. ‘ඒවරුපේ ආවුසෝ පුග්ගලෝ ආඝාතෝ පටිවිනෙතබ්බො’

මහණෙනි, මෙවන් පුද්ගලයින් කෙරෙහි ද අපි ද්වේෂය දුරු කළ යුතුයි.

සැරියුත් මහරහතන් වහන්සේ මෙබඳු පුද්ගලයින් කෙරෙහි විමසා බලා ද්වේශය දුරු කළ යුතු ආකාරය පිළිබඳ ව ලස්සන උදාහරණයක් මුල් කර ගනිමින් පැහැදිලි කර දෙනවා.

පාංශුකූලික සිවුරු පරිහරණය කරන භික්ෂූන් වහන්සේ නමක් මාර්ගයේ වඩිනවා. මෙහෙම වඩින අතරමඟ දී මෙම හාමුදුරුවෝ දකිනවා ඉවත දමා තිබෙන පාංශුකූලික වස්ත්‍රයක්. මේ හාමුදුරුවන්ගේ සිවුරත් හොඳට ම දිරාපත් වෙලා. දැන් උන්වහන්සේ මොකද කරන්නේ, අර රෙදි කෑල්ල දකුණු කකුලේ මහපට ඇඟිල්ලට තියලා බිමට තද කර ගෙන බලනවා. අර රෙදි කැබැල්ලේ කොතැන ද අපවිත්‍ර නොවුණු තැනැක් තියෙන්නේ කියලා. ඉන් පසු එම රෙදි කැබැල්ලේ තිබෙන අපවිත්‍ර නොවූ කොටස අතින් ඉරාගෙන උන්වහන්සේ වැඩ සිටින කුටියට අරගෙන යනවා.

සැරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි, අන්න ඒ භික්ෂුවගේ ප්‍රතිපදාව යම් සේ ද අන්න ඒ වගේ අර මුලින් කියන ලද පුද්ගලයා කෙරෙහි හටගත් ද්වේෂය අපි දුරු කළ යුතුයි. ඒ කෙසේ ද? ඒ භික්ෂූන් වහන්සේ අර රෙදි කැබැල්ල අපවිත්‍ර යැයි සිතා ඒක පිළිබඳ ව ගැටෙන්න ගියේ නැහැ. ඒ අපවිත්‍ර දෑ අතරින් පවිත්‍ර දෑ පමණක් ඉස්මතු කරලා අරගත්තා. අන්න ඒ වගේ අර පුද්ගයා කෙරෙහි මෙන්න මේ විදිහේ කල්පනා කළ යුතුයි කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා.

කොහොම ද? මහණෙනි, ඒ පුද්ගලයාගේ යම්කිසි අයහපත් කායික පැවැතුම් රටාවක් තියෙනවා නම් නුඹලා ඒවා ගැන නොසිතිය යුතුයි. යම්කිසි යහපත් වාචික හැසිරීමක් තියනවා නම් නුඹලා නිරන්තරයෙන් ඒ පිළිබඳ සිහිපත් කළ යුතුයි. ඒ ගැන ක්‍රියා කළ යුතුයි. මෙන්න මේ ආකාරයට නුසුදුසු අවගුණය සිහිනොකොට බැහැර කරලා, සුදුසු යහපත් ගතිගුණය නැවැත නැවැත සිහි කරලා, පළමු පුද්ගලයා කෙරෙහි ඇතිවෙන්නා වූ ද්වේශය දුරු කළ යුතුයි.

දෙවැනි පුද්ගලයා පිළිබඳ සැරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරනු ලබන්නේ ‘ඉධ පනාවුසො එකච්චො පුග්ගලෝ අපරිසුද්ධ වචීසමාචාරෝ හෝති පරිසුද්ධ කායසමාචාරෝ

“මහණෙනි, තවත් සමහර පුද්ගලයෝ ඉන්නවා, කායික ක්‍රියාවන් නම් බොහොම හොඳයි. එහෙත් වාචසික ක්‍රියා බොහොම අප්‍රසන්නයි. මහණෙනි මෙවන් පුද්ගලයන් සම්බන්ධයෙන් අපේ මනසේ ඇතිවන ද්වේශය අපි දුරු කළ යුතුයි. සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා එබදු පුද්ගලයින් කෙරෙහි කොහොමද අපි ද්වේශය දුරු කර ගන්නේ කියලා. උන්වහන්සේ එය උපමාවකින් පැහැදිලි කරනවා. ගී‍්‍රෂ්ම කාලයේ අව්වේ දැවිලා, පිච්චිලා බොහොම වෙහෙසට පත්වෙච්ච, අතිශයින් ම විඩාවට පත්වෙච්ච පුද්ගලයෙක් පාර දිගේ යනවා. බොහෝ වෙලාවකින් ඔහුට බොන්න වතුර ටිකක් නැහැ. අතිශයින් පිපාසිතයි. ක්ලාන්ත වෙන්නට ආසන්නයි. දහඩිය වැගිරෙනවා. අව් රශ්මියෙන් දැවිලා, පිච්චිලා. මෙහෙම එන පුද්ගලයකුට හමුවෙනවා මාර්ගයේ ආසන්නයේ තිබෙන වතුර වලක්. මේ වතුර වල දිය සෙවෙල්වලින්, අනෙකුත් කොළ රොඩුවලින් වැහිලා. එහෙත් අර පුද්ගලයාගේ පීඩාව කොතෙක් ද කියනවා නම්, ඔහු ඒ කිසි දෙයක් නොබලා මෙතැනට ඇවිත් දෑතින් ම අර කොළ රොඩු, දිය සෙවල ඉවත් කරලා හොඳ වතුර ටිකක් අරගෙන බීලා, මූණ සෝදලා විඩාව සංසිඳවා ගෙන නැවත ඔහුගේ ගමන ආරම්භ කරනවා. මහණෙනි අන්න ඒ වගේ අර පුද්ගලයා කෙරෙහිත් උපන් ද්වේශය දුරු කළ යුතුයි.

තුන්වැනි පුද්ගලයා සම්බන්ධයෙන් සැරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා “ඉධ පන ආවුසෝ ඒකච්චෝ පුග්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති අපරිසුද්ධ වවී සමාචාරෝ ලභති කාලේන කාලං චෙතසා විවරං චේතසෝ පසාදං ඒවරූපෙපි ආවුසෝ පුල්ගලෝ ආඝාතො පටිවිනෙතබ්බො.

මහණෙනි, තවත් සමහර පුද්ගලයෝ ඉන්නවා. ඒ අයගේ කායික ක්‍රියා හොඳත් නෑ. වාචසික ක්‍රියා හොඳත් නෑ. එහෙත් මානසික සිතුවිලි ඉඳලා හිටලා හොඳයි. එහිදී උපමාවකින් සැරියුත් මහරහතන් වහන්සේ පැහදිලි කරනවා එබඳු පුද්ගලයින් පිළිබඳ ව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව.

මහණෙනි, අර මුලින් කිව්වා වගේ ම බොහෝ ම ගී‍්‍රෂ්ම කාලෙක දීර්ඝ ගමනක් යන්නට තියෙන පුද්ගලයෙක් අතිශයින් විඩාවට පත්වෙලා, ක්ලාන්ත වෙලා එනවා. මෙහෙම එනකොට අහල පහළ වතුර ටිකක් නෑ බොන්න. ඔහු දකිනවා ගෝ කුරක, ඒ කියන්නේ හරකෙක් අඩිය තියපු තැන වල හැදෙනවා. ටිකක් පොළව එරෙන තැන්වල. එහෙම හැදිච්ච වලක වතුර පිරෙනවා. එක උගුරක් දෙකක් විතර මේ ගව කුර හැදිච්ච වලක එකතු වෙලා තියෙනවා. අර අතිශයින් පීඩාවට පත් වූ පුද්ගලයා දකිනවා මේ වතුර ස්වල්පය. ඔහු කල්පනා කරනවා මෙම වතුර ටික අතින් ගන්න ගියොත් කැලැත්තෙන්න පුළුවන්. කොළයකින් ගන්න ගියොත් අපවිත්‍ර වෙන්න පුළුවන්. එම නිසා මෙම පුද්ගලයා එම වතුර ස්වල්පය තිබෙන ගෝ කුර ළඟ දණ ගහලා පහත් වෙලා ඉතාමත් පරිස්සමෙන් වතුර අපවිත්‍ර වෙන්න නොදී පානය කරනවා පිපාසය සංසිඳවා ගන්නවා.

මහණෙනි, අන්න ඒ වගේ අර පුද්ගලයා සම්බන්ධ ව තිබුණ ද්වේශය සංසිඳුවා ගත යුතුයි. ඔහුගේ කායික සමාචාරයෙන් පැහැදෙන්න දෙයක් නෑ. ඒ වගේම වාචසික සමාචාරයෙන් පැහැදෙන්න දෙයක් නැහැ. එහෙම නමුත් ඔහුගේ මනස විටින් විට හරි ශ්‍රද්ධාවෙන් පිරිලා ගුණයට නැඹුරු වෙන ස්වභාවයක් තිබෙනවා. ඔබට ඔහු පිළිබඳ ව ද්වේශය හටගන්නා සෑම වෙලාවක ම ඔහුගේ කායික විෂමාචාරය අමතක කරන්න. ඔහුගේ වාචසික විෂමාචාරය පිළිබඳ අමතක කරන්න. ඉඳහිට හෝ මානසික සංවර භාවය පිළිබඳ සිතා ඔහු පිළිබඳ ද්වේශය අත්හළ යුතු බව සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා.

හතරවැනි පුද්ගලයා පිළිබඳ සැරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා, “ඉධ පන ආවුසෝ ඒකච්චෝ පුල්ගලෝ අපරිසුද්ධ කායසමාචාරෝ හෝති අපරිසුද්ධ වචීසමාචාරෝ නච ලභති කාලෙන කාලං චේතසො විවරං චේතසෝ පසාදං’ මහණෙනි එක් පුද්ගලයෙක් සිටිනවා.

එම පුද්ගලයාගේ කායික ක්‍රියාවන් පාරිශුද්ධත් නෑ. වාචසික ක්‍රියාවන් පාරිශුද්ධත් නෑ. මානසික ක්‍රියාවන් පාරිශුද්ධත් නෑ. තිදොර මුල් කර ගනිමින් සිදු කරන්නේ ම අනර්ථ ක්‍රියාවන්. අන් අයට විපතක් හිරිහැරයක් ම යි. එබඳු පුද්ගලයින් පිළිබඳ ව ද්වේශය දුරු කළ යුතු ආකාරය පිළිබඳ සැරියුත් මහරහතන් වහන්සේ ලස්සන උදාහරණයකින් පැහැදිලි කරලා දෙනවා.

“මහණෙනි, අතිශය රෝගී වූ රෝග පීඩාවලින් පෙළෙන පුද්ගලයෙක් දීර්ඝ වූ මාර්ගයක ගමනක් යනවා. ඔහු දැන් මාර්ගයේ අඩක් ගෙවලා. තව ගෙවූ තරම් ප්‍රමාණයේ දුරක් ඔහුට යන්නට තියෙනවා. පෙනෙන තෙක් මානයක ගම්මානයක්, ගෙයක් දොරක් නැහැ. තව බොහෝ දුර යන්නට තියෙනවා. ඔහුගේ රෝගයට සුදුසු ආහාරයක් නැහැ. ඔහුගේ රෝගයට සුදුසු බෙහෙතක් නැහැ. මඟ පෙන්වන්නට පුද්ගලයෙක් නැහැ. මෙම කිසිදු දෙයක් නොමැති ව ඉබාගාතයේ දැඩි වෙහෙසින් ගිලන් ව ඉන්න පුද්ගලයෙක් කෙරෙහි දයාව ඉපදිය යුතු ය. අනේ, මේ මනුස්සයට කෑම ටිකක් හම්බ වුණොත්, මේ මනුෂ්‍යයාට බෙහෙත් ටිකක් හම්බ වුණොත්, හොඳ මාර්ගෝපදේශකයෙක් හම්බවුණෙත් මේ මනුෂ්‍යයාට කායික ව, මානසික ව සුවපත් වෙලා කෙටි මඟකින් ඔහුට අවශ්‍ය ගමන නිමා කරනවා. ඒ නිසා ඔහුට මේ උපකාරය මට කළ හැකි නම් හොඳයි කියලා තමන්ට පුළුවන් තරම් ඔහු කෙරෙහි දයාව ඉපදිය යුතුයි.

“මහණෙනි, අන්න ඒ වගේ අර පුද්ගලයා කෙරෙහි දයාව, අනුකම්පාව ඉපදිය යුතුයි. ද්වේශය යටපත් කළ යුතුයි. ඒ කොහොමද? කායික ක්‍රියාවන් දුෂ්ඨයි. වාචසික හැසිරීම දුෂ්ඨයි, මානසික හැසිරීම දුෂ්ඨයි, එවන් පුද්ගලයා කෙරෙහි "අහෝ! මේ පුද්ගලයා මේ කායික විෂම බව නිසා, මානසික විෂම බව නිසා, වාචසික විෂම බව නිසා මරණින් මතු ඒකාන්තයෙන් නිරයේ උපදින්නේ ය. මොහු මනුෂ්‍යකමෙහි වටිනාකම නොදන්නේ ය. අනේ ඔහුට ඒ තත්ත්වය පැහැදිලි කර දී ඒ තත්ත්වයෙන් මුදවා ගන්නට පුළුවන් නම් කොයිතරම් වටිනවා ද? යි සිතා එවන් පුද්ගලයා කෙරෙහි අනුකම්පාව ඉපදිය යුතු ය. ද්වේශ නොකළ යුතු ය.

පස්වැනි පුද්ගලයා පිළිබඳ සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ඉධ පනාවුසෝ ඒකච්චෝ පුග්ගලෝ පාරිශුද්ධ කායසමාචාරෝ හොති පාරිසුද්ධ වචී සමාචාරෝලභති ච කාලෙන කාලං චෙතසෝ විවරං චෙගසො පසාදං

මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා ඔහුගේ කායික හැසිරීමත් යහපත්. වාචසික හැසිරීමත් යහපත්. මානසික හැසිරීමත් යහපත්. ඔහු පිළිබඳ යම්කිසි කාරණාවක් නිසා ද්වේශය උපදිනවා නම් එවන් මොහොතක ඔහුගේ කායික යහපත් බව සිහිකරන්න. වාචසික යහපත් බව සිහි කරන්න. මානසික යහපත් බව සිහි කරන්න. එසේ සිහි කර ඔහු පිළිබඳ හටගන්නා වූ ද්වේශය දුරු කරන්න. උන්වහන්සේ උපමාවකින් දේශනා කරනවා. “අර විදියේ ගී‍්‍රෂ්ම කාලයේ පීඩාවට පත්වෙලා පිපාසිත ව එන මනුෂ්‍යයෙක් සිසිල් ජලයෙන් පිරිච්ච පිරිසුදු විලක් ළඟට ඇවිල්ලා මේ විල දැකලා ප්‍රසාදයට පත්වෙලා, ඒකට බැහැලා වතුර බීලා, නාලා සැනසීමට පත්වෙලා. ඒ ආසන්නයේ සෙවණේ සැතපී ඉන්නවා වගේ ඔබට ඒ යහපත් පුද්ගලයාගේ කායික යහපත ගැන, කැමැති නම් සිතන්න. මානසික යහපත් බව ගැන කැමති නම් සිතන්න. වාචසික යහපත් බව ගැන කැමති නම් සිතන්න. එසේ සිතා අර උපන්නා වූ ද්වේශය මඟ හරින්න. එය මඟහරවා ගෙන මානසික සැනසිල්ල ඇති කර ගන්න.” කියලා සැරියුත් මහ රහතන් වහන්සේ පැහැදිලි කරනවා.

බිනර අව අටවක

සැප්තැම්බර් 24 අඟහරුවාදා අ.භා. 12.45 අව අටවක ලබා 25 බදාදා අ.භා. 12.17 ගෙවේ.
24 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]